Monday, February 27, 2017

මහළු නගරය; වජීමා

ඉෂිකාවා ප්‍රිෆෙක්චරයේ උතුරු මායිමේ ජපන් මුහුද වෙත නෙරා ගිය කුඩා අර්ධද්වීපයකි. කිලෝ මීටර සියයක් පමන දිගැති මෙය නෝටෝ පෙනින්සියුලා ලෙස හදුන්වනු ලැබේ.
“අද ඔබගේ අධ්‍යන කටයුතු කිරීමට නියමිතව ඇත්තේ වජීමා මිනුසිපල් රෝහලේදීයි. එහිදී ඔබට ආපදා කලමණාකරනයේදී වජීමා මිනුසිපල් රෝහලේ අත්දැකීම් සහ සූදානම පිළිබද දැනුම බෙදා හදා ගන්න නියමිතයි.” උදෑසනස බසයට ගොඩ වීමට පෙර දවසේ සැලසුම පිළිබද සිය කෙටි පැහැදිලි කිරීම කරන වෙදා සං ජපන් බසින් පවසන දෑ ෆුජිමෝටෝ සං යුහුසුළුව ඉංග්‍රීසියට පරිවර්තනය කරයි.

Wednesday, February 15, 2017

නුබ්රා ගීතය


නුබ්රා නිම්නයේ ප්‍රථම සේද මාවත සැමරැම් උත්සවය පැවැත් වූයේ 2013 වසරේදීය. එතැන් පටන් සෑම වසරකම ජූනි මස 23 හා 24 දෙදින පුරා සුමූර් ග්‍රාමයේ වැලි කදු ආශ්‍රිතව ඔටු උද්‍යානයේදී සේද මාවත සැමරේ. මා මිත්‍ර ආචාර්ය සොනාම් වොංග්චොක් මෙම උත්සවය ඇරඹීමේ පුරොගාමියෙකි.වසර දෙදහසකට එපිට ඉතිහාසයක් ඇති සේද මාවත ඔස්සේ ගොඩනැගුණු අද්විතීය සංස්කෘතික උරුමය සුරැකීමත්, එය ඉදිරි පරම්පරාවලට දායාද කිරීමත් මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන අරමුණු බව  ඔහු පවසයි. නුබ්රා නිම්නයේ සාම්ප්‍රදායික නැටුම් ගැයුම් වැයුම් ජන ගායනා හා දුනු විදීම නොහොත් ආචරි ක්‍රිඩාව ආදී අංග රාශියකින් උත්සවය විචිත්‍රවත්වේ. ප්‍රදේශයට සංස්කෘතික සංචාරක ආකර්ශනය වැඩි කිරීමටද එමගින් ජනතාවගේ සමාජ ආර්ථික දියුණුවටද එය පිටිවහලක් වන බව ආචාර්ය සොනාම්ගේ අදහසයි. 

Friday, February 10, 2017

ලඩාක් පෝතල මාළිගය


ලෙහ් මනාලි මාර්ගයේ කිලෝ මීටර් විස්සක් පමණ අප පැමිණ ඇත්තෙමු. ඉන්දු ගංගාව දකුණු පසින් ගලා බසී. ගිම්හානයේ දී සැඩ ජල කඳ බොරපැහැයට ගලාගියා මතකය. මේ සිසිරයේ ගඟ දෑල හිම තැන්පත් වී ධවල බැමි දෙකක් බැඳ ඇතුවා සේය. මැදින් නිලට නිලේ ගලා බසින ජලයේ හිම කැටිති පාවනෙ හැටි බලන්නට ලස්සනය. වම් පසින් හිස් භූමිය කෙළවර වන්නේ ලඩාක් කඳු පන්තියෙනි. එහි කඳු මුදුන්හි එක යායකට ඇති ග්ලැසියර් හිරුරැස් වැටී සුදෝ සුදු වර්ණයෙන් බැබළේ. ලඩාක් කඳු පන්තිය ඉදිරියෙන් කුඩා කඳු ගැටයකි. එහි පාමුල සිට මුදුන දක්වා පැතිරුණ ලොකු කුඩා ධවල මන්දිර අතර රතු සහ කහ පැහැ ප්‍රාසාදයන්ය. මෙය දකින කෙනෙකු, තමුන් සිටිනුයේ ලාසාවේ යයි නිසැකවම සිතනු ඇත. අප ප්‍රධාන මාර්ගයෙන් හැරී තික්සි ග්‍රාමය ඔස්සේ වැටී ඇති මඟ ඔස්සේ ගමන් කරනුයේ පෝතල මාළිඟය දෙසටය. ලාංකික බෞද්ධයන්ට  දළඳා මාළගාව මෙන් වජ්‍රයාන බෞද්ධයන්ගේ  මුදුන් මල්කඩ ටිබෙටයේ ලාසාහි පෝතල මාළිඟයයි. එය දලයි ලාමාතුමාගේ වාසස්ථානය ද විය. ඒ හා සමාන ආරාමයක් ලඩාකයේ ඉදිකිරීමට ලඩාක් බෞද්ධයන්ට අවශ්‍ය විය. ඒ අනුව ගෙලුග්පා පාර්ශ්වයේ ආරාමයක් ලෙස තික්සි ආරාමය ඉදිකිරීම ඇරඹුයේ පහළොස්වන ශතවර්ෂයේදී පමණය. ආරාමයේ මූලික වාස්තු විද්‍ය සැලැස්ම පෝතල මාළිඟයට බොහෝ සමානය.