Friday, December 30, 2016

වැඩිය නොයන යන්න වටින දේදුගල


දේදුගල කියන්නෙ කෑගලු දිස්ත්‍රික්කයේ දොලොස්බාගේ කදුවැටියෙ පිහිටි කුඩා ගම්මානයක්. මේ ගම්මානය පිහිටියේ මුහුදු මට්ටමේ සිට අඩි දෙදහසක් පමන ඉහළින්. ජනප්‍රිය සංචාරක ආකර්ශන ලේඛනයට අයත් නොවුවත් දේදුගල කියන්නේ සැබෑ සංචාරකයකුට රසදුනක්. නෙත් සිත් වශීකරන භූවිශමතාවයත් සදාහරිත වැසි වනාන්තර වැස්මෙන් ඇතිකරන ස්වභාව සෞන්දර්යත් සැබෑ සංචාරකයකුගේ මනසට රසාලිප්තයක්මය.

Saturday, November 5, 2016

සුමූර් චුචික්


ලඩාකයට දෙසැම්බර් 21 දින සෑම වසරකම කෙටිම දිවා කාලයත් දීර්ඝතම රාත්‍රී කාලයත් ඇති දිනයයි. ඒ හිරුගේ ගමන් මඟ නිසාය. අද දින දිවා කාලයේ උෂ්ණත්වයද ඉතා අඩුවේ. නමුත් සුමූර් ගමට දෙසැම්බර් 21වඩාත් වැදගත් වනුයේ ප්‍රධාන  ලොසාර් Losar උත්සවය වන සුමූර් චුචික් Sumoor Chuchik  උත්සවය පැවැත්වෙන දිනය නිසාය. ටිබෙට් දින දර්ශනය අනුව අද දින එකොලොස් වන මස එකොලොස්වන දිනයි.

Sunday, October 30, 2016

ලෙහ් සිට ශ්‍රීනගර් දක්වා


            ලඩාකයෙන් අපට සමුගැනීමට කාලය ලංවෙමින් ඇත. දිල්ලියේ දින කීපයක් ගතකිරීමටත් ආග්‍රා ගොස් දිවියේ දෙවන වරටත් ටජ්මහල නැරඹීමටත් සැලසුම් කර සිටිමු. ලෙහ් සිට නැවත දිල්ලියට යාමට ක්‍රම දෙකක් ඇත. පළමුවැන්න බකුලා ගුවන්තොටුපළින් දිල්ලිය බලා ගුවනින් යාමය. නමුත් මේ දිනවල ලඩාක් වෙත ඇති අසීමිත සංචාරක තදබදය නිසා ගුවන් ටිකට්පත්වල මිල ගිනිගණන්ය. ඉන්දීය රුපියල් දොලොස්දහසකට අඩුවෙන් මිල පහත නොවැටේ. එනිසා ඒ අදහස අත්හළෙමු.
            දෙවැන්න ගොඩබිමින් යාමය. ඒ සඳහා විකල්ප මාර්ග දෙකකි. අප ආ මඟ ඔස්සේ නැවත කිලෝ මීටර 470ක් දුර ගෙවා මනාලී වෙත ගොස් මනාලී සිට දිල්ලියට යා හැක. මනාලි සිට දිල්ලිය දක්වා දුර කිලෝ මීටර 450 කි.


Monday, October 17, 2016

කාඩැංග් ගොම්පාව


            කඳුබෑවුමකට පිට දී ඇති කාඩැංග් (Kardang) ග්‍රාමය සහ ආරාමය පිහිටියේ භාගා ගඟට එගොඩිනි. තාන්දී ආසන්නයේ ඇති පටු යකඩ පාලමෙන් මාර්‍ගයට ප්‍රවේශවිය හැක. අප රළු බොරළු  කඳු ම‍‍‍‍ඟේ  ඉහළට නගින්නෙමු. එක පොදියට පිහිටි මැටියෙන් හෝ කඵගලින් බැඳි දෙමහල් හෝ තෙමහල් නිවාස කීපයකින් යුත් ඉපැරණි ගම්මානය පසුකල විට කෙත්බිම් අඩුය. තෘණ භූමියේ තැනතැන පොප්ලර් සහ විලෝ ගස් ය. ඒ අතර තණ බුදින ගවරංචුය.

Wednesday, October 12, 2016

පැන්ඩා කැදැල්ල


සතුන් කූඩුකර ප්‍රදර්ශනය කිරීම පිළිබද සත්ත්ව ලෝලීන් හා පරිසර වේදීන් අතර විවිධ මත පවතී. සතුන්ගේ නිදහස අහිමි කිරිමට මිනිසුන් වශයෙන් අපට ඇති අයිතිය කුමක්ද? මීට විසදුම් ලෙස ලෝකයේ බොහෝ දියුණු සත්වෝද්‍යාන හැකිතාක් ස්වභාවික පරිසරයක් සත්වෝද්‍යානය තුල නිර්මාණය කිරීමට කටයුතු කරයි. තායිලන්තයේ චියංග් මායි සත්වෝද්‍යානයද ස්වභාවික පරිසරය රැකගත් හරිත සත්වෝද්‍යානයක් ලෙස සැලකේ.

Sunday, October 9, 2016

රඟහල දැන් ඇත අඩ අඳුරේ.......

                 
 ශිම්ලා හි සුදු ජාතිකයකු මුලින්ම නිවසක් තැනුයේ වර්ෂ 1822 දී ය. චාල්ස් කෙනඩි මහතා විසින් තැනූ නිසා එය “කෙනඩි නිවස” ලෙස හැඳින්වේ. ඉන්දීය යටත් විජිතයේ වසන්ත අගනුවර ලෙස ශිම්ලා නිල වශයෙන් බ්‍රිතාන්‍යන් විසින් නම්කරනු ලැබුවේ වර්ෂ 1864 දී ය.
            සෞම්‍ය දේශගුණයත්, ස්වාභාවික සුන්දරත්වයත් දශක හතරක් වැනි කෙටි කාලයක් තුල අග නගරය ලෙස කිරුළු පැලඳීමට ශිම්ලාවට මඟ පෑදීය. ඒ සඳහා මූලික පිඹුරුපත් සැකසුයේ ශ්‍රීමත් ජෝන් ලෝරන්ස් ය.
            ශිම්ලා නුවර කේන්ද්‍ර කර ගනිමින් බ්‍රිතාන්‍යයන් විසින් ඇතිකල ගොඩනැගිලි සංස්කෘතිය අදටත් එහි අනන්‍යතාව සුරකිමින් විරාජමානව වැජබේ. වරක් පැමිණියකු නැවත නැවතත් තමන් වෙත ආකර්ශනය කරගැනීමට මේ නිසල ගොඩනැගිලි වලට හැකිය. මේ ඇතැම් ගොඩනැගිලි අද යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ද ඇතුලත් ය.
            මා වසර අටකට පෙර මෙහි පැමිණි අවස්ථාවේ එයින් නික්මුනේ නැවතත් ශිම්ලා වෙත එන්නෙමියි යන අදිටනෙනි.
            මෝල් වීදිය සැඳෑවත් සමඟ බොහෝ කඩිසර වේ. සංචාරකයින්, සැඳෑසුව විඳින්නන්, එකිනෙකා හමු වී ඕපාදූප කථාබහ කිරීමට රැස්වන නුවර වැසියන්, ව්‍යාපාර , රාජකාරි කටයුතු ආදී නෙක උවමනාවන් වෙනුවෙන් වීදියේ සැරිසරන්නන්ගෙන් අඩුවක් නොමැත.
            රිජ් Ridge හී සිට මෝල් Mall වීදිය ඔස්සේ සුප්‍රකට ක්‍රිස්තුදේව පල්ලිය පසුකරමින් කඩපිල් අතරින් පහළට යනවිට කළුගලින් බැඳි විශාල ගොඩනැගිල්ලකි. මා සොයමින් යන ගෙයිටී Gaitee රඟහල මෙයයි. ගෙයිටී රඟහලේ වේදිකා නළුවක් නැරඹීමට තිබුණේ ලොකු ආශාවකි.

Wednesday, October 5, 2016

හිමාලයේ ශිත හිමේ


            හිම වැටෙනව බලන්න කුඩා කළ සිට තිබූ නොනිමි ආශාව ඉටුකර ගන්නට ඉටා උදෑසනම අවදි වුණෙමි. සීත දුරුත්තේ හිමාලයේ සීතල ඇට මස් ලේ නහර තෙක් කිඳා බසී. අද 2006 දෙසැම්බර් 26දාය. අප සිටිනුයේ ශිම්ලා හී හොලිඩේ හෝම් හෝටලයේය. මෙය හිමාචල් ප්‍රාන්ත සංචාරක මණ්ඩලය යටතේ පාලනය ‍වේ.
 “ශිම්ලාවල නම් තාම හිම වැටිලා නෑ. කුෆ්රී (Kufri) වලට නම් ඊයේ රාත්‍රියේත් හිම වැටිලා තියෙනවා.” නිවාඩු නිකේතනයේ පිළිගැනීමේ කවුන්ටරයේ සිටි මහතෙකුගෙන් විස්තර දැනගතිමි.

Tuesday, September 20, 2016

පොප්ලර් සහ විලෝ නගරය


             ආචාර්ය සොනාම් වංග්චොක් මහතා අපව පිළිගත්තේ කොටුව වීදියේදී ය. අපගේ නවාතැන, ජම්ස්පාල් සංචාරක නිවාසය පිහිටියේ එහිය. මැදිවිය ඉක්ම වූ ලඩාක් යුවලක් එය පවත්වාගෙන යයි. සංචාරක නිවස මායිමේ වටේට ම පොප්ලර් ගස්ය. හිස් බිම් වලත් පොප්ලර් ය. ප්‍රධාන මාර්ග වල මෙන්ම අතුරු මාර්ග වලද දෙපස එක්කෝ පොප්ලර් ය. නැතිනම් විලෝ ගස්ය. ගෙමිදුල් වල ඇපල් හෝ ඇප්‍රිකෝට් ය. නැතිනම් එළවළු වගා කර ඇත.


Tuesday, August 30, 2016

ඉන්දියාවේ පාරාදීසයට


            ගොශාල් කඳුවැටියේ එක් බෑවුමක මධ්‍යයේ පිහිටි කීලෝංග් තුරු ලිය කෙත්බිම් මධ්‍යයේ පිහිටි සුන්දර කුඩා නගරයකි. නගරය කෙලවර නිම්නයේ භාගා ගඟ ගලා බසී. වසන්තයේ සැඳෑ අඳුර කීලෝංග් වෙත ගලනුයේ ප්‍රමදවය. නමුත් සීත සුළඟින් අඩුවක් නැත්තේය. අපගේ නවාතැන්පල ‘හිමදසුන’ හෝටලය නමට ගැලපෙන ලෙස හාත්පස මනස්කාන්ත දසුන් අප නෙත් මානයට කැඳවයි. රාත්‍රී අහර සඳහා භෝජනාගාරයේ සැකසෙන රසමසවුළු කුස පුරා සප්පායම් වන අතර සෝණු, අපගේ මාතලී පැමිණේ.
            “හෙට උදේ පහට අපි පිටත්වෙන්න ඕන. ඒ නිසා කලින්ම නින්දට යන්න.” මගේ කන් දෙපසින් රත්වීගෙන යන්නාසේ දැනිනි. මේ සීතලේ උදේ පහට නැඟිටන එක මරන්නා සේ නොවේ ද?

Friday, August 19, 2016

ජාකූ කන්ද


       ශීත මද පවන ගත සිසිලගන්වන නිකිණි මස උදෑසනක ජාකූ කන්ද නගින්නයි අපේ සූදානම. හිමාල කදුකරයේ නිතර දැකිය හැකි ඝණ වළාකුළු, අහස්කුස පුරා පැතිර හිරු එළිය මේච්චල් කරන නිසා හිරු දාහය නොදැනේ. අදුරු වළා විටින් විට මෝදු කලද වැසි වැටීමක් නිතර සිදු නොවේ.
            අද සදුදා දිනයක් වුවද බොහෝ ජනයා මෝල් වීදියේ සැහැල්ලු සිතින් ඉසිඹු සුව විදිනු පෙනේ. විටින් විට ජාකූ කන්ද සරසන මීදුම් සළු ශිම්ලා නගරයට දිස්වන හනුමා ප්‍රතිමාව දෙව්ලොව සඟවනු වැනිය. නැවත නගරය දෙස සිය අනුපමේය දයානුකම්පාව දල්වා මීදුම් අතරින් නෙත් ‍හෙලනු පෙනේ.

Tuesday, August 16, 2016

ඩැල් විලේ බෝට්ටු නිවාස


            ශ්‍රී නගර් කාශ්මීර නිම්නය මධ්‍යයේ පිහිටි සුන්දර නගරයකි.දශක ගනනාවක බෙදුම්වාදී උවදුරින් පීඩා විද දැන් දැන් ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් සිටී.ජෙලුම් නදියේ සෝබාවත් ඩැල් විලේ ලාලිත්‍යයත් නගරයට සිරියාවකි.


Wednesday, August 10, 2016

ගුර් ගුර් Gur gur


            අපි නුබ්රා නිම්නයේ ලබාබ්  Labab  ගම්මානයේ සොනාම්ගේ සොහොයුරාගේ නිවසට පැමිණෙන විට ගොමිමන පසුවෙමින් පැවතින. ලඩාක් භාෂාවෙන්  La යන්න කපොල්ල යන අරුතද, බාබ් bab යන්න බැස්ම නැතිනම් බෑවුම යන අරැතද‍දේ. නූබ්රා නිම්නයේ වරුල්ලා කපොල්ලේ සිට පහළට බසින විට හමුවන දෙවන ගම්මානය ලබාබ් ය. එබැවින් බෑවුම්ගම ලබාබ් ය.

Tuesday, August 2, 2016

නූබ්රා නිම්නය







            සොනාම් ලේ සහ සෙරෙන්ජ් මෙනවිය සමග ඔවුන් දෙපළගේ මෝටර්රථ දෙකෙන් අප මේ යන්නේ ලඩාක් දේශයේ සුන්දරම නිම්නය සේ සැලකෙන නූබ්රා නිම්නය වෙතය. ලෙහ් වලට ඊශාන දෙසින් ලඩාක් කඳුපංතියට එපිටින් නූබ්රා නිම්නය පිහිටා ඇත. වසත් සමයේ නෙක වනමලින් විචිත්‍රවත් වූත් තෘණ භූමි, තුරුබිම් වලින් අලංකෘත වූත් නූබ්රා නිම්නය පිළිබඳ පොත්පත් සඟරාවල දැකතිබූ පින්තූරත් මා මිත්‍ර සොනාම්ගේ විස්තරත් නිසා නුබ්රා නිම්න චාරිකාව අපගේ සිහිනයක්ම විය.

Monday, August 1, 2016

පුංචි කෝච්චියෙන් ශිම්ලා වෙත


            හිමාචල් ප්‍රාන්තය දුමිරියෙන්  දිල්ලිය සමඟ සම්බන්ධකම් පවත්වන ප්‍රධාන නගර දෙක සෝලාන් සහ ශිම්ලා ය.
            පුංචි කෝච්චිය කීවාම මට නිතැතින් සිහියට නැඟෙනුයේ මෑතක් වන තෙක්ම ධාවනය වූ කැළණි වැලි දුම්රියයි. කැළණි මිටියාවතේ කඳු අතරින් සීතාවක අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ පුංචි කෝච්චිය අද නැත. නමුත් ඉන්දියාවේ කල්කා සිට ශිම්ලා දක්වා දිවෙන පුංචි කෝච්චිය අදටත් කාර්ය බහුල මාර්ගයකි. ලොව සුන්දරම දුම්රිය මඟක් සේ සැලකෙන මේ ගමනට මා එක්වූයේ 2006 ශීත උඳුවප් මහේ නත්තල් දිනට පසුදිනය.

Sunday, July 31, 2016

ලඩාක් දේශය: අවාරයේ පැංගොංග් විල නරඔන්නට ගියෙමු.



  ටිබෙටය ලඩාකයේ සංස්කෘතික තිඹිරිගය ලෙස සැලකේ. බුදුදහම, භාෂාව, ටිබෙට් වෛද්‍ය කර්මය ආදිය අධ්‍යනය කිරීමටත්, සංචාරය උදෙසාත් ලඩාකයේ සිට ලාමාවරු ටිබෙට් වෙත යාම් ඊම් සිදු කෙරිණි. බොහො විට මෙම ගමන් සිදු කෙරුනේ චංග්තංග් සානුව ඔස්සේය. අද මෙන් රථ වාහන ගමන් කළ හැකි මාර්ග නොමැති එකල ඒ සඳහා තුන්හාර මාසයක් ගත විය. දේශගුණය අයහපත් නම් කාලය තවත් දීර්ඝ වේ. නමුත් 1959 න් පසු මේ ගමන් සියල්ල නැවතිණි. ඒ චීනය ටිබෙටය ඈදා ගැනීමත් සමඟය.