Saturday, May 27, 2017

විහඟ ගීතය

ලඩාක් අධ්‍යනය සදහා වන ජාත්‍යන්තර සමුළුවේ වැඩසටහන පිළිබද ඊමේල් පණිවුඩයක් එවමින් රෆාල් පවසා ඇත්තේ මෙවර පොලන්තයට ශීත වසන්තයක් උදාවී ඇති බවය. රාත්‍රී උෂ්ණත්වය සෙලසියස් අංශක 2ත් 6ත් අතර වන බවත් දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් පමණ වන බව පවසා ඇත.
මගේ නිවහන පිහිටියේ අත්තනගලු ඔය අසබඩය. එගොඩ ඉවුරේ ඇති කොළ හැළුන රූස්ස පුළුන් ගස්දෙක වසන්ත සමය ඇරඹුමත් සමගම දකුණේ කුරුළු පාරාදීසවල සිට සිය මව්රටවල් බලායන විවරතුඩුවන්, කළු හිසැති කොකුන් ආදී පර්යටන පක්ෂීන්ගේ නවාතැන් පොළක් බවට පත්වේ. දවල් දවසපුරා අවට වගුරු සහ කුඹුරු බිම් වලින් සිය පාතරාසය සොයාගන්නා උන් ගොම්මන් අදුරත් සමග රංචු වශයෙන් සිය තිත්පොල වෙත ඇදී ඒ. එසේ පැමිනෙන උන් හොද අත්තක ඉත්තක් අල්ලගන්න ගහවටේ රවුම් දෙක තුනක්සර්පණයෙන කරනකොට මට සිහිවන්නේ බිම්ගතකරන්න කාලය පැමිනෙන තෙක් ගුවන්තොටුපළවටා කැරකෙන ගුවන් යානාවකි. රාත්‍රියට බඩගාගෙන එන විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීමට රූස්සගස්වල සිහින්ම අත්තක වැසීම උන්ගේ සිරිතකි. රංචුවක් පැමණ මෙසේ ගසේ වසන කල මුළු අත්තම තෙපුල්දේ. එවිට කලින්ම බඩකට පුරවාගෙන පැමිණ හොදතැන් අල්ලාගෙන සිටි උන් සට සට ගා තටු සලමින් දේහය තුලනය කරගෙන එතැනම ලගින්න වලිකති. නමුත් බොහෝ විට සිදුවනුයේ සමබරතාව බිදුණ බැවින් අත්තේ වසා සිටි සියළු දෙනාම නැවත ඉගිලගොස් රවුම් දෙක තුනක් ගසා එම ගසේම ලැගීමය. නැතිනම් අසල වෙනත් රූස්ස ගසක් සොයා යාමය.
සවසට ගලන දියේ මදක් සැතපී විඩා නිවාගන්න ඔයට බසින මා මුන්ගේ මේ නාටකය බලා සිටිනුයේ අදුර වැටෙනවා නොදැනීමය. සිය දිගු පෙදය සරුංගලයක් සේ රැලිති නගමින් හීයක වේගයෙන් ඔය ඉවුරේ ගසක සිට පියඹාව්ත් දියේ ගිලී නැවත සිටි තැනටම යන සුදුරෙදි හොරා සහ සිවුරු හොරා සවස් යාමයට වරදින්නේ නැත. දිනපතා මේ වේලාවට උන්ගේ ස්නානය වරදින්නේ නැත. ඔයේ ඉහළට මතුව ඇති කළුගල් වල වසනා කුඩා සතුන් ආහාර කරගැනීමට පැමිණෙන හලන්පෙන්දාගේ ඉවරයක්නැති පස්සපැද්දිල්ල විටෙක මට නොදැනීම මගේ මුවට මන්දාස්මිතයන් රැගෙන ඒ. මෙසේ කාලය ගෙවෙන අතර මැයි මාසයේ මුල පමණ හිටිගමන් මෙම විහග රැන අන්තරස්දානවේ. ඇතැම්විට ලෙඩ හැදුන හෝ පර්යටනයට තරම්ශක්තියක් නොමැති උන් එකකු දෙන්නකු තවත් කාලයක් ගතකරයි. සන්ද්‍යාවේ ලගින්නතැන් අල්ලගන්න ඔට්ටුවෙන විවරතුඩුවන්, කළුහිසැති කොක්කුන්ගේ කරච්චලය නැතිකාලයේ ඔය අද්දර මට දැනෙනුයේ වස පාළුවකි. එවිට මා උන්දැන් සයිබීරියාවේ හෝ යුරෝපයේ උන්ගේ ගම්බිම්වල සුපුරුදු ජීවන රටාව ගතකරන අයුරු මනසින් සිතුවම් කරමින් සිටිද්දී වතුරේ ගෑවී නොගෑවී ඔයට සමාන්තරව විදිල්ලක්සේ පියඹායන මල්පිළිහුඩුවකුගේ ක්‍රීක් නාදයෙන් නැවත පියවි ලොවට එන්නෙමි.
මේ දිනවල ලංකාවට ඉර මුදුන්වෙලා හින්ද ග්‍රීෂ්මයත් දාහයත් අහුලන්න බැරුවාය. බක්මහේ මුල ඇදහැළුන වැහිකෝඩ දෙකතුන නිසා තවමත් ඔයේ යහමින් වතුර ගලායයි. ගල්තලාවේ දිගඇදී කරවටක් දියේ ගිලී සිටිනවිට දැනෙන සිසිලස කියා නිමකල නොහැක. ඇගේ තෙහෙට්ටුවත් මනසේ විඩාවත් කොහෙන් ගියාදැයි  නැත. ලබනසතියේ පෝලන්තයට ගියාම සීතලෙන් ගුලිවී රෑපුරා සුවසේ නිදන අයුරු රැළිති නගමින් සීරුවට ගලන දියපහරට දැහැන්ගතව සිහින මැව්වෙමි.
ෆ්‍රැන්ක්ෆර්ට් ඉදල පෝලන්තයේ පොස්නාන් Poznan වලට යන බස්එක තියෙන්නෙ රෑ අටයිකාලට. හවස හතරත් පහුවෙලා දවල්ට කාපු ලොකු පීට්සා එක නිසා කුස ‍හොදටම පිරිල. රෑට කන්නෙ කොහොමද කියල මගෙ මිතුරා ඇහුවම මගදි මොනවහරි කනව කියල මම කිව්ව. “ඔයාට එහෙනම් මගදි මේක ප්‍රයෝජනවත්වෙයි “මම ලංකාවෙන් අරන්ගිය හැලප මල්ලෙන් හැලප කීපයක් පාර්සල්කරල දෙනගමන් මගෙ මිතුර කිව්ව. මගදි බස්එක තේ බොන්න රෑ කඩේක නැවැත්තුවම හොදට මොනවහරි කනව කියල හිකන ගමන් ඒකත් මගේ ගමන්මල්ලට දාගත්තෙ කොහොමටත් මම හැලප වලට ආසනිසා. මිතුරයි ඔහුගේ ජර්මන් ජාතික බිරිදයි ඔවුන්ගේ නිවසෙ ඉදල මාව බස්රථයට ඇරරළුව. රෑ අටට කිට්ටුවුනත් තවමත් හිරු අස්තංගගතවෙලා නෑ. මේ දිනවල යුරෝපයට අදුර වැටෙන්නෙ රෑ නමයත් පහුවෙලා.
දුරගමන්සේවා බස්රථගාල තියෙන්නෙ ෆ්‍රැරැනක්ෆර්ට් මධ්‍යම දුම්රියපොළට යාබදවයි. තෝකියෝ ඉන් හොටලයත් ඒ අසලම තියෙනව. කොළපාට ෆිල්ක්ස් බස් flixbus  සමාගමේ බස්රථ තමයි වැඩිපුර තියෙන්නෙ. මම ආසන වෙන්කරගත්තෙ සින්බෑඩ් බස් සමාගම මෙහෙයුම් කටයුතු කරන බස් රථයක්. රියදුරැ මහතා මැදිවිය ඉක්මවූ සෞම්‍ය ප්‍රියමනාප පුද්ගලයෙක්. සුදු හිසකේ සහ උඩු රැවුලත් සුදු කමිසය ඇදල කළු කබාය පැළද ඉන්නකොට මනා පෞර්ෂයක් තියෙනව. සහයිකාව කළුපැහැ දිගු කලිසමකින් හා කබායකින් සැරසිලා හිටියෙ.


හරියටම රාත්‍රී අටයි පහලොවට ගමන් අරඹපු බස්රථය මොන්හෛයිමර් ස්ට්‍රාසේ එකට අවතීරනයවී ෆ්‍රරැනක්ෆර්ට් නගරය තරින් ගමන්කර අධිවේගී මාර්ගයට පිවිසුනා . බසය වේගයෙන් ඉදිරියට ඇදෙනව. ඔය අතරෙ මගෙ අසුනට පිටිපස අසුනෙ ඉන්න සීක් ජාතිකය මහ හයියෙන් හින්දි බසින් සිය ජංගම දුරකථනයෙන් කා ඔක්කදෝ සංවාදයක. ඔහු සෑම දෙබසක් අවසානයේම ඇදුම රෝගියෙකු වගේ හුස්මක්ගෙන පිටකරනව. මට මේක මහ කරච්චලයක් වුනා. දැන් හිරුත් අස්ථංගගතවෙලා. වැස්සකුත් කඩාහැලෙනව. පෙරදින රාත්‍රිය පුරා කල ගුවන් ගමනේ වෙහෙසත් සමග මට නොදැනිම මා නින්දකටවැටුනෙ සීක් ජාතිකයගෙ කරච්චලේනුත් මා මුදවමින්.
මා  නිදිදැහැන බිදුනෙ හීනෙන්වගේ සහයිකාවගේ නිවේදනයක් ඇහිල. ඇය ජර්මන් හා පෝලන්ත භාෂාවෙන් යම් පණිවිඩයක් දුන්න. මගියොත් හිරි කඩමින් හරිබරි ගැහෙන්න පටන්ගත්ත. බසය කුඩා නගරයක් අතරින් ගමන් කරනව. මේ සූදානම තේ එකක්බොන්න රෑ කඩයක නතර කරන්න විය යුතුයි.  මගෙත් කුසගිනි හොදගානට මෝරල. වෙලාව රාත්‍රී දොළහ හමාරයි.තවත් බස්රථ දෙකක් නතරකරල තිබුන තැනකින් අපේ බසයත් නතරකලා. මගියොත් කබා පැළද බසයෙන් පිටතට බැස්ස. මාත් හොදට මොනවහරි කන්නහිතාගෙන එළියට බැස්ස. රියදුරුයි , සහයිකාවයි, ගැහැණු පිරිමි මගියොයි  බස්එක අයිනට වෙලා දුම්වැටි දල්වන්න පටන්ගත්ත. සියල්ලොම සීතල පලවාහරිමින් දුම් උරනව. මම අහල පහල කැරකිල බැලුවට මොනම කඩයක්වත් දකින්න නෑ. අපහු බසයට ගොඩවුන මම මිතුරා දුන්න හැලප පාර්සලය දිගහැර ගත්ත. යුරෝපයේ බස්රථ තේ කඩවල නතර කරන්නෙ නෑ. රාත්‍රී එකොලහට පස්සෙ කිසිම භොජුන්හලක්  විවෟත්තව ඇත්තෙත් නෑ. මෙයින් පස්සෙ රියදුරුයි සහයිකාවයි අනෙක් මගියොයි පැය දෙකෙන්දෙකට දුම්වැටි විවේකය නම් භුක්තිවින්ද. අවශ්‍යනම් බසයේ ඇති කොපි යන්ත්‍රයෙන් සහයිකාවගෙන් කෝපි එකක් මිලදී ගතහැකියි. මට තේරුන විදිහට කෝපි එකක් යූරෝ පහක් වෙනව. රුපියල්නම් අටසීයනට වැඩියි. මගේ ගමන් මල්ලෙ වතුර බෝතලය පිහිටට තියෙන නිසා මම කෝපි බොන අදහසත් අත්හැරිය.


යුරෝපයට අරුණාලෝකය පතිතවෙනවිට බසය පොලන්තයේ සුන්දර ගම්මාන වගාබිම් වනබිම් හා තණබිම්  අතරින් ගමන් කරමින් සිටියෙ.  දැන් උදේ හයයි විස්සයි. හොදින් එළිය වැටිල. වසන්තයේ මැද වනවිට යුරෝපයට දිනකර කලින්ම උදාවී  දීර්ඝ දහවලකුයි කෙටි රාත්‍රියකුයි  ගෙනවන සමයයි.
මේ ප්‍රදේශය සැලකෙන්නෙ මහා පොලන්තය ලෙසයි. පෝලන්ත බසින් කියන්නෙ වෙයිල්කොපොල්ස්කා යනුවෙනුයි. පෝලන්ත රජධානිය බිහිවෙන්නෙ මහා පොලන්තය කේන්ද්‍ර කරගෙනයි. එහි අගනුවර වුනේ මගේ ගමනානතය වන පොස්නාන් නුවරයි. වොර්ටා Warta නදියෙන් පොෂණය ලබන මහා පෝලන්තය වර්තමාන පෝලන්තයේ සුන්දරම හා සශ්‍රීකම පදෙසක්. බසය දැන් විශාල කේතුධර වනානතරයක් පසුකරමිනුයි සිටින්නෙ. වනස්පතීන්ට ඉහළින්  නැගෙනහිර අහස්කුසේ කළු වළාවන් අතරින් රිදී රෙඛාවක් දිස්වෙනව. වනබිම් වගාබිම් පසුවෙන සෑමවිටම මගේ දෑස් නොයිවසිල්ලෙන් සොයන්නෙ මීට ටික දොහකට කලින් ලංකාවෙන් සමුගෙන ආ මගේ විහග මිතුරන් හමුවේදැයි කියාය. 




Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association for Ladakh Studies

Sunday, May 14, 2017

ශ්‍රී නගර් මෞගල් උයන්

ශ්‍රී නගර්, මෞගල් රාජ පරම්පරාවේ නිබඳ අවධානයට ලක්වු නගරයකි. සාහිත්‍යයට,සෞන්දර්යට හා ස්වභාව සුන්දරත්වයට තදින් ඇළුම් කල මෞගල්වරු කාශ්මීරයේ ස්වභාව සුන්දරත්වයෙන් වශීකෘත වීම අරුමයක් නොවේ. මේ නිසා මෞගල් රාජ වංශිකයන් ඉදිකල නිර්මාණ රාශියක් ශ්‍රි නගර් හා ඒ අවට පිහිටා ඇත. මේවා අතරින් ඩැල් විලේ දකුණ ඉවුර ඔස්සේ ඩැල් ද්වාරයේ සිට ෂන්කාරචායා කන්ද පසු කරමින් දිවෙන බුලෙවාර්ඩ් පාරේ පිහිටා ඇති මෞගල් උයන් අනිවාර්යෙන්ම නැරඹිය යුතු ස්ථානවේ.
                මේ සියළු උයන් ඉදිකර ඇත්තේ පර්සියානු නැතිනම් ඉස්ලාම් උද්‍යාන  කලාවට අනුවය. දියඇලි, ජල තටාක, දියමං මෞගල් උද්‍යානවල පොදු ලක්ෂණයකි. මෙවැනි උද්‍යාන ඉන්දියාවේ අග්‍රා, දිල්ලි, පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ දක්නට ඇත. ටජ් මහලද මෙවැනිම වූ සුන්දර මෞගල් උද්‍යනයකින් අලංකරනය වී ඇත.
                ශ්‍රී නගර් මෞගල් උද්‍යාන යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර ඇත.
                අප නවාතැන් ගත් හෝටලයේ හිමිකරු මුස්ලිම් ජාතිකයෙකි. ඉස්ලාම් දහමට අනුව සාධාරණලෙස ව්‍යාපාර කිරීම ඔහුගේ දර්ශනයයි. ක්‍රිකට් ලෝලියෙකු වන ඔහු අපගෙන් සනත්, අර්ජුන, සංගක්කාර වැනි ක්‍රිකට් විරුවන් පිළිබද විමසා සිටියේය. කාශ්මීරයේ පවතින සාමකාමී වාතාවරණය අගයන ඔහු ඒ නිසා තම හෝටලයටද දැන් වසර පුරාම අමුතන්ගේ අඩුවක් නොමැති බව පවසයි. ඉන්දියාවේ අනෙක් ප්‍රාන්ථවල වැසියන් කාශ්මීරයේ සංචාරයේ යෙදෙන්නේ නවමු අත්දැකීමක් ලෙස‍ය. ඔහු කැමති බෙදී වෙන්වන්නට නොව එක්ව නැගීසිටීමටය.
                පසු දින අප දිල්ලිය බලා යාමට  නියමිත දිනයයි. ගුවන් යානය ඇත්තේ සවස හතරයි තිහටය. ෂීක් අල් අලාම් ගුවන් තොටුපලට පැයක ගමනක් ඇත. නගරයේ සිට ගුවන් තොටුපලට කුලීරථ ගාස්තුව රුපියල් හත්සියයකි. ඒ බව නගරයේ බොහෝ ස්ථානවල, කුලීරථගාලේ විශාල පුවරුවල ප්‍රදර්ශනය කෙරේ.
                පසු දිනට ඉන්දීය ජාතික දිනය යෙදී ඇත. ශ්‍රී නගර් වල හර්තාල් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවත්, පාරවල් වසාදැමීම මෙන්ම වාහන පරීක්ෂාවන් ආදිය නිසා කල්වේලා ඇතුව ගුවන් තොටුපලට යාම නුවණට හුරු බව හෝටලයේ හිමිකරු පැවසීය. අපට කෙසේ හෝ මෞගල් උද්‍යාන නැරඹිය යුතුය. හර්වන් උද්‍යානය දැක බලා ගැනීමේ ආශාවද අත. අපට පිහිටට ආවේ හෝටලයේ හිමිකරුය. මේ සියල්ල නරඹා අපව ගුවන් තොටුපලට ඇරලවීමට රුපියල් එක් දහස් පන්සීයකට ට්‍රැවේරා ජීප් රියක් ඔහු සපයා දුනි. ට්‍රැවේරා රියදුරුද කාරුණික මැදිවියේ මුස්ලිම් ජාතිකයෙකි. සුහදශීලිය. ආචාරශීලිය.


                අප මුලින්ම යන්නේ චෂ්මා ෂාහී Chasma Shahi උද්‍යානයටය. අක්කරයක විශාලත්වය ඇති චෂ්මා ෂාහී කුඩාම මෞගල් උද්‍යානයයි. බුලෙවාඩ් පාරෙන් ශර්වන් කන්ද දෙසට හැරුනු රථය විසල් තුරු ගොමු අතරින් ඉහලට නගී. උද්‍යානය පිහිටියේ රාජ් භවන් හෙවත් ජම්මු කාශ්මීර ආණ්ඩුකාරවරයාගේ මන්දිරයට යාබදවය. උයන නිර්මාණය කර ඇත්තේ වර්ෂ 1642 දී ෂා ජහන් රජුගේ කාශ්මීර ආණ්ඩුකාරවරයාව සිටි අලි මාධන් ඛාන් විසිනි.
                උයන පිහිටියේ ඩැල් විලට මුහුණලාය. පසුබිමේ කදුවැටිය පාමුලින් උයන ඇරඹේ. කන්ද දෙසට ස්ථර හතරක් වන පරිදි එය නිර්මාණය කර ඇත. මධ්‍ය රේඛාව ඔස්සේ ඉද්දගැසුවා සේ ඇති දියමඟ එක් ස්ථරයක සිට අනෙකට කඩා වැටෙනුයේ කුඩා දිය ඇල්ලක් පරිද්දෙනි. උයන් කෙලවර ඇති කුඩා ගෘහය මාබල් වලින් සහ ටෙරාකොටා වලින් නිමවා ඇත. දියමඟ ඇරඹනුයේ එහි සිටය. ජලය අවසන ඩැල් විලට එකතුවනුයේ අතර මඟ ඇති වතුර මල් සහ පොකුණු වලට අලංකාරය ලබාදීමෙන් පසුවය. නේකවිධ මල් වර්‍ග, බොන්සායි ක්‍රමයට සැකසුණු තුරුලතා ඒ අතර ඇති තෘණ පලස් උයනේ අසිරිය තවත් වැඩිකරයි.
                මෞගල් උද්‍යාන අතරින් විශාලතම උද්‍යානය ශාලිමා උද්‍යානයයි.හෙක්ටයාර 31 ක වපසරිය පැතිරී ඇති මෙම උයන නියම රාජකීය මෞගල් උද්‍යානයයි. ෂා ජහන් රජු විසින් අත්‍යාලන්කාරයට පත්කරන ලද මෙම උයන මෞගල් වරුන්ගෙන් පසු කාශ්මීරය පාලනය කල පතන් සහ සීක් පාලකයින්ගෙන්ද නිති අවධානයට පාත්‍රවිය. කාශ්මීරය පාලනය කල රංජිත් සිං වරෙක කාශ්මීරයට පැමිණි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා පිළිගනු ලැබයේද ශාලිමා උද්‍යානයේදීය.




                ස්ථර හතරකින් සැදි උද්‍යානයේ මධ්‍ය රේඛාවේ දිවෙන දියමඟ ෂානාර් Sharnar ලෙස හැදින්වේ. එහි සිට දෙපසට උද්‍යානය පුරා පැතිරුණු පරිවාර දියමං සහ පොකුණු, දියමල් මුලික පර්සියානු උද්‍යාන ආකෘතිය විදහා දක්වයි. උයන් කෙලවර බවදාරී Bavadari රාජකීය වසන්ත මාළිගයයි. එහි කුළුණු සාදා ඇත්තේ කළු මාබල් වලිනි. සිවිලිම විචිත්‍ර සිතුවමින් අලංකාර කර ඇත. පසු බිමේ සුන්දර කදු වැටියත් ඒ මතින් ගලා හැලෙන උදා හිරුකිරණත් උයනේ සැරිසරන්නන්ට කොපමනවත් වූ කවි සිතිවිලි පහල කරයි. ඇස පෙනෙන මානයේ පිපී සැලෙන නෙක නෙක වර්ගයේ විචිත්‍ර වර්නයේ නෙත්කළු වූ පුෂ්පයෙන් උයන මල් උයනක් කරයි. උයනේ ඉහලම ස්ථරයේ සිට පහළ ස්ථරයට දියමඟ කඩා හැලෙන ස්ථානයේ අති පීඨිකාවේ සිට බැලූවිට මුළු උයනම එකම නෙත් සරකට දර්ශනයවේ. ඩැල් විලේ සිට හමා එන සීත පවන් රැළි පිපී සැලෙන පියුමන් පිසදා විත් සිතගත වෙලාගනී.


                මෙලෙස සුපසන් සිතින් උයන් සිරි නරඹන අතර මුණගැසෙන වංචාකරුවන්ගෙන්ද ප්‍රවේසම් වීමට සිහිතබාගත යුතුය. උයනේ තැනින් තැන කැමරා එල්ලාගෙන සාම්ප්‍රදියික ඇදුම් ආයිත්තම් තබාගෙන ඡායාරූප ගන්නා සොරමුල් සිටිති. එම ඇදුමින් සැරසී උයන තුල ඡායාරූපයකට පෙනී සිටින සංචාරකයින්ට ක්ෂණිකව ඡායාරූපය ලබාදෙනවායැයි කියා රුපියල් පන්සියක මුදලක් අයකර ගනී. ඡායාරූපය ගේට්ටුවෙන් පිටත ඇති කවුන්ටයකින් ලබාගත හැකි බව පවසා රිසිට්පතක් ලබාදේ. නමුත් හතර මායිමක ඡායාරූප මුද්‍රණය කිරීමට තබා ෆොටෝ කොපියක් ගැසීමටවත් තැනක් නොමැතිබව සිහිතබාගත යුතුය.
                සියළු මෞගල් උද්‍යාන අතරින් වඩාත් මා සිත්ගත් උද්‍යානය නිෂාත් බාග් Nishat Bagh. ස්ථර දොළහකින් යුත් බිම් සැකැස්මක් සහිතය. හත්වන තලයේදී මධ්‍ය අක්ෂ දියමඟ හයවන තලයට වැටීමේදී සෑදෙන දිය ඇල්ලත් ඉහළින් ඇති නැරඹුම් පීඨිකාවත් උයන් අසිරියට ආභරණය. උයනට ජලය සැපයෙනුයේ ශාලිමා උයන සිටය. ඉහළම තලය හඳුන්වනුයේ සොනානා උයන ලෙසය. එහි සිට බැලූවිට මහළින් මහළ ඩැල්විල දෙසට විහිදෙන උයන එකම නෙත්සරකින් රසවිඳිය හැක.

නිශාත් උයන අසිෆ් ඛාන් සහ ෂා ජහන් අතර විරසකයටත් මුල්විය‍. 1633 දී උයන නිර්මාණය කලේ අසිෆ් ඛාන්ය. උයනට පෙම්බැඳි ෂා ජහන් අශි‍ෆ් ඛාන් එය තමාට ත්‍යාග කරනු ඇතැයි බලාපොරොත්තුව සිටියේය. එය ඉටු නොවුනු තැන ෂා ජහන් ශාලිමා උයනේ සිට නිශාත් උයනට ජලසැපයුම නතර කරලීය.මෞගල්වරු උයන්වලට පෙම් බැන්දේ එලෙසය. 
Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association for Ladakh Studies

Saturday, April 22, 2017

කනසාවා ජේ ආර් දුම්රියපොළ

කනසාවා වැසියන්ගේ සෞන්දර්යාත්මක චින්තනය කනසාවා දුම්රිය ස්ථානයෙන් පවා පිළිබිඹුවේ. එය නගරයේ සුවිශේෂී මංසලකුණකි. වානේ ආකෘතියක් සහ මුළුමනින්ම වීදුරු ආවරනයක් සහිත ගෝලාකාර විශාල කනසාවා ජේ ආර් (japanse railway) දුම්රිය ස්ථානය දුර සිට බලන්නෙකුට පෙනෙනුයේ කුරුළු කැදැල්ලක් ලෙසය. දුම්රිය ස්ථානය කනසාවා වැසින් හදුන්චනු ලබන්නේ “මොටෙනාෂී ගෝලය” (motenashi dome) ලෙසය.


 මොටෙනාෂී යන්න ජබන් බසින් “සාදරයෙන් පිළිගනිමු” යන අරුත දේ. ගුවන් තොටුපළක් නොමැති කනසාවා නගරය භාහිර ලෝකයත් සමග සම්භන්ධ කරන ප්‍රධාන සංධිස්ථානය මෙම දුම්රිය ස්ථානයයි. එබැවින් නගරයට පැමිනෙන්නන් සාදරයෙන් පිළිගැනීමට සුදුසුම ස්ථානය මෙයයි. මෙහි ඉදිකිරීම් ආකෘතිය කනසාවා වැසියන් ආගන්තුක සත්කාරයට ඉතා ප්‍රියය යන්න ලොවටම කියාපාන්නකි.
දුම්රියපලේ නැගෙනහිර පිවිසුම කුඩයක හැඩය ගනී. වසර පුරාම පැතිරුන අධික වර්ෂාවක් ඇති, කොයි මොහොතේ වැස්ස කඩාවැටේදැයි අනාවැකි පලකල නොහැකි කනසාවා වෙත පැමිනෙන ආගන්තුකයින් අස්ථීර කාලගුණයෙන් ආරක්ෂා කරගැනීම එමගින් අර්ථවත්වෙයි. ‘ඔබ කනසාවා හීනම් අනිවාර්යෙන්ම කුඩයක් අත තිබියයුතුය’ යන්න මෙහි ප්‍රසිද්ධ කියමනකි.
ප්‍රධාන පිවිසුමේ විශාල රත්පැහැ දැවමය ආරුක්කුවකි. මෙය ජපන් රබානක ආකෘතිය නිරූපනය කරයි. කනසාවා හී සෞන්දර්ය කලාවන්ගේ උරුමය එමගින් සංකේථවත්කෙරේ.


දුම්රියපළ භූමිය විශාල ඉඩකඩ සහිත පුළුල් ප්‍රදේශයක පැතිර ඇත. නගරයේ බොහෝ පොදු ප්‍රවාහන සේවා ඇරඹෙනුයේ මෙහි සිටය. සාමන්‍ය බස්රථ සේවා මෙන්ම නගරයේ සංචාරක ආකර්ශණ ස්ථානවෙත සංචාරකයින් ගෙනයන බස්රථ සේවාව මෙහිසිට ඇරඹේ. ඒවාට කියනුයේ හෝ...හෝ බස් කියාය. Hop on Hop off බස් සංචාරක ස්ථාන යා කරමින් නියමිත මාර්ගයක ගමන් කරයි. දිනක ප්‍රවේශ පත්‍රයක් මිලයට ගත්විට මෙම බස්වලට දවස පුරා ඕනෑම තැනකින් නගින්නත්  බහින්නත් පුළුවන. නගරයේ කුලීරථ ගාල පිහිටියේද මෙහිය.
දුම්රිය ස්ථානය භූගත මහල් කීපයකින් යුක්තය. පහතම මහලවල දුම්රිය වේදිකා පිහිටා ඇත. ඉහළ භූගත මහලවල හයකුබන්ගායි Hayakubangai නම් වෙළද ප්‍රදේශය පිහිටා ඇත. මෙහි වෙළද කුටි සියගනනකි. ආපනශාලා, ප්‍රදේශයට ආවේණික නිෂ්පාදන, සිහිවටන, රන් රිදී ආභරණ, පළතුරු, පිසූ නොපිසූ ආහාර ආදී අලෙවි කරන සල්පිල් රැසකි.තරුණ මහළු බොහෝදෙනා වැඩ අහවරවෙලා ගෙදරයන ගමන් පිසූ බත් ටිකක්, සලාද ටිකක් සමග මාළු පෙත්තක් මෙම අහාර අලෙවිසල් වලින් අරගෙන යන්නෙ රාත්‍රී අහාරය සදහාය.  බොහෝ ජපන් වැසියන් සිය රාජකාරි ස්ථානයට යාමට ඒමට දුම්රිය භාවිතා කරති. මේනිසා රාජකාරි වේලාවට දුම්රියවල මේන්ම දුම්රිය ස්ථානයේද අතුරු සිදුරු නැත. උදේට දුම්රිය ස්ථානය තුලට ගලන ජනගග හවසට ඉන් පිටතට ගලයි.
ඉරු දිනට කනසාවා දුම්රිය පොල පරිශ්‍රය සංස්කෘතික මධ්‍යස්ථානයකි. එක් ඉරුදින උදෑසනක මා එහි ගියේ ඔමිකෝ omi cho මාළු වෙළද පොලට යන අටියෙනි. දුම්රිය පොල පරිශ්‍රයේ එක් කෙලවරක ජාත්‍යන්තර සූප ප්‍රදර්ශනයක් පැවැත්වේ. ඉන්දියාව, බංගලිදේශය, තායිලන්තය, තායිවානය, චීනය, හොංකොං වැනි රටවලින් ප්‍රදර්ශන කුටි ඉදිරිපත්කර ඇත. එම රටවල ආහාරපාන රසවිදීමට කනසාවා වැසියනටද  අවස්තාව සැලසී ඇත. උදේ කනසාවා රූට් ඉන් හෝටලයෙන් පිටත්වීමට කලින් කුසපිරෙන්න උදේට සප්පායම්ව සිටිනිසා කෑම රසබැලීම පසුවට තැබුවෙමු. තවත් තැනක තරුණියන් පිරිසකගෙන් පසැදුම්ලත් නර්තන කණ්ඩායමක් සම්ප්‍රදායික ජපන් බෙරවාදන නර්ථනයක් ඉදිරිපත් කරති. දුඹුරු පැහැ ඇදුමකින් සැරසුන සුන්දර ජපන් ලළනාවෝ ජපන් රබන් හා විශාල බෙර වයමින් ගිණිසිළු සේ රගදෙති. රංගනයේ මද විරාමයකදී සිත මේච්චල්කරගෙන දුම්රිය ස්ථානය ඇතුලත අවකාශය වෙත ගියෙමි. එහි වාදන තරගයකි. කනසාවා හී ප්‍රසිද්ධ වාදන ශිල්පීන් මෙහිදී සිය වාදන ඉදිරිපත් කරන වග එහිදී ලද අත් පත්‍රිකාවේ සටහන්ව තිබුනේ ඔවුන්ගේ ඡායාරූපද සමගය. ළයාන්විත වාදනයෝ රසික දන රස විදිනුයේ සිත් දැහැන් ගතවය. වෙනදාට කඩිසරව කඩිමුඩියේ කනසාවා දුම්රියපොලේ එහෙ මෙහෙ දුවන ජපන් වැසියෝ අද මෙසේ සංසුන්ව කලාරස විදින අයුරු දැකීම අරුමයැක්මය. මෙවැනි ඉදිරිපත් කිරීම් රස විදීමට රිසි තරුණ මහළු කවුරුත් ඉරුදිනට මෙහි පැමිණේ.







ඔමිකෝ වෙළද පොලට දුම්රියපලේ සිට පයින් යන දුරය. ඉරුදිනට විශේෂ මාළු වෙළද පොලකි. එය මුළු කනසාවා ප්‍රදේශයේම ප්‍රසිද්ධය. මාළු අලෙවිකුටි 500ක් පමණ ඇත. මාළු මාර්කට්ටුවේ අතුරු සිදුරු නැත. අමු මාළු මෙන්ම තම්බන ලද මාළුද අලෙවියට ඇත. සියළුම මාළු සුද්දකර ඇති නිසා දුගද හෝ අපවිත්‍ර බවක් නොමැත. මැස්සො නිලමැස්සො රූන් රූන් ගාමින් මාළු ගොඩවල් වසා රගදෙන්නේනැත. මේ නිසා කොච්චරවත් මැස්සො එලවන මුදලාලිලාද නැත. ගනන් අසා නොගෙන යන විට මාළු ලෑල්ලට ගසන පිලී වතුරෙන් පාරිභෝගිකයෝ නැහැවෙන්නේද නැත.

රත්‍රියට විදුලි ආලෝකය සහ වතුර මල් පරිසරය තවත් සුන්දර කරයි. තැනක විශාල පුවරුවක ජලයෙන් ‘සාදරයෙන් පිළිගනිමු යන්න ජපන් සහ ඉංග්‍රීසි බසින් සටහන්වේ. ඊලග මොහොතේ වෙලාව සටහන් වනුයේද ජලයෙන්මය. කාලය කා දමන්න, අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තරුණ තරුණියන් මෙහි එනු රිසිය. යෞවනයන්ට වඩා රංචු ගැසෙනු දැකිය හැක්කේ යෞවනියෝය. යාන්තම් නිතඹ වැසෙන කොට සාය හෝ කලිසම්කොට වලින් සැරසුනසොදුරු යුවතියෝ කෙටිබැමි මත ඉදගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙති. ඇතැමුන් දුම් උරති. අපේ රටේ මෙන් තරුණයින්ගේ අවධානය ඔවුන්වෙත යොමු නොවන සෙයකි. කාන්සියට කනසාවා දුම්රියපොල පැත්තේ මාද නිතර නිතර කරක්ගැසුවෙමි. නමුත් මෙවැනි රුවැත්තියන් සමග ගනුදෙනු නෙත්සරට පමනක් සීමාවූයේ බස දෙබසට බාධාවක් වූ නිසාය.




Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association for Ladakh Studies

Wednesday, April 12, 2017

අහස් ගව්වෙන් නුබ්රා නිම්නයට

දෙසැම්බර් 21වන දින අඵත් අවුරුදු උත්සවයත් නුබ්රාවල පැවැත්වෙන බව සොනාම්  ලේ ඊමෙල් පණිවිඩයක් එවා තිබුණි. ගුවන් ගමන් කාල  සටහන  අනුව අප ලෙහ් වෙත ලගා වීමට නියමිතව තිබුනේ දෙසැම්බර් 20දා උදෑසනය.
ලඩාකයේ අඵත් අවුරුද්ද හදුන්වනුයේ  ලොසාර්  Losar  උත්සවය  ලෙසය. මේවන විට අනෙක් සියඵ ප්‍රදේශවල  අවුරුදු සැණකෙළි අවසන්ය. ටිබෙට් දින දර්ශනයේ දසවන මාසයේ 25 වන දින ලොසාර් උත්සවය ඇරඹේ. එදින ටිබෙට් බුදුදහමේ ගෙලුග්පා පාර්ශ්වයේ නිර්මාතෘ සොන්ග්කාපා Tsongkhapa  තුමාගේ ඡන්ම දිනයයි. නමුත් ලඩාකයේ ලොසාර් උත්සවය ඇරඹෙනුයේ  ටිබෙට් දින දර්ශනයේ එකොළොස්වන මස පළමුවන දාය. ඒ ජැම්යැංග් නම්ගියාල් රජුගේ නියෝගයකට අනුවය. උත්සව අසිරිය දින 10 ක් 12ක් පුරාවට පවතී . අලුත් අවුරුදු උදාව දින රාත්‍රියේ මුඵ ලඩාකයේම නිවෙස් වල මෙන්ම ගොම්පා වල බටර් පහන් අලෝකයෙන් විචිත්‍රවත්වේ. එතැන් සිට බොහෝ පෙරහැර උත්සව පැවැත්වේ. වඩුවන්, කම්මල්කරුවන් අවුරුදු උදාවට පෙර සියලු වැඩ අත්හරි. තිරිගු පිටියෙන් තැනූ ඉබෙක්ස් සතුන් දෙනෙකු , බටර් පහන් වල දැවීම සදාහරිත ජුනිපර් අත්තක් මුලුතැන්ගෙයි කණුවක තබා බැදීම අලුත්අවරුදු චාරිත්‍ර අතර වෙයි. මේ බොහොමයක් සිදු කරනුයේ නිවෙස් වලටප්‍රදේශයට අධිගෘහිත ආරක්ෂක දෙවිවරු පිදීම සදහාය.
නුබ්රාහි අවසන් ලොසාර් උත්සවයට සහභාගි වීමට නම් අප දෙසැම්බර් 19 වන දිනවත් ලෙහ් වෙත ළගා විය යුතුය. අපගේ වාසනාවකට දෝ විසිවන දින පාන්දර අප ගමන් කිරීමට නියමිතවූ දිල්ලියේ සිට ලෙහ් බලා යන ගුවන් යානය කාලගුණික හේතු නිසා අවලංගු කෙරිණ. ඒ අනුව අපට දෙසැම්බර් 18 ව දින පාන්දර ගුවන් යානයේ අසුන් වෙන් කර දීමට එයාර් ඉන්දීය ගුවන් සමාගම කටයුතු කළේය. නුබ්රා හි ලොසාර් උත්සවයට සහභාගි වීම සැබෑවක් වූයේ එලෙසය.
 නුබ්රා සංචාරය කිරීමට විදේශිකයින්ට අවශ්‍ය අභ්‍යන්තර දේශ සීමා බලපත්‍රය  Inner  line  Permit        ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ආචාර්ය සොනාම් සහ  සෙරිංග් මෙනවිය යුහුසුඵව ඉටුකළහ. ශීත සෘතුවේ නිතර වෙනස් වන ලඩාකයේ කාලගුණය යහපත්ව පවතීවායි ප්‍රාර්ථනා කර සොනාම් යුවළ අලුත් ලුංග්තා කොඩිවැල් සිය නිවස වටා එල්ලූහ.
ලෙහ් නුබ්රා මාර්ගය නගරයේ උතුරු කෙළවරේ ඇති සුමෝ බලකොටුවට පිටුපසින් ගොස්  ලඩාර්ක් කදු පන්තියට ප්‍රවේශ  වේ. මෙම මාර්ගය වාහන ගමනාගමනය කළහැකි ලොව උසම දුර්ගය වන කන්දොංග් දුර්ගය හරහා වැටී ඇත. උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 15ක් පමණ වේ. ලෙහ් නගරයට යාන්තම්  හිරු එළිය වැටෙමින් පවති. පෙරදින රාත්‍රියේ ඇද හැලුන හිම කැට නිවෙස්වල පැතිලි වහල වල සුදු පුළන්ගොඩවල් සේ විසිරී ඇත. ඩිස්කිට්  ඩොල්මා මහත්මිය ද අප සමග ගමනට එක්විය. නුබ්රා හි අප නවාතැන් ගත්නේ ඇයගේ නිවසේය. ආචාර්ය සොනාම් ඔහුගේ ඇල්ටෝ කාර්ය පදවයි. ඔහුගේ ගම කාරේදෝග් දුර්ගයට පහළින් නුබ්රා නිම්නයේ ඇති කාර්දොංග් ග්‍රාමයයි . ශීත සෘතුවේ හිමෙන් වැසි ඇති කාර්දොංග් දුර්ග මගේ බොහො ලඩාකීයන්ට පවා රථ ධානවය කළ නොහැක. නමුත් ආචාර්ය සොනාම් ඒ සදහා නම් දරා ඇත. ඔහුට මෙය ඉතා සුපුරුදු මගකි. ඔහුට වසරේ ඕනෑම සෘතුවක ලඩාකයේ ඔනෑම මාර්ගයක රථ ධාවනය කළහැක. ඉතින් අප සැනසිල්ලේ ඔහු දෑතේ සුරක්ෂිතව ගමන් කරන්නෙමු.
ඉදහිට ගමන් ගන්නා හමුදා රථයක් හෝ නුබ්රාවැසියන්ගේ වාහනයක් හරැනු කොට මාර්ගය පාඵය. ලෙහ් වැසියන්  පවා මේ දිනවල නුබ්රා යන්නේ අත්‍යවශ්‍ය දේකට පමනී. අප දකුණු පුල්ලු පොලිස් මුරපොළ වෙත ළගාවන විට පෙරදින රාත්‍රියේ  සිදුවූ හිම පතනයෙන් මුලු ප්‍රදේශයම  වැසී ගොස්ය. අපගේ අභ්‍යන්තර ගමන් බලපත්‍රය හා විදේශ ගමන් බලපත්‍ර නිලධාරින්ට ඉදිරිපත් කිරිමෙන් පසු විවෘතව ඇති එකම තේ කඩයෙන් උණුකිරි තේ කෝප්පයකින් ඇග උණුසුම් කර ගත්තෙමු.
 කාර්දොංග්  කපොල්ල වෙත ඉහළට නැගෙන වැලමිට වංගු රැසකි. ක්‍රමයෙන්  අහස් ගව්වට ලංවෙද්දී මාර්ග‍යේ හිම ක්‍රමයෙන් වැඩිවේ. හිම ඉවත් කරන රථ මගින් විටින් විට පාරේ පසෙකට තල්ලු කර ඇති හිම සුදෝ සුදු ප්‍රාකාරයක් වැනිය. අලුත් හිම මත ඇතැම් තැනෙක රෝද එරේ. එවැනි වේලාවට වහා වාහනයෙන් බැස තල්ලු කළ යුතුය. සෙල්සියස් සෘණ 20 ට වඩා සීතලේ අඩි 18000ක් පමණ උසක එරෙන හිම මත වාහනයක් තල්ලු කිරීම කිසිසේත් ලෙහෙසු පහසු කාර්යයක් නොවේ. අත්වැසුම් සහිතව පවා ඇල්ටෝ රථයේ බදට අත තැබූ විට අයිස් කුට්ටියක් තද කර අල්ලනවා වැනිය. මොහොතකින් දෙඅත් කීරි ගැසී ඇගිලි ගල්වනවා සේ දැනේ. නමුත් ඩිස්කිට් මහත්මිය නම් ඉතා කඩිසරව එම කාර්යයයේ නිරතවේ.
මගේ ශ්‍රී ලංකාවේ මිතුරන් බොහොම ශක්තිවන්තයින්. ඔබට සයාචන් ග්ලැසියර් උනත්  තරණය කරන්න පුඵවන්මොටර් රිය තල්ලුකර ශීතලෙන් ගල් ගැසි ඇතුළට නගින විට සොනාම් ලේ පවසයි.

කරදරයකින් තොරව අප කාර්දෝංග් දුර්ගය වෙත ළගා වන විට දිනිදු වළාවන් අතර සැගව ගොස්ය. තිමිරයත් සතර දෙසින් හමනා මන්ද මාරුතයත් සීතල තවත් වැඩි කරයි. හාත්පස ස්වේත හිම යායකි. අඩි 18383ක් උස කාර්දෝංග් දුර්ගයේ සිට අප ආ දෙස බැලූ විට ඈතින් පෙනෙනුයේ සන්ස්කාර් කදු පන්තියකි. වසන්තයෙ එහි උසම කදු මුදුන වන ස්තොක් තැංග්රි පමණක් හිමෙන් වැසී තිබුනද සිසිරයේ මුලු කදු යායම හිමෙන් වැසි ඇත. ඉදිරිපස බැලූ විට සාදාකාලිකවම හිමෙන් වැසි ඇති කැරකොරාම් කදුපන්තිය දර්ශනය වේ. කාර්දොංග් තරණය කළ මුල්ම ශ්‍රී ලංකිකයින් අප වනවා නිසැකය . ඔබ සිටිනුයේ මොටර් රථ ධාවනය කරන ලොව උසම දුර්ගයේය” . සිහිවටන ඵලකය අසල සිට අප සමරු සටහන් කිහිපයක් කැමරා කාචයේ සටහන් කර ගත්තේ පුංචි  ආඩම්බරයකුත් සමගය.


සර සර ගා එකසීරුවට සුළඟට ළෙලදෙන ලුංග්තා කොඩිවැල් දහස් ගණනකින් සැරසුන පන්සල කදුමුදුනට වන්නට පිහිටා ඇත. එහි පසෙක කුඩා ස්ථූප නොහොත් කෝර්ටන් තුනකි. පොලිස් මුරපොලේත්, මාර්ග නඩත්තු ඒකකයේත් සේවයේ නියුතු කීපදෙනෙකු පැය විසහතර පුරාවට මෙහි සේවය කරති. දෑස පමණක් විවරව සියොළඟම වසාගෙන ඔවුන් සිටිනුයේ උණුසුම් ඇඟලුම් පහක් හයක් ඇලගලාගෙනය. සෙල්සියස් සෘණ හතළිහට වඩා පහළ බසින රාත්‍රියේ නවාතැන් පළ උණුසුම් කර ගැනීම ඔවුන්ගේ ප්‍රධානතම අභියෝගයයි.  සියලු දුක්ගැහැට මධ්‍යය් ඔවුහු සිය මෙහෙවර සිදුකරන අයුරු අපූරුය.



සිහිවටන පුවරුවේ ස්ථාන නාමය සටහන්ව ඇත්තේ කාදුංග්ලා  Khardung La ලෙසය. ඉන්දියන් හමුදාවයි BRO එකේ අයයි ලඩාකයේ ගම්වල සහ ස්ථානවල නාමයන් බොහොමයක් විකෘති කරල තියෙන්නේ.ආචාර්ය සොනාසම් පවසයි. BRO යනු  Border Road Organization දේශසීමා බඳ මාර්ග සංවර්ධන ආයතනයයි. ඉන්දියන් හමුදාවේ සහ BRO එකේ බොහෝ දෙනා ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත වලින් පැමිණෙන අයයි. ඔවුන් මාර්ග පුවරු සහ නාම පුවරු සකසුනුයේ ඔවුන්ට ඇසෙන සහ උච්ඡාරණය පහසු වන ලෙසය.
පුරාණයේ කාර්දෝංග් ග්‍රාමයේ මාළිගාවක් සහ බලකොටුවක් තිබී ඇත. Khar යන්න ලඩාක් බසින් මාළිගාව යන අරුත දේ.  Dzong  යනු බලකොටුවයි. මේ වදන් දෙක සංධි වී පසුකලෙක කාර්දෝංග් ලෙස ව්‍යවහාරවේ. ආචාර්ය සොනාම් නුබ්රා නිම්නයේ මෙලෙස විකෘති වූ ග්‍රාම හා නාම පිළිබද අධ්‍යනයක් කර පර්යේෂණ ලිපියක් ද පලකර ඇත.
කළගුණය යහපත් නොවූ නිසා අප වැඩි වේලාවක් දුර්ගය මුද්නේ රැඳී නොසිට පල්ලම් බසින්නට වීමු. ආපසු ගමනේ දී දුර්ගයේ සුන්දර හිම වැස්සක අසිරිය විඳින්නට ලැබුණේ නවමු අත්දැකීමකුත් සමඟය.
අප උතුරු පුල්ලු වෙත පල්ලම් බසිනුයේ හිම තට්ටුව මතිනි. රථ ධාවනයය ඉතා සීරුවට කළ යුතුය. රෝද වලට දම්වැල් යොදා නැති නිසා හිමේ ලිස්සා යා හැක. හිම ක්‍රීඩකයින් කුදුමුදනේ සිට වේගයෙන් රූටාවිත් පහළට පියඹන අයුරු මට මැවී පෙනෙන්නට විය. හිරුරැස් පතිත නොවුවද තවදුරටටත් හිම නොවැටීම සොනාම්ගේ හිතට සහනයකි.
කාර්දොංග් දුර්ගයේ සිට උතුරු පුල්ලු වෙත කිලෝ මීටර් දාහතරකි. උතුරු පුල්ලු, පාර දෙපස කඵගලින් කල නිවෙස් කිහිපයකින් සෑදුන කුඩා ග්‍රාමයකි. නොර්ත් පුල්ලු රෙස්ටෝරන්ට්ලෙස සටහන් පුවරුවක් කුඩා නිවසක් ඉදිරිපිට විය. මෙහිදී කෑම බීම සහ නවාතැන් සපයාගත හැක. නමුත් ශීත සමයේ දී වසා දැමේ. ඒ අසල පොලිස් මුරපොළ ඇත. ගම කෙළවර මග පසෙක ස්ථූපයකි. ඒ අසල මග දෙපස විශාල කොඩි ගස් දෙකක් සිටුවා ඒ දෙක යා කර ලුංග්තා කොඩිවැල් එල්ලා ඇත. කොඩිගස් දෙකේ ගොම්පාවල දක්නට ඇති විශාල මන්ත්‍ර කොඩි දෙකක් සුළගට ළෙලදේ. ගම්භාර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඉන් අපේක්ෂා කෙරේ.




ශ්වේත හිම යායේ තැන තැන මතුවූ වියළි ගිය තණ බුදින යැක් ගවයින් පෙරෙලෙන්න ආසන්න කඵගල් සේ කදුබෑවුමේ දැකිය හැක. ගිමිහාන සමයේ උණුසුමත් සමඟ කුදුමුදුන් වලට වී කාලය ගතකිරීමට ප්‍රියකරන යැක් ගවයින් නැවත ශීත සමයේ නිම්නයට පැමිණේ. පොළොව සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී යන විට හිමිකරුවන් උන් තම නිවෙස් අසල ගාල්කර ගනිති. මේ කාලයේ උන්ගේ ආහාරය ගෙහිමියන් වසන්ත කාලය පුරාවට සිය පැතලි පියස්ස මත රැස්කරගත් කණකොළය.

අප ක්‍රමයෙන් නිම්නයට අවතීර්ණ වන්නෙමු. නිම්නය මධ්‍ය‍යේ ගලාබසින දිය පහර තැන තැන අයිස් බවට පත්ව ඇත. ක්‍රමයෙන් නිවෙස් එක දෙක දක්නට ලැබේ. අප මේ ළඟා වෙමින් සිටිනුයේ අඩි 14730ක් ඉහළින් පිහිටි කාර්දෝංග් ග්‍රාමයටයි. ඉහළ නිම්නයේ පිහිටා ඇති නිසාත් දැඩි සුළඟ නිසාත් දේවදාර ගස් දක්නට නොමැත. අස්වනු නෙලා ඇති කෙත්බිම් වල අතරින් පතර ඇති විලෝගස් කොළහැලි ඉපල් බවට පත්ව ඇත. මෙහි බාර්ලි ප්‍රධානතම වගාවයි. සත්ව පාලනයද ජයටම කෙරේ. ගම්මානය මාර්ගය දකුණු පස පටු නිම්නය දිගේ පිහිටා ඇත. ගමේ ගොම්පාව පිහිටියේ නිම්නයේ කදුබෑවුමේ ඉහළට වන්නටය. ලඩාකයේ බොහෝ නිර්භීත මිනිසුන්ගේ තිඹිරිගෙය කාර්දොංග් ග්‍රාමයයි. විශේෂයෙන්ම ඉන්දිය හමුදාවේ ලඩාක් රෙඡිමේන්ත්‍රෙව් විරුවන් බොහොමයක් කාර්දෝංග්වරුය. දේශපාලනික වශයෙන් ද නුබ්රා නිම්නය ඉතා සංවේදී භූමියකි. ඉන්දියාවේ නිදහසින් පසු යුධගැටුම් තුනකට මෙම භූමිය මැදිහත්ව ඇත. උපාය මාර්ගික වශයෙන් ඉන්දියාව, චීනය හා පකිස්ථානය යන රටවල් තුනටම නුබ්රා නිම්නය ඉතා වැදගත්ය. 1948 දී පාකිස්ථානු හමුදා නුබ්රා පරිපාලන කේනද්‍රස්ථානය වන ඩිස්කිට් සිට කිලෝමීටර් 20 ක් එපිටින් ඇති ස්කූරු Skuru ගම්මානය තෙක් ආක්‍රමණය කළෝය. මේ කාලයේ නබ්රා නිම්නයේ ඉන්දීය හමුදා කඳවුරු හෝ විධිමත් මාර්ග පද්ධතියක් නොවුනි. ඉන්දීය හමුදාවට ප්‍රාද්ශයට ළගාවීමට බොහෝ අසීරු විය. සුමුර් ග්‍රාමයේ චෙවැංග් රින්චෙන් ඉන්දියන් හමුදාවට සම්බන්ධ වී නුබ්රා හි හමුදාවක් සංවිධානය කලේය. එම හමුදාව හැද්නිවූයේ නුබ්රා ආරක්ෂකයෝ ලෙසය. වික්‍රමාන්විතව සටන් කළ චෙවැංග් රින්චෙන්ගේ හමුදාව කිලෝ මීටර් හැටක් ඈතට පකිස්ථානු හමුදා පලවා හැරීමට සමත්විය. මේ වික්‍රමය උදෙසා ඔහුට වීරත්වය උදෙසා පිදෙන දෙවන උසස්ම ගස්මානය වන මහාවීර්චක්‍ර සම්මානයෙන් පිදුම් ලැබීය.
1962 ඉන්දු චීන යුද්ධයේ දී නැවතත් නුබ්රා නිම්නය සටන්බිමක් බවට ප ත්විය. 1971 ඉන්දු පකිස්ථාන යුද්ධයේ දී පාකිස්ථානු හමුදා නැවතත් නුබ්රා නිම්නය ආක්‍රමණය කළ අතර රින්චෙන්ගේ හමුදා මෙවර පකිස්ථානු හමුදා බොල්ට් ප්‍රදේශයේ ටුර්ටුක්, ටාෂි හා තැංග් ගම්මාන වලින් එහාට පළවා හරනි ලදී. ඒ අනුව අදවන විට මෙම ගම්මාන ඉන්දීය පාලනය යටතේ පවතී. රින්චෙන් නැවතත් මහාවීර්චක්‍ර සම්මානයෙන් පුදනු ලැබීය. 1984 දී රින්චෙක් කර්නල් නිලයේ සිට ඉන්දීය හමුදාවෙන් විශ්‍රාම ලැබීය. ඔහු පිළිබඳ විශාල ගෞරවයක් නුබ්රා වැසියන් තුළ අදටත් පවතී.

නුබ්රා නිම්නයේ බහුල සීබක්තොරන් නැමති වල්බෙරි පදුරුවල කොළහැලී ඇතත් තැඹිලි පාට ඉඳූනු බෙරි පීරි ඇත. ඒ අතර ඇති කොළ හැලුණු විලෝ ගස්වල රතු තැඹිලි පැහැ අතු රිකිලි නොයෙක් රටා මවයි. මග දෙපස ඇතැම් තැනෙක එක පෙළට ඇති කොළ නැති දේවදාර ගස් අතුරින් හිරුරැස් වැටෙන අපූරු සිතුවමක් මැවේ. ගොපල්ලෙක් සිය බැටඵ රැළ ඉතුරු වී ඇති තෘණ පඳුරු ඇති ඉසව්වක් සොයා දක්කයි.
අප ඔහුට ජුලේකියා අචාර කළෙමු.
සිනහපිරි මුහුණින් ඔහු ද ජුලේකියයි.







ගල් අතර ගපාගිය දියකඩිති එලෙසම ගල්ගැසුණු සේ මිදී ඇත. දරට ගිය ගැමිලියන් දෙනෙකු පිටින්ගත් දරමිටිය සමඟ සීරුවට ගලින් ගලට පා තබමින් දියකඩිත්ත ඔස්සේ ඉහළට නගී. අප ඔවුන්ට ජුලේ කීවෙමු. සතුටින් ඉපිල ගිය ඔවුන් දෙපළ ද අපට ජුලේ කිවෝය.

Dr Asela Perera
MBBS, MSc( Medical Admin)
Member of International Association of Ladakh Studies

Friday, April 7, 2017

හදිම්බා දෙවොල

මනාලී නගරයේ සිට කිලෝ මීටර දෙකක් පමණ පටු මාවත් ඔස්සේ කන්ද දෙසට රථාචාරී රථය මෙහෙයවයි. පාර දෙපසම ගේ දොරය. යමක් කමක් ඇත්තවුන්ගේ බව පෙනේ. පරිසරකාමින්ට සහ කාලය ඇත්තන්ට නගරයේ සිට කෙටි පියමඟක් ඔස්සේ පැමිණීමට ද අවකාශ ඇත. ඒ, අවට සිරි නරඹන ගමන්මය.
                රථය දැන් රථ ගාලයේ. මෙතැන් සිට සැරිය දෙපයින් ය. නිල් අහස් කුස සුදු පුළුන් වලා අතරින් පතිතවන උදා හිරු එළිය හිමාල දේශයට තවත් සුන්දර දවසක් කැන්දා එන සලකුණු ය. හිරු කිරණ හමුවේ පසුබා පලායන සීතල, සෞම්‍ය දිනයක ට අත වනයි. මේ සුන්දර දිනයේ අප පැමිණ සිටිනුයේ මනාලී හී වඩාත් ම සංචාරක ආකර්ශණය ලබා ඇති හදිම්බා දේවී දෙවොල නැරඹීමට ය.



                රථ ගාලේ සිට දෙවොල දක්වා රූස්ස ෆයිනස් සහ පොප්ලර් ගස් අතරින් වැටුණ පටුමඟ ඔස්සේ අප පිය නඟන්නෙමු. පරිසරය නිසලය. සිත දැහැන් ගන්වයි. භූමිය  පුරා පැතිරි නෙක පැහැ පියුම් නෙත පිනවයි.
                හදිම්බා දෙවඟන හින්දූන් අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍රවේ. දුර්ගා දෙවඟන ලෙසද ඇය හැඳින්වේ. හදිම්බා දෙවඟන හා බැඳුන හදිම්බා දෙවොල රසවත් පුරා වෘත්තාන්තයකි. මහා භාරතයේ ද හදිම්බා දෙවඟන පුරාවෘත්තාන්තය  සඳහන් වේ.
                හදිම්බා රාක්ෂ කුලයට අයත් ය. දෙමාපියන් නොමැති ඇය ජීවත්වූයේ සිය සොහොයුරු හදීම් සමඟය. හදීම් අතිදක්ෂ වික්‍රමාන්විත රණ ශූරයෙකි. සිය සොහොයුරා පරාජය කළ හැකි යම් අයෙක් වේද ඔහු හා සරණ බන්ධනයේ පැමිණෙන බව ඇය සිය අතපතා පැමිණියවුන්ට ප්‍රතිඥා දුනි.
                පාණ්ඩව දේශයෙන් පිටමං කළ රණශූර පාණ්ඩවයන් පස් දෙනෙක් මේ අතර මෙම ප්‍රදේශයට ලඟාවිය. ඔවුනතර සිටි කඩවසම්, රණශූරයෙකු වූ භිමා ට හදිම්බා ගැන සිත් පහළ විණි. ඔහු හදීම් සමඟ සටන් කළේය. සටනින් භිමා ජයගත් අතර හදීම් මරණයට පත්වුණි.
                පොරොන්දු ප්‍රකාරව හදිම්බා භිමා සමඟ සරණ බන්ධනයට පැමිණියාය.
                මිනිසාට, සතා සිව්පාවාට හා පරිසරයට අසීමිත ලෙස ආදරය සහ කරුණාව දැක්වූ හදිම්බා මිනිසුන් අතර දෙවඟනක් බවට පත්විය. ඇය භාවනානු යෝගීව කල්ගත කළ ගුහාව කේන්ද්‍ර කරගෙන හදිම්බා දෙවොල ඉදිවිණි. දෙවොලේ දන්නා ඉතිහාසය වසර 500කට එපිටට දිවේ. නමුත් සැබෑ ඉතිහාසය ඊට බොහෝ ඈතට දිවේ.
                ෆයිනස් සහ පොප්ලර් ගස් අතරින් වැටුන පියමඟ කෙළවර වන්නේ කළුගලින් කළ පියගැට පෙලකිනි. පියගැට පෙළ තරණය කළ විට තැනිතලා බිමෙහි පීඨිකාවක් මත සිව් මහල් පැගෝඩාකාර  නැතිනම් චෛත්‍යාකාර දෙවොල තනා ඇත. මෙය ප්‍රධාන වශයෙන් ම චීන හා ජපන් වාස්තු විද්‍යා ලක්ෂණ වලට නෑකම් කියයි. පළමු මහල් තුන දැව පතුරු සෙවිලි කළ චතුරස්‍රාකාර පියසි වලින් ආවරණය කර ඇත. ඉහළින්ම කොතක හැඩයෙන් යුත් තඹ පියස්සකි. සැකිල්ල දැව සහ මැටියෙන් නිමවා ඇත. මීටර් 24ක් උසැති මෙය හඳුන්වනුයේ ශිකාර් ලෙසය.
                දෙවොල ඉදිරිපස සියුම් කැටයමින් නිමි ලීකණු හතරකි. දෙපස ද එවැනිම ලී කණු හතර බැගින් ඇත. එමඟින් තුන්පසකින් යුත් බරාඳය  ප්‍රධාන කුටිය වටා ඇත.
                ප්‍රධාන කුටියට ප්‍රවේශ දොරටුව අඩි තුනකට වඩා උස නැත. එය වටා ඇති අඩි දෙකකට වඩා පළලින් යුත් ලී උළුවස්සේ මන බඳින මල්කම්, ලියකම් ය. දෙවඟනන්ගේ සහ සත්ත්ව රූප ද ඒ අතර වේ. උළුවස්සට ඉහළින් පිහිටි විශාල ලී බාල්කයේ නවග්‍රහයන් කැටයම් කර ඇත. ලලනාවන්ගේ රංගන ශෛලීන්, මහා භාරතයේ ක්‍රිෂ්ණගේ ජවනිකා එහි ඉතා සියුම්ව කැටයම් කර ඇත.





                ප්‍රවේශ දොරටුවෙන් ඇතුළු වන දෙවොලේ අභ්‍යන්තරය ස්වාභාවික ගල් ගුහාවයි. හදිම්භා දෙවඟන වෙනුවෙන් දැල්වෙන පහන් ආලෝකය අඳුර මදක් පළවා හරී. දෙවොලේ ප්‍රධානම පූජනීය වස්තුව වන සෙන්ටි මීටර 7.5ක් උසැති හදිම්බා දෙවඟනගේ ලෝකඩ ප්‍රතිමාව එහි තැන්පත් කර ඇත.
                හදිම්බා දෙවොල මුල් කරගෙන ප්‍රධාන උත්සව දෙකක් වාර්ෂිකව පැවැත්වේ. ඉන් එකක් හදිම්බා දේවියගේ උපන් දිනය මුල්කරගෙන මැයි මස  14වන දින පැවැත්වේ. දුන්ග්‍රී Dungri වනය ආශ්‍රිතව වෙසෙන කාන්තාවෝ බොහොමයක් ඒ සඳහා සහභාගී වන අතර නැටුමෙන් සහ ගැයුමෙන් උත්සවය අලංකාර වේ.

                අනෙක් උත්සවය පැවැත්වෙනුයේ මහරාජා බහදූර් සිං සිහි කිරීම පිණිසය. වර්තමාන විහාරය ඉදිකිරීමට පුරෝගාමී වූයේ ඔහුය.

Dr Asela Perera
MBBS, MSc (Medical Admin)
Member of International Association of Ladakh Studies

Wednesday, March 29, 2017

අසායිචී උදේ පොළ

ගිම්හානයේදී වජීමාවට වේලාසනින් අදුරවැටී කලින්ම හිරු උදාවේ. දැන් වෙලාව අළුයම පහයි. ලැගුම්කුටියේ කවුළුවෙන් නෙත්මානයේ ගැටෙන උදා හිරුඑලියෙන් නැහැවෙන වජීමා නගරය නෙතට සුන්දර දසුනකි. මගේ ලැගුම් කුටිය පිහිටියේ මහල් හයකින් යුත් වජීමා රූට්ඉන් හෝටලයේ පස්වන මහලේය. නගරය පුරාවට මෙම ගොඩනැගිල්ලට වඩා උස් ගොඩනැගිලි ඇත්තේ එකක් හෝ දෙකක්  පමණි. කළු හෝ දුඹුරු ලැකර් ආලේපිත ගොඩනැගිලි පියසි එක පොදියට ඇස් මානයේය. නගර මායිමේ නිල්ලපිරුණු කදුවලල්ලයි. වීදියේ ඉදහිට ධාවනය වන මෝටර් රථයක් හැරුණුකොට පාපැදිකරුවන් ඉදහිට ගමන්කරණු දැකියහැක. අසායිචි පොළ පටන්ගැනීමට පෙර නගරයේ මදක් ඇවිදින සිත් පහළ විණි.





වෙරළ අද්දර පිහිටි හෝටලයේ සිට එළියට පැමිණි විට ජපන් මුහුදේ රළපෙල වෙනදාට වඩා රළු ස්වභාවයක් ගෙන ඇති සෙයක් දැනිනි. ජපන් මුහුදේ සිට හමා එන මාරුතය ගමනට බාධා කරමින් මා විසිකර දමන්නට තැත් කරයි. ධීවර වරාය දෙසින් ‘චකාස්... චකාස්...’ හඩ නොනවත්වාම ගිගුම් දේ. ඒ නැංගුරම් ලාඇති බහුදින ධීවර යාත්‍රා හා ට්‍රෝලර් යාත්‍රා මාරුතයට රළු වී ඇති මුහුදු රළ හා පොරබදන හඩය. දින කීපයක සිට රූපවාහිනියෙන් සහ අනෙකුත් මාධ්‍ය මගින් නිරන්තරයෙන් වාර්තාකල ටයිෆූන් කුනාටුව සිහියට නැගින. පා ගමනින් හෝ පාපැදිවලින් සැරිසරන කිසිවකුත් නගරයේ නොමැතිබව වැටහුණු මා හනිකට නැවතත් හෝටලයට ගමන් කලෙමි. ටෝකියෝවට උතුරු දෙසින් ඇතුළු වුණු කුණාටුව හොන්ෂු දිවයින හරහා ගමන්කර අද දින ජපන් මුහුදට පිටවී යනබව රූපවාහිනියේ නිරන්තර කාලගුණ වාර්තා සැලකර සිටී. නමුත් වජීමා නගරයට ඉන් ආපදා තත්වයක් ඇතිනොවන බව සැලවීම හිතට සැනසිල්ලක්ම විය.

උදේ හත පමණ වනවිට සුළගේ ප්‍රචන්ඩත්වය ක්‍රමයෙන් පහව යන්නට විය. අසායිචි පොළ සුපුරුදු පරිදි පැවැත්වෙන බව හෝටලයේ කාර්ය මණ්ඩලය තහවුරු කලෝය. මා එහි යනවිටද පොළ පටන්ගෙනය. වසර සිය ගනනක ඉතිහාසයක් ඇති අසායිචී පොළ අපගේ සතිපොළකට බොහෝ සමානය. මසකට දෙවරක් පොල පැවැත්වෙයි. වීදියේ දෙපස තාවකාලික වෙළදකුටි, තට්ටු, බක්කි පමනක්නොව ඇතැමුන් බිම ඉටිකොල මතද වෙළදාමේ යෙදෙති. බොහෝමයක් වෙළදකුටි වෙන්ව ඇත්තේ අමු මාළු සහ වියළි කරවල අලෙවියටය. අමු මාළු සුද්දකර කපා සකසා රිජිෆෝම් බදුන්වල අසුරා පොලිතීන් වලින් ආවරණය කර ඇත. කරවල පැකට්කර මෙන්ම විවෘත්තවද අලෙවියට තබා ඇත. නමුත් මැස්සෝ නැත.  
ඇතැම් තැනක වෙළෙන්දියන් සතුව අලෙවියට ඇත්තේකුඩා කැරට් මිටි කීපයක්, ගෝවා ගෙඩි කීපයක් හෝ සලාද මිටි කීපයකි. මේවා සියල්ල සිය ගෙවත්තේම නිෂ්පාදන වේ.
අත්කම් ගෙත්තම් සහ සිහිවටන අලෙවිසල් රැසකි. මේ අතර කාගෙත් අවදානය යොමුවන්නේ වජීමා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ලැකර් වලින් චිත්‍රනයකල පෝසිලේන් නිෂ්පාදන කෙරෙහිය. නොයෙක් පරිමානයේ මල් බදුන්, කෝප්ප, පීරිසි, පිගන් ආදියේ අලංකාර සිතුවම් චිත්‍රනය කර ඇත. වජීමා සිහිවටනයක් ලෙස මාද මල්බදුන් දෙකක් මිලයට ගතිමි. නොයෙක් රසකැවිලි අලෙවිසල්වලද අඩුවක් නොමැත. මුළු පොලේම කඩපිල් දෙසීයක් පමණ ඇත.

 
අපේ පොළවල්වල මෙන් අසායිචි පොළේ බඩු විකුණන්න වෙළදුන්ගේ කෑගැසීමක් හෝ බඩු ගන්න පොරකෑමක්, හෙට්ටු කිරීමක් නැත. පොළ බොහෝ සාමකාමීය. නිශ්ෂබ්දය. බොහෝ වෙළෙන්දියන් වයස අවුරුදු අසූව ඉක්මවූ කාන්තාවන්ය. මහළු වජීමාවේ කොයින්ද තරුණ වෙළෙන්දියො. නමුත් මට තේරුම්ගැනීමට නොහැක්කේ අසායිචී පොළේ වෙළෙන්දියන් පමණක් සිටීමය. කෝ එතකොට වෙළෙන්දො? මේ’ උභතෝ කෝටිකය මා විසදා ගත්තේ අරකි සාං ගෙනි.


“ ධීවරයින්ගෙ, ගොවියන්ගෙ හෝ අත්කම් නිපැයුම් කරුවන්ගෙ බිරින්දෑවරු තමයි පොළේ වෙළදාමට එන්නෙ. එතකොට ඒ අයගෙ නිෂ්පාදන කටයුතු වලට බාධාවකද් වෙන්නෙ නෑනෙ.” ඇය මට පහදා දුන්නාය. ජපානයේ ජීවන වියදම ඉතා අධිකය. මේ නිසා තරුණ මහළු කොයි කවුරුත් කුමක් හෝ ආදායම් මාර්ගයක නිරත විය යුතුය. දිනක් හෝ ඉන් ඉවත්වීම ආදායමට තදින්ම බලපානු ලැබේ.

ජපන් ජාතිකයින් බොහෝ කුලෑටි ජාතියකි. අමුත්තන් සමග හාද වනවා ඉතා අඩුය. නමුත් අප් නඩේ සමග ඉක්මනින්ම කුළුපග වූහ. අපි ඒහැටි බඩු නොගත්තත් සමරු ඡායාරූපනම් බොහෝ ගත්තෙමු. 

Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association of Ladakh Studies