Saturday, December 16, 2017

ස්තොක් මාළිඟයේ දි රජ පවුල හමුවෙමු.

නැම්ගියාල් රාජාවලියේ මුලාරම්භය වසර දහසකටත් වඩා අතීතයට දිවේ. ලඩාකයේ ශ්‍රේෂ්ඨතම රජු ලෙස සැලකෙන සිංහ නැම්ගියාල්විරුදාවලිය ලත් සෙන්ගී නැම්ගියාල් නව මහල් ලෙහ් මාළිගය ඉදි කළේය. පසුව යෙෆල් නැම්ගියාල් ස්තොක් හී දැකුම්කළු මාළිගයක් ඉදි කළේය. ෂරවන් සිංග් ගේ නායකත්වයෙන් යුත් ඩොග්රා හමුදාව ලඩාකය ආක්‍රමණය කරනුයේ 1841 දීය. යෙෆල් නැම්ගියාල් රජුට ඩොග්රා ආක්‍රමණයට මුහුණ දීමට තරම් ශක්තියක් නොවුයෙන් ලඩාකය ජම්මු හා කාශ්මීර රාජ්‍යට ඈදා ගනු ලැබිණි.
            ලෙහ් මනාලී මාර්‍ගයේ ලෙහ් සිට දකුණු දෙසට කිලෝ මීටර 15ක් පමණ පැමිණ ඉන්දු නදිය තරණය කර සංස්කාර් කඳු පංතිය දෙසට ගමන් ගන්නා විට ස්තොක් ගම්මානය හමුවේ. කෙත්බිම් පිස හමන මද පවන සුවදායී පරිසරයක පෙර මග පවසන්නාසේය. නිරන්තර සුදෝසුදු හිමෙන් වැසුණ ස්තොක්තැංග්රී කඳුවැටිය ඉදිරිපසින් දිසේ. නැම්ගියාල් රාජාවලිය මෙවන් පරිසරයක සිය මාළිගය ඉදිකරගැනීමේ අරුමය කිම.
මාළිගයේ ප්‍රධාන ප්‍රවේශය අසල රථය ගාල් කෙරෙනවිට හිරුරැසින් නැහැවෙන මාළිගය ප්‍රෟඩව කදුමුදුනේ සිට අහස්කුස සිපගනිමින් සිටියේය. අසල කුඩා තුරුගොමුවක ලැගසිටි බිගු කැලක් වේගයෙන් මාළිගය දෙසට පියඹාගියේ අපගේ පැමිණීම වගකිවයුත්තනට දැනුම් දීමට සේය.
 ප්‍රාකාරයේ මිටි ප්‍රවේශ දොරටුවේ වාහල්කඩ ඉස්මත්තේ ස්ථූපයකි. එහි සිට පරිවාර ගොඩනැගිලි අතරින් ගල් පියගැට පෙළ පාර කියනුයේ මාළිගාවේ පිටත ප්‍රවේශ දොරටුව වෙතය. එහි ඇති කාර්යාලයෙන් රුපියල් පනහක ප්‍රවේශ පත ලබාගෙන පියගැටපෙළ නැඟි විට මාළිගා මිදුලට පිවිසේ. මිදුලේ ඉදිරිපස සහ දෙපස ආවරණය වන ලෙස ඇති පිය මඟකි. විලෝ ලීයෙන් කළ එහි පියස්සට ගොඩවීමට කුඩා පියගැට පෙළකි. දැන් එය පටු බැල්කනියකි. නිල්ල පිරුණු ස්තොත් ග්‍රාමයත් ඈත නිම්නයේ ගලා බසින ඉන්දු ගංඟාවත් පසුබිමේ ඇති ලඩාක් කඳු පන්තියත් මවන දසුන විස්තර කිරීමට වදන් පෙළගැස්වීම දුෂ්කරය.



   

Thursday, November 30, 2017

රෑ දොලහට බර්ලිනයට

බෙඩ්ලිවෝ සමුළුව අවසන පිරිස විසිර යන්නටවිය. ටිබෙට් මිතුරා ලොබ්සාංග්  අදදින පොස්නාන් හී ගතකර පසුදින වොර්සොව් බලායාමට නියමිත විය. බර්ලිනයට පය ගහන්න තියෙන ආශාවත් දුර ගමනක් ජර්මන් දුම්රියකින් යන්න තිබුන බලාපොරොත්තුවත් යන දෙකම සඵල කරගන්න මා ආපසු ෆ්‍රැරැන්ෆර්ට් යන ගමන බර්ලිනය හරහා සැලසුම් කරගෙනයි තිබුනෙ. පොස්නාන් සිට බර්ලින් බලා යාමට නියමිත පොල්ස්කි බස් සමාගමේ සුඛෝපභෝගී බසය ඩොර්සෙක් බස්නැවතුමට රත්‍රී හතයි පහට සේන්දුවුනා. 
වොංග්චුක් ලාමාත් ලඩාකීය මිතුරකු වුන ලොබ්සාංග් ඇතුළු තවත් ලඩාකීය තරුණියන් තිදෙනකුත් මෙම බසයෙන්ම බර්ලින් යන්න නියමිත විය. බර්ලිනයෙන් ප්‍රංශයටත් එතනින් ස්විට්සර්ලන්තයටත් යන්න ඔවුන් සැලසුම් කර තිබුණි.

Tuesday, November 21, 2017

ගෝර්ටන් මාළිගය

හනුමා ලංකාව ගිනි තිබ්බේ රාමායනයෙ. ඒ ඵෙතිහාසික පුරා වෘත්තයක. නමුත් මෙදා ගෝර්ටන් මාළිගය ගිනි තිබ්බේ හැබෑවටම. වඳුරන් භාරතයේ දේවත්වයේ ලා සැලකේ. එනිසා කොපමණ හිරිහැර කරදර තිබුණත් වඳුරාට හිංසා පීඩා නොකෙරේ.
            ශිම්ලා හි මෝල් වීදියේ පෞරාණික චාරිකාව ඇරඹෙන්නේ ඕපාදූප තුඩුවේ Scandal Point සිටය. ගමන දෙපයින්ය. හෙරිටේජ් වෝක් කියන්නේ ඒ නිසාය. මුළු චාරිකා දුර කිලෝ මීටර 2.5 කි.සිහින් මීදුම අතරින් පහලින් ලෝවර් බසාර් වීදියේ කඩපෙල දිස්වේ. උදෑසන නිසා තවම කඩ සාප්පු විවෘත්තව නැත. පයිනස් තුරුහිස් අතරින් ඈත දුම්රියපලේ පුංචි කෝච්චිය කල්කා බලා ගමන් අරඹන්න ලකලෑස්තිවේ. මධ්‍යම තැපැල් හල, ශාන්ත ඇන්ඩෘ දේවස්ථානය, කලිබාරි දෙවොල සහ රේල්වේ ‍බ්‍රෝඩ් ගොඩනැගිල්ල ආදිය නරඹා අප ගෝර්ටන් මාළිගයට පැමිණියෙමු.
වීදිය දෙපස ඇති ගොතික් මාදිලියේ ගොඩනැගිලිත් සෞම්‍ය දේශගුණයත් ස්කොට්ලන්තයේ කදුකර කුඩා නගරයකට ඔබ රැගෙන යයි.     

Friday, September 29, 2017

මාතෝ ආරාමය

තික්සි ආරාමය නැරඹීමෙන් පසු අප නැවත ලෙහ් - මනාලි මාර්ගයට පිවිස ටිකදුරක් ඉදිරියට ගොස් දකුණු පසට ඇති පටු මාර්ග පිවිසුමේ නතරවුනෙමු. ස්ටක්නා හා මාතෝ ආරාමවලට මේ මග ඔස්සේ යාහැක. අද සීතල උදුවප් මහේ පැහැබර දිනයකි. අතදිගු මානයේ නිල් අහස්කුස පසුබිමේ කුඩා කදු ගැටයක් මුදුනේ විසල් ස්ටක්නා ආරාමය දිස්වේ. මාතෝආරාමයට මෙහිසිට කිලෝ මීටර ‍12ක පමණ දුරක් ඇත.
            පටු මග ඇරඹෙන තැන දෙපස කුඩා තේ කඩ දෙකකි. ලංකාවේදී ගිනි රස්නෙත් උදේ දහයට තේ ඵකක් බොන අපිට මෙවන් සීතලක උණු තේ ඵකක පහස නොලබා ඉදිරියට යන්න හිත නොදේ. පියා කඩයේ තේ සාදයි. වෙළදාම් කරයි. ඔහුගේ දාහතර වියැති පුතු කඩපලට වී ගණිත පාඩමේ යෙදේ. ලඩාකයේ කටුක දේශගුණය මධ්‍යයේද දරුවෝ සිය අධ්‍යාපන කටයුතු මැනවින් සිදු කරති. ඵ් අතර අපේ කට්ටිය පොඩි බඩගින්නට පියා සෑදූ උණු නූඩ්ල්ස් පිගන් දෙකක් හා අලපෙති පැකට් කීපයක්ම හිස්කලෝය.
            ස්ටක්නා යන්නේ තෙරුම කොටි නාසයයන්නය. ඵ් ආරාමය පිහිටි කුඩා කදු ගැටය කොටියකුගේ නාසය හැඩය ගන්නා නිසාය. දාසය වන ශතවර්ශයේදී භූතාන ජාතික බෞද්ධ ලාමාවරයෙකු වූ චොස්ඡි ජිමියැංග් පල්කාර් තුමන් විසින් මෙහි ආරාමයක් ඉදිකරන ලදී. පසුකලෙක ඵය කොටි නාසය යන අරැත ඇති ස්ටක්නා ආරාමය ලෙස ප්‍රචලිත වන්නට විය. ඩ්‍රග්පා පාර්ශවයට අයත් ස්ටක්නා ගොම්පාවේ ලාමා වරැන් තිස් දෙනකු පමණ වැඩ වාසය කරති. ආරාමයේ ඩුකෑංග් විහාර කීපයක්ම ඇත.





Friday, September 1, 2017

යස ඉසුරින් පිරි හෙමිස් ගොම්පාව

ලෙහ් මනාලී මාර්ගයේ කාරු ආසන්නයේ දී ඉන්දු නදිය හරහා සංස්කාර් කඳු පංතිය වෙත දිවෙන මාර්ගයකි. මඟ දෙපස නිම්නයේ පොප්ලර් ගස් සෙවනේ සරුවට වැඩෙන බාර්ලී වගා බිම්ය. කඳු වැටියේ දඟර ගැසී ඉහළ නැගෙන මඟ ක්‍රමයෙන් හුදකලා පරිසරයකට පැමිණේ. දෙපස මුඩු භූමියේ ක්‍රෝටන් ලෙස හඳුන්වන ස්ථූපය. ඒවා ලුංග්තා කොඩිවැලින් සරසා ඇත.
            තැංග්තොංග් රශ්චන් Stangstong Raschen ලාමාතුමන් විසින් හෙම්ස් ආරාමය ඉදිකිරීම ඇරඹුවේ වර්ෂ 1630 දී ය. සෙන්ජි නැම්ගියාල් රාජානුග්‍රහය ඊට ලැබුණි.
            රථගාල පිහිටා ඇත්තේ ගොම්පාවේ පාමුලම බැවින් දෙපයට සැනසීමකි. රථයට ඉසිසඝුලන්නට ඉඩහල අප ඒ අසලම ඇති ගොම්පාවට අයත් භෝජනාගාරයට ගොඩවැදුනේ කුසට ඉස්පාසුවක් දෙන්නය. සියයට සියයක්ම නිර්මාංශ ආහාර පමණක්ම සපයන මෙම භෝජනාගාරය එතරම්ම හොඳ තත්ත්වයේ නොපැවතුන ද සාධාරණ මිලකට ආහාර වේලක් සපයා ගැනීමට නරකම නැත.
            අහරකිස නිමවා ප්‍රවේශ කවුළුවෙන් විදේශිකයන් සඳහා ඉන්දීය රුපියල් පනහක ප්‍රවේශ පත්‍රය බැගින් මිලයට ගෙන අත ඉක්මන් කළේ නරඹන්නට බොහෝ දෑ අති බැවිනි.
            ආරාමයේ පහළ සිට ඉහළට රතු සහ සුදු වර්ණාලේපිත සිව්මහල් , දෙමහල්, තෙමහල් ගොඩනැගිලි පෙළ වම්පසින් පිහිටි පියගැට පෙළින් සම්භන්ධ වී ඇත. ආරාමය පුරාම දක්නට ඇත්තේ ටිබෙට් ගෘහ නිර්මාණ ශෛලයයි.
            ප්‍රධාන විහාර ගොඩනැගිලි දෙක මධ්‍යයේ ඔපදැමූ කළුගල් ඇතිරූ මැද මිදුලයි. එය විවිධ උත්සව සහ පූජා අවස්ථාවන් හි දී ලාමාවරුන් රැස්වීම සඳහා භාවිතා වේ. මධ්‍යයේ ඇති කොඩිගස ලුංග්තා කොඩිවැලින් සැරසී ඇත.


Tuesday, June 27, 2017

ඇම්චි වෙද දුරු

                ප්‍රකාශ් විසිඅට වියැති ප්‍රසන්න පෙනුමැති තරුණයෙකි. අපට හමුවූයේ කීලෝංග් ප්‍රධාන වීදිය ඔස්සේ පුරවර ගවේශණය උදෙසා සැරිසරන සැදෑවක දීය. කෞතුකාගාරය නගරයේ ප්‍රධානතම රාජ්‍ය ආයතනයකි. කෞතුකාගාරයට මදක් පහළින්, කීලෝංග් සමූපාකාර අලෙවිසැල ඉදිරිපිට වීදියේ කඩපෙලේ කෘෂි රසායන අලෙවි සැලකි. ප්‍රකාශ් එහි හිමිකරුය.
                අප අතර දැනහැඳුනුම්කම ඇතිවූයේ අප ඔහුගෙන් යම් ඉසව්වක් පිළිබඳ තොරතුරු විමසීමෙනි.
                ලොහෝල් වැසියන් ඉතාම කාරුණික නිර්ව්‍යාජ ජන කොටසකි. බෞද්ධ ආභාෂය ඊට බලපා ඇතුවාට නිසැකය. ඔවුන් මදක් කුලෑටිය. අමුත්තන් හා දොඩමළු වීමට පසුබාති. සන්නිවේදන මාධ්‍යත් ඊට එක් හේතුවකි.


Thursday, June 15, 2017

සුන්දර බෙඩ්ලිවෝ

ලඩාක්අධ්‍යනය සදහා වන ජාත්‍යන්තර සංගමයේ මහ සමුළුව මෙවර පැවැත් වීමට කටයුතු යොදා තිබුනේ පෝලන්තයේ බෙඩ්ලිවෝ ග්‍රාමයේය. සමුළුවට සහභාගිවීමට විවිධ රටවලින් පැමිණෙන අය එකතුපහදු වීමට නියමිතවූයේ පොස්නාන් නුවර ග්ලෙනෙරියෝ මධ්‍යම දුම්රියපොළ පරිශ්‍රයයි. පිරිස රැගත් විශේෂ බස්රථය සවස දෙකයි තිහට පොස්නාන් වලින් පිටත් වුණි. අඩහෝරාවකින් පමණ කිලෝ මීටර 22ක දුරගෙවා බසය බෙඩ්ලිවෝ ගම්මානයට ලගාවනවිට මද වැස්සක් වැටෙමින් තිබුණි.

Friday, June 2, 2017

දිල්ලියේ ෂහජාන්බාද් නරඹමු

ඉන්දියාවේ සංචාරය කරන බොහෝ ශ්‍රී ලිංකීකයින්ගේ සමීපතම නගර වන්නේ චෙන්නායි සහ දිල්ලියයි. ඉන්දියාවට පැමිනෙන බොහෝ විදේශික සංචාරකයින්ගේ කේන්ද්‍රස්ථානය වන්නේද දිල්ලියයි. විශේෂයෙන්ම සාප්පු සවාරි සදහා දිල්ලිය චිරප්‍රසිද්ධය. තවද නැරඹිය යුතු සංස්කෘතික, ඓතිහාසික හා සංචාරක ආකර්ශන ස්ථාන බොහෝමයකි. එවන් දිල්ලියේ වීදි අතර ජන දිවිය, කලාව, සංස්කෘතිය, වෙළද ලෝකය සහ ඉතිහාසය සොයමින් එහි රසය විදිමින් කරන සංචාරයන් අපූරුය. නැවුම්ය.
ඉන්දියාවේ පරිපාලන කේන්ද්‍රස්ථානය වන දිල්ලිය අයත් වනුයේ Indian National Territory යනුවෙන් හැදින්වෙන වෙනමම පරිපාලන ඒකකයකටය. දිල්ලිය ප්‍රධාන වශයෙන් නව දීල්ලිය හා පැරණි දිල්ලිය වශයෙන් කොටස් දෙකකින් යුක්තය. සුන්දර යමුනාවේ බටහිර ඉවුරේ ගොඩනැගීඇති දිල්ලිය වානිජ්‍ය හා දේශපාලන කේන්ද්‍රස්ථානයක් වශයෙන් දියුණුවීම පටන්ගන්නේ මෞගල් අධිරාජ්‍ය සමයේ සිටය. විශේෂයෙන්ම ෂා ජහන් රජු තම රාජ්‍යයේ අගනුවර අග්‍රා සිට දිල්ලියට මාරු කිරීමට උත්සහ ගත්බව පෙනේ. මෙම නගර දෙතම යමුනා නදී තෙර පිහිටීමම මෞගල්වරු සහ යමුනාව අතර සබදියාව මනාව පෙන්නුම් කරයි.

Saturday, May 27, 2017

විහඟ ගීතය

ලඩාක් අධ්‍යනය සදහා වන ජාත්‍යන්තර සමුළුවේ වැඩසටහන පිළිබද ඊමේල් පණිවුඩයක් එවමින් රෆාල් පවසා ඇත්තේ මෙවර පොලන්තයට ශීත වසන්තයක් උදාවී ඇති බවය. රාත්‍රී උෂ්ණත්වය සෙලසියස් අංශක 2ත් 6ත් අතර වන බවත් දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් පමණ වන බව පවසා ඇත.
මගේ නිවහන පිහිටියේ අත්තනගලු ඔය අසබඩය. එගොඩ ඉවුරේ ඇති කොළ හැළුන රූස්ස පුළුන් ගස්දෙක වසන්ත සමය ඇරඹුමත් සමගම දකුණේ කුරුළු පාරාදීසවල සිට සිය මව්රටවල් බලායන විවරතුඩුවන්, කළු හිසැති කොකුන් ආදී පර්යටන පක්ෂීන්ගේ නවාතැන් පොළක් බවට පත්වේ. දවල් දවසපුරා අවට වගුරු සහ කුඹුරු බිම් වලින් සිය පාතරාසය සොයාගන්නා උන් ගොම්මන් අදුරත් සමග රංචු වශයෙන් සිය තිත්පොල වෙත ඇදී ඒ. එසේ පැමිනෙන උන් හොද අත්තක ඉත්තක් අල්ලගන්න ගහවටේ රවුම් දෙක තුනක් සර්පණය  කරනකොට මට සිහිවන්නේ බිම්ගතකරන්න කාලය පැමිනෙන තෙක් ගුවන්තොටුපළවටා කැරකෙන ගුවන් යානාවකි. රාත්‍රියට බඩගාගෙන එන විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීමට රූස්සගස්වල සිහින්ම අත්තක වැසීම උන්ගේ සිරිතකි. රංචුවක් පැමණ මෙසේ ගසේ වසන කල මුළු අත්තම තෙපුල්දේ. එවිට කලින්ම බඩකට පුරවාගෙන පැමිණ හොදතැන් අල්ලාගෙන සිටි උන් සට සට ගා තටු සලමින් දේහය තුලනය කරගෙන එතැනම ලගින්න වලිකති. නමුත් බොහෝ විට සිදුවනුයේ සමබරතාව බිදුණ බැවින් අත්තේ වසා සිටි සියළු දෙනාම නැවත ඉගිලගොස් රවුම් දෙක තුනක් ගසා එම ගසේම ලැගීමය. නැතිනම් අසල වෙනත් රූස්ස ගසක් සොයා යාමය.

Sunday, May 14, 2017

ශ්‍රී නගර් මෞගල් උයන්

ශ්‍රී නගර්, මෞගල් රාජ පරම්පරාවේ නිබඳ අවධානයට ලක්වු නගරයකි. සාහිත්‍යයට,සෞන්දර්යට හා ස්වභාව සුන්දරත්වයට තදින් ඇළුම් කල මෞගල්වරු කාශ්මීරයේ ස්වභාව සුන්දරත්වයෙන් වශීකෘත වීම අරුමයක් නොවේ. මේ නිසා මෞගල් රාජ වංශිකයන් ඉදිකල නිර්මාණ රාශියක් ශ්‍රි නගර් හා ඒ අවට පිහිටා ඇත. මේවා අතරින් ඩැල් විලේ දකුණ ඉවුර ඔස්සේ ඩැල් ද්වාරයේ සිට ෂන්කාරචායා කන්ද පසු කරමින් දිවෙන බුලෙවාර්ඩ් පාරේ පිහිටා ඇති මෞගල් උයන් අනිවාර්යෙන්ම නැරඹිය යුතු ස්ථානවේ.
                මේ සියළු උයන් ඉදිකර ඇත්තේ පර්සියානු නැතිනම් ඉස්ලාම් උද්‍යාන  කලාවට අනුවය. දියඇලි, ජල තටාක, දියමං මෞගල් උද්‍යානවල පොදු ලක්ෂණයකි. මෙවැනි උද්‍යාන ඉන්දියාවේ අග්‍රා, දිල්ලි, පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ දක්නට ඇත. ටජ් මහලද මෙවැනිම වූ සුන්දර මෞගල් උද්‍යනයකින් අලංකරනය වී ඇත.

Saturday, April 22, 2017

කනසාවා ජේ ආර් දුම්රියපොළ

කනසාවා වැසියන්ගේ සෞන්දර්යාත්මක චින්තනය කනසාවා දුම්රිය ස්ථානයෙන් පවා පිළිබිඹුවේ. එය නගරයේ සුවිශේෂී මංසලකුණකි. වානේ ආකෘතියක් සහ මුළුමනින්ම වීදුරු ආවරනයක් සහිත ගෝලාකාර විශාල කනසාවා ජේ ආර් (japanse railway) දුම්රිය ස්ථානය දුර සිට බලන්නෙකුට පෙනෙනුයේ කුරුළු කැදැල්ලක් ලෙසය. දුම්රිය ස්ථානය කනසාවා වැසින් හදුන්චනු ලබන්නේ “මොටෙනාෂී ගෝලය” (motenashi dome) ලෙසය.


Wednesday, April 12, 2017

අහස් ගව්වෙන් නුබ්රා නිම්නයට

දෙසැම්බර් 21වන දින අඵත් අවුරුදු උත්සවයත් නුබ්රාවල පැවැත්වෙන බව සොනාම්  ලේ ඊමෙල් පණිවිඩයක් එවා තිබුණි. ගුවන් ගමන් කාල  සටහන  අනුව අප ලෙහ් වෙත ලගා වීමට නියමිතව තිබුනේ දෙසැම්බර් 20දා උදෑසනය.
ලඩාකයේ අඵත් අවුරුද්ද හදුන්වනුයේ  ලොසාර්  Losar  උත්සවය  ලෙසය. මේවන විට අනෙක් සියඵ ප්‍රදේශවල  අවුරුදු සැණකෙළි අවසන්ය. ටිබෙට් දින දර්ශනයේ දසවන මාසයේ 25 වන දින ලොසාර් උත්සවය ඇරඹේ. එදින ටිබෙට් බුදුදහමේ ගෙලුග්පා පාර්ශ්වයේ නිර්මාතෘ සොන්ග්කාපා Tsongkhapa  තුමාගේ ඡන්ම දිනයයි. නමුත් ලඩාකයේ ලොසාර් උත්සවය ඇරඹෙනුයේ  ටිබෙට් දින දර්ශනයේ එකොළොස්වන මස පළමුවන දාය.

Friday, April 7, 2017

හදිම්බා දෙවොල

මනාලී නගරයේ සිට කිලෝ මීටර දෙකක් පමණ පටු මාවත් ඔස්සේ කන්ද දෙසට රථාචාරී රථය මෙහෙයවයි. පාර දෙපසම ගේ දොරය. යමක් කමක් ඇත්තවුන්ගේ බව පෙනේ. පරිසරකාමින්ට සහ කාලය ඇත්තන්ට නගරයේ සිට කෙටි පියමඟක් ඔස්සේ පැමිණීමට ද අවකාශ ඇත. ඒ, අවට සිරි නරඹන ගමන්මය.
                රථය දැන් රථ ගාලයේ. මෙතැන් සිට සැරිය දෙපයින් ය. නිල් අහස් කුස සුදු පුළුන් වලා අතරින් පතිතවන උදා හිරු එළිය හිමාල දේශයට තවත් සුන්දර දවසක් කැන්දා එන සලකුණු ය. හිරු කිරණ හමුවේ පසුබා පලායන සීතල, සෞම්‍ය දිනයක ට අත වනයි. මේ සුන්දර දිනයේ අප පැමිණ සිටිනුයේ මනාලී හී වඩාත් ම සංචාරක ආකර්ශණය ලබා ඇති හදිම්බා දේවී දෙවොල නැරඹීමට ය.



Wednesday, March 29, 2017

අසායිචී උදේ පොළ

ගිම්හානයේදී වජීමාවට වේලාසනින් අදුරවැටී කලින්ම හිරු උදාවේ. දැන් වෙලාව අළුයම පහයි. ලැගුම්කුටියේ කවුළුවෙන් නෙත්මානයේ ගැටෙන උදා හිරුඑලියෙන් නැහැවෙන වජීමා නගරය නෙතට සුන්දර දසුනකි. මගේ ලැගුම් කුටිය පිහිටියේ මහල් හයකින් යුත් වජීමා රූට්ඉන් හෝටලයේ පස්වන මහලේය. නගරය පුරාවට මෙම ගොඩනැගිල්ලට වඩා උස් ගොඩනැගිලි ඇත්තේ එකක් හෝ දෙකක්  පමණි. කළු හෝ දුඹුරු ලැකර් ආලේපිත ගොඩනැගිලි පියසි එක පොදියට ඇස් මානයේය. නගර මායිමේ නිල්ලපිරුණු කදුවලල්ලයි. වීදියේ ඉදහිට ධාවනය වන මෝටර් රථයක් හැරුණුකොට පාපැදිකරුවන් ඉදහිට ගමන්කරණු දැකියහැක. අසායිචි පොළ පටන්ගැනීමට පෙර නගරයේ මදක් ඇවිදින සිත් පහළ විණි.



Friday, March 24, 2017

දෙයියන්ගෙ රටට

ලොහෝල්, හිමාචල් ප්‍රාන්ථයේ ලොහෝල් සහ ස්පීට් දිස්ත්‍රික්කයේ එක් පරිපාලන ප්‍රදේශයකි. හිමාල කඳු පංතියට සමාන්තරව ඉන්දියාව ටිබෙට් සානුවෙන් වෙන්කරමින් පැතිර ඇති ලොහෝල් හිමාලයේ ස්කොට්ලන්තය ලෙස බ්‍රිතාන්‍යන් හඳුන්වයි.
                ටිබෙට් බසින් ලොහ්-යූල් Lho –Yul යන දකුණු දේශය යන අරුත ඇති වදනින් ලොහෝල් බිඳී ආ බව එක් මතයකි. දෙයියන්ගෙ රට යන අරුත ඇති ලහ්හි-යූල් Lhahi-Yul යන වදන ලොහොල් වූ බව තව මතයකි. ලා La යන්න ටිබෙට් බසින් දුර්ගය යන අරුත ඇති බැවින් ලා හෝල් යන්න දුර්ග රැසක් ඇති දේශය යන අරුත් දෙන බවට ද මතයකි. ලොහෝල් සංචාරය කළපසු මගෙ හිත මට කීවේ මේ කොයි අරුතත් ඊට මනාව ඔබින බවයි.

Friday, March 17, 2017

කෙන්රොකීන් උද්‍යානය Kenrokuen Garden

කනසාවා මාළිගයට දකුණු පසින මද බෑවුමකි. 1676දී පස්වන මෙයිඩා වංශික සුනනෝරී විසින් රෙන්චියෝචින් ලැගුම්හල මාළිගාවට මුහුණලා මෙම බෑවුමේ ඉදිකරන්නට විය.ලැගුම්හල වටා පිහිටි උයන රෙන්චිත‍ෙයි ලෙස නම්කලේ සුනනෝරී විසින්මය.ජපානයේ ප්‍රසිද්ධම උද්‍යාන තුනෙන් එකක් වන කෙන්රොකීන් උද්‍යානයේ මූලාරම්භය එයයි.

Friday, March 3, 2017

ගොජින්ජෝ දයිකෝ Gojinjo – daiko

කනසාවා සිට වජීමා දක්වා දිර්‍ඝ ගමනකින් සහ ක්‍ෙෂ්ත්‍ර අධ්‍යන වැඩසටහන් කිපයකට පසු අඳුර වැටෙන ජාමයේ  අප වඡිමා රූට් ඉන් හේටලය වෙත පැමිනෙමින් සිටියෙමු. නගරය පාළු ස්වභාවයක් උසුලයි.  ඉදහිට ගමන් ගන්නා වාහනයක් හමුවේ. නමුත් මුළු නගරයම විදුලි පහනින් ඵ්කාලෝක වි ඇත.
 ‘‘හේටලයට ගිය පසු උණු වතුරෙන් නා ගත්තම වෙහෙස නිවෙනව. රාත්‍රී ආහාරයන් පසු නගරයේ මදක් ඇවිදිමට යායුතුයි’’ මා සිතමින් පැමිනියෙමි.
“ අද රාත්‍රි අටට වජීමා සංස්කෘතික කේන්ද්‍රයේදී ගොජින්ජෝ බෙරවාදන සංදර්ශනයක් පැවැත්වෙනව. මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්. බලන්න කැමති අය රාත්‍රී හතයි තිහට ලොබි එකට එන්න.” වෙදා සං කටහඩ අවදිකලේ අප බසයෙන් බැසීමට සූදානම්වන විටය.

Monday, February 27, 2017

මහළු නගරය; වජීමා

ඉෂිකාවා ප්‍රිෆෙක්චරයේ උතුරු මායිමේ ජපන් මුහුද වෙත නෙරා ගිය කුඩා අර්ධද්වීපයකි. කිලෝ මීටර සියයක් පමන දිගැති මෙය නෝටෝ පෙනින්සියුලා ලෙස හදුන්වනු ලැබේ.
“අද ඔබගේ අධ්‍යන කටයුතු කිරීමට නියමිතව ඇත්තේ වජීමා මිනුසිපල් රෝහලේදීයි. එහිදී ඔබට ආපදා කලමණාකරනයේදී වජීමා මිනුසිපල් රෝහලේ අත්දැකීම් සහ සූදානම පිළිබද දැනුම බෙදා හදා ගන්න නියමිතයි.” උදෑසනස බසයට ගොඩ වීමට පෙර දවසේ සැලසුම පිළිබද සිය කෙටි පැහැදිලි කිරීම කරන වෙදා සං ජපන් බසින් පවසන දෑ ෆුජිමෝටෝ සං යුහුසුළුව ඉංග්‍රීසියට පරිවර්තනය කරයි.

Wednesday, February 15, 2017

නුබ්රා ගීතය


නුබ්රා නිම්නයේ ප්‍රථම සේද මාවත සැමරැම් උත්සවය පැවැත් වූයේ 2013 වසරේදීය. එතැන් පටන් සෑම වසරකම ජූනි මස 23 හා 24 දෙදින පුරා සුමූර් ග්‍රාමයේ වැලි කදු ආශ්‍රිතව ඔටු උද්‍යානයේදී සේද මාවත සැමරේ. මා මිත්‍ර ආචාර්ය සොනාම් වොංග්චොක් මෙම උත්සවය ඇරඹීමේ පුරොගාමියෙකි.වසර දෙදහසකට එපිට ඉතිහාසයක් ඇති සේද මාවත ඔස්සේ ගොඩනැගුණු අද්විතීය සංස්කෘතික උරුමය සුරැකීමත්, එය ඉදිරි පරම්පරාවලට දායාද කිරීමත් මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන අරමුණු බව  ඔහු පවසයි. නුබ්රා නිම්නයේ සාම්ප්‍රදායික නැටුම් ගැයුම් වැයුම් ජන ගායනා හා දුනු විදීම නොහොත් ආචරි ක්‍රිඩාව ආදී අංග රාශියකින් උත්සවය විචිත්‍රවත්වේ. ප්‍රදේශයට සංස්කෘතික සංචාරක ආකර්ශනය වැඩි කිරීමටද එමගින් ජනතාවගේ සමාජ ආර්ථික දියුණුවටද එය පිටිවහලක් වන බව ආචාර්ය සොනාම්ගේ අදහසයි. 

Friday, February 10, 2017

ලඩාක් පෝතල මාළිගය


ලෙහ් මනාලි මාර්ගයේ කිලෝ මීටර් විස්සක් පමණ අප පැමිණ ඇත්තෙමු. ඉන්දු ගංගාව දකුණු පසින් ගලා බසී. ගිම්හානයේ දී සැඩ ජල කඳ බොරපැහැයට ගලාගියා මතකය. මේ සිසිරයේ ගඟ දෑල හිම තැන්පත් වී ධවල බැමි දෙකක් බැඳ ඇතුවා සේය. මැදින් නිලට නිලේ ගලා බසින ජලයේ හිම කැටිති පාවනෙ හැටි බලන්නට ලස්සනය. වම් පසින් හිස් භූමිය කෙළවර වන්නේ ලඩාක් කඳු පන්තියෙනි. එහි කඳු මුදුන්හි එක යායකට ඇති ග්ලැසියර් හිරුරැස් වැටී සුදෝ සුදු වර්ණයෙන් බැබළේ. ලඩාක් කඳු පන්තිය ඉදිරියෙන් කුඩා කඳු ගැටයකි. එහි පාමුල සිට මුදුන දක්වා පැතිරුණ ලොකු කුඩා ධවල මන්දිර අතර රතු සහ කහ පැහැ ප්‍රාසාදයන්ය. මෙය දකින කෙනෙකු, තමුන් සිටිනුයේ ලාසාවේ යයි නිසැකවම සිතනු ඇත. අප ප්‍රධාන මාර්ගයෙන් හැරී තික්සි ග්‍රාමය ඔස්සේ වැටී ඇති මඟ ඔස්සේ ගමන් කරනුයේ පෝතල මාළිඟය දෙසටය. ලාංකික බෞද්ධයන්ට  දළඳා මාළගාව මෙන් වජ්‍රයාන බෞද්ධයන්ගේ  මුදුන් මල්කඩ ටිබෙටයේ ලාසාහි පෝතල මාළිඟයයි. එය දලයි ලාමාතුමාගේ වාසස්ථානය ද විය. ඒ හා සමාන ආරාමයක් ලඩාකයේ ඉදිකිරීමට ලඩාක් බෞද්ධයන්ට අවශ්‍ය විය. ඒ අනුව ගෙලුග්පා පාර්ශ්වයේ ආරාමයක් ලෙස තික්සි ආරාමය ඉදිකිරීම ඇරඹුයේ පහළොස්වන ශතවර්ෂයේදී පමණය. ආරාමයේ මූලික වාස්තු විද්‍ය සැලැස්ම පෝතල මාළිඟයට බොහෝ සමානය.