Wednesday, April 12, 2017

අහස් ගව්වෙන් නුබ්රා නිම්නයට

දෙසැම්බර් 21වන දින අඵත් අවුරුදු උත්සවයත් නුබ්රාවල පැවැත්වෙන බව සොනාම්  ලේ ඊමෙල් පණිවිඩයක් එවා තිබුණි. ගුවන් ගමන් කාල  සටහන  අනුව අප ලෙහ් වෙත ලගා වීමට නියමිතව තිබුනේ දෙසැම්බර් 20දා උදෑසනය.
ලඩාකයේ අඵත් අවුරුද්ද හදුන්වනුයේ  ලොසාර්  Losar  උත්සවය  ලෙසය. මේවන විට අනෙක් සියඵ ප්‍රදේශවල  අවුරුදු සැණකෙළි අවසන්ය. ටිබෙට් දින දර්ශනයේ දසවන මාසයේ 25 වන දින ලොසාර් උත්සවය ඇරඹේ. එදින ටිබෙට් බුදුදහමේ ගෙලුග්පා පාර්ශ්වයේ නිර්මාතෘ සොන්ග්කාපා Tsongkhapa  තුමාගේ ඡන්ම දිනයයි. නමුත් ලඩාකයේ ලොසාර් උත්සවය ඇරඹෙනුයේ  ටිබෙට් දින දර්ශනයේ එකොළොස්වන මස පළමුවන දාය. ඒ ජැම්යැංග් නම්ගියාල් රජුගේ නියෝගයකට අනුවය. උත්සව අසිරිය දින 10 ක් 12ක් පුරාවට පවතී . අලුත් අවුරුදු උදාව දින රාත්‍රියේ මුඵ ලඩාකයේම නිවෙස් වල මෙන්ම ගොම්පා වල බටර් පහන් අලෝකයෙන් විචිත්‍රවත්වේ. එතැන් සිට බොහෝ පෙරහැර උත්සව පැවැත්වේ. වඩුවන්, කම්මල්කරුවන් අවුරුදු උදාවට පෙර සියලු වැඩ අත්හරි. තිරිගු පිටියෙන් තැනූ ඉබෙක්ස් සතුන් දෙනෙකු , බටර් පහන් වල දැවීම සදාහරිත ජුනිපර් අත්තක් මුලුතැන්ගෙයි කණුවක තබා බැදීම අලුත්අවරුදු චාරිත්‍ර අතර වෙයි. මේ බොහොමයක් සිදු කරනුයේ නිවෙස් වලටප්‍රදේශයට අධිගෘහිත ආරක්ෂක දෙවිවරු පිදීම සදහාය.
නුබ්රාහි අවසන් ලොසාර් උත්සවයට සහභාගි වීමට නම් අප දෙසැම්බර් 19 වන දිනවත් ලෙහ් වෙත ළගා විය යුතුය. අපගේ වාසනාවකට දෝ විසිවන දින පාන්දර අප ගමන් කිරීමට නියමිතවූ දිල්ලියේ සිට ලෙහ් බලා යන ගුවන් යානය කාලගුණික හේතු නිසා අවලංගු කෙරිණ. ඒ අනුව අපට දෙසැම්බර් 18 ව දින පාන්දර ගුවන් යානයේ අසුන් වෙන් කර දීමට එයාර් ඉන්දීය ගුවන් සමාගම කටයුතු කළේය. නුබ්රා හි ලොසාර් උත්සවයට සහභාගි වීම සැබෑවක් වූයේ එලෙසය.
 නුබ්රා සංචාරය කිරීමට විදේශිකයින්ට අවශ්‍ය අභ්‍යන්තර දේශ සීමා බලපත්‍රය  Inner  line  Permit        ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ආචාර්ය සොනාම් සහ  සෙරිංග් මෙනවිය යුහුසුඵව ඉටුකළහ. ශීත සෘතුවේ නිතර වෙනස් වන ලඩාකයේ කාලගුණය යහපත්ව පවතීවායි ප්‍රාර්ථනා කර සොනාම් යුවළ අලුත් ලුංග්තා කොඩිවැල් සිය නිවස වටා එල්ලූහ.
ලෙහ් නුබ්රා මාර්ගය නගරයේ උතුරු කෙළවරේ ඇති සුමෝ බලකොටුවට පිටුපසින් ගොස්  ලඩාර්ක් කදු පන්තියට ප්‍රවේශ  වේ. මෙම මාර්ගය වාහන ගමනාගමනය කළහැකි ලොව උසම දුර්ගය වන කන්දොංග් දුර්ගය හරහා වැටී ඇත. උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 15ක් පමණ වේ. ලෙහ් නගරයට යාන්තම්  හිරු එළිය වැටෙමින් පවති. පෙරදින රාත්‍රියේ ඇද හැලුන හිම කැට නිවෙස්වල පැතිලි වහල වල සුදු පුළන්ගොඩවල් සේ විසිරී ඇත. ඩිස්කිට්  ඩොල්මා මහත්මිය ද අප සමග ගමනට එක්විය. නුබ්රා හි අප නවාතැන් ගත්නේ ඇයගේ නිවසේය. ආචාර්ය සොනාම් ඔහුගේ ඇල්ටෝ කාර්ය පදවයි. ඔහුගේ ගම කාරේදෝග් දුර්ගයට පහළින් නුබ්රා නිම්නයේ ඇති කාර්දොංග් ග්‍රාමයයි . ශීත සෘතුවේ හිමෙන් වැසි ඇති කාර්දොංග් දුර්ග මගේ බොහො ලඩාකීයන්ට පවා රථ ධානවය කළ නොහැක. නමුත් ආචාර්ය සොනාම් ඒ සදහා නම් දරා ඇත. ඔහුට මෙය ඉතා සුපුරුදු මගකි. ඔහුට වසරේ ඕනෑම සෘතුවක ලඩාකයේ ඔනෑම මාර්ගයක රථ ධාවනය කළහැක. ඉතින් අප සැනසිල්ලේ ඔහු දෑතේ සුරක්ෂිතව ගමන් කරන්නෙමු.
ඉදහිට ගමන් ගන්නා හමුදා රථයක් හෝ නුබ්රාවැසියන්ගේ වාහනයක් හරැනු කොට මාර්ගය පාඵය. ලෙහ් වැසියන්  පවා මේ දිනවල නුබ්රා යන්නේ අත්‍යවශ්‍ය දේකට පමනී. අප දකුණු පුල්ලු පොලිස් මුරපොළ වෙත ළගාවන විට පෙරදින රාත්‍රියේ  සිදුවූ හිම පතනයෙන් මුලු ප්‍රදේශයම  වැසී ගොස්ය. අපගේ අභ්‍යන්තර ගමන් බලපත්‍රය හා විදේශ ගමන් බලපත්‍ර නිලධාරින්ට ඉදිරිපත් කිරිමෙන් පසු විවෘතව ඇති එකම තේ කඩයෙන් උණුකිරි තේ කෝප්පයකින් ඇග උණුසුම් කර ගත්තෙමු.
 කාර්දොංග්  කපොල්ල වෙත ඉහළට නැගෙන වැලමිට වංගු රැසකි. ක්‍රමයෙන්  අහස් ගව්වට ලංවෙද්දී මාර්ග‍යේ හිම ක්‍රමයෙන් වැඩිවේ. හිම ඉවත් කරන රථ මගින් විටින් විට පාරේ පසෙකට තල්ලු කර ඇති හිම සුදෝ සුදු ප්‍රාකාරයක් වැනිය. අලුත් හිම මත ඇතැම් තැනෙක රෝද එරේ. එවැනි වේලාවට වහා වාහනයෙන් බැස තල්ලු කළ යුතුය. සෙල්සියස් සෘණ 20 ට වඩා සීතලේ අඩි 18000ක් පමණ උසක එරෙන හිම මත වාහනයක් තල්ලු කිරීම කිසිසේත් ලෙහෙසු පහසු කාර්යයක් නොවේ. අත්වැසුම් සහිතව පවා ඇල්ටෝ රථයේ බදට අත තැබූ විට අයිස් කුට්ටියක් තද කර අල්ලනවා වැනිය. මොහොතකින් දෙඅත් කීරි ගැසී ඇගිලි ගල්වනවා සේ දැනේ. නමුත් ඩිස්කිට් මහත්මිය නම් ඉතා කඩිසරව එම කාර්යයයේ නිරතවේ.
මගේ ශ්‍රී ලංකාවේ මිතුරන් බොහොම ශක්තිවන්තයින්. ඔබට සයාචන් ග්ලැසියර් උනත්  තරණය කරන්න පුඵවන්මොටර් රිය තල්ලුකර ශීතලෙන් ගල් ගැසි ඇතුළට නගින විට සොනාම් ලේ පවසයි.

කරදරයකින් තොරව අප කාර්දෝංග් දුර්ගය වෙත ළගා වන විට දිනිදු වළාවන් අතර සැගව ගොස්ය. තිමිරයත් සතර දෙසින් හමනා මන්ද මාරුතයත් සීතල තවත් වැඩි කරයි. හාත්පස ස්වේත හිම යායකි. අඩි 18383ක් උස කාර්දෝංග් දුර්ගයේ සිට අප ආ දෙස බැලූ විට ඈතින් පෙනෙනුයේ සන්ස්කාර් කදු පන්තියකි. වසන්තයෙ එහි උසම කදු මුදුන වන ස්තොක් තැංග්රි පමණක් හිමෙන් වැසී තිබුනද සිසිරයේ මුලු කදු යායම හිමෙන් වැසි ඇත. ඉදිරිපස බැලූ විට සාදාකාලිකවම හිමෙන් වැසි ඇති කැරකොරාම් කදුපන්තිය දර්ශනය වේ. කාර්දොංග් තරණය කළ මුල්ම ශ්‍රී ලංකිකයින් අප වනවා නිසැකය . ඔබ සිටිනුයේ මොටර් රථ ධාවනය කරන ලොව උසම දුර්ගයේය” . සිහිවටන ඵලකය අසල සිට අප සමරු සටහන් කිහිපයක් කැමරා කාචයේ සටහන් කර ගත්තේ පුංචි  ආඩම්බරයකුත් සමගය.


සර සර ගා එකසීරුවට සුළඟට ළෙලදෙන ලුංග්තා කොඩිවැල් දහස් ගණනකින් සැරසුන පන්සල කදුමුදුනට වන්නට පිහිටා ඇත. එහි පසෙක කුඩා ස්ථූප නොහොත් කෝර්ටන් තුනකි. පොලිස් මුරපොලේත්, මාර්ග නඩත්තු ඒකකයේත් සේවයේ නියුතු කීපදෙනෙකු පැය විසහතර පුරාවට මෙහි සේවය කරති. දෑස පමණක් විවරව සියොළඟම වසාගෙන ඔවුන් සිටිනුයේ උණුසුම් ඇඟලුම් පහක් හයක් ඇලගලාගෙනය. සෙල්සියස් සෘණ හතළිහට වඩා පහළ බසින රාත්‍රියේ නවාතැන් පළ උණුසුම් කර ගැනීම ඔවුන්ගේ ප්‍රධානතම අභියෝගයයි.  සියලු දුක්ගැහැට මධ්‍යය් ඔවුහු සිය මෙහෙවර සිදුකරන අයුරු අපූරුය.



සිහිවටන පුවරුවේ ස්ථාන නාමය සටහන්ව ඇත්තේ කාදුංග්ලා  Khardung La ලෙසය. ඉන්දියන් හමුදාවයි BRO එකේ අයයි ලඩාකයේ ගම්වල සහ ස්ථානවල නාමයන් බොහොමයක් විකෘති කරල තියෙන්නේ.ආචාර්ය සොනාසම් පවසයි. BRO යනු  Border Road Organization දේශසීමා බඳ මාර්ග සංවර්ධන ආයතනයයි. ඉන්දියන් හමුදාවේ සහ BRO එකේ බොහෝ දෙනා ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත වලින් පැමිණෙන අයයි. ඔවුන් මාර්ග පුවරු සහ නාම පුවරු සකසුනුයේ ඔවුන්ට ඇසෙන සහ උච්ඡාරණය පහසු වන ලෙසය.
පුරාණයේ කාර්දෝංග් ග්‍රාමයේ මාළිගාවක් සහ බලකොටුවක් තිබී ඇත. Khar යන්න ලඩාක් බසින් මාළිගාව යන අරුත දේ.  Dzong  යනු බලකොටුවයි. මේ වදන් දෙක සංධි වී පසුකලෙක කාර්දෝංග් ලෙස ව්‍යවහාරවේ. ආචාර්ය සොනාම් නුබ්රා නිම්නයේ මෙලෙස විකෘති වූ ග්‍රාම හා නාම පිළිබද අධ්‍යනයක් කර පර්යේෂණ ලිපියක් ද පලකර ඇත.
කළගුණය යහපත් නොවූ නිසා අප වැඩි වේලාවක් දුර්ගය මුද්නේ රැඳී නොසිට පල්ලම් බසින්නට වීමු. ආපසු ගමනේ දී දුර්ගයේ සුන්දර හිම වැස්සක අසිරිය විඳින්නට ලැබුණේ නවමු අත්දැකීමකුත් සමඟය.
අප උතුරු පුල්ලු වෙත පල්ලම් බසිනුයේ හිම තට්ටුව මතිනි. රථ ධාවනයය ඉතා සීරුවට කළ යුතුය. රෝද වලට දම්වැල් යොදා නැති නිසා හිමේ ලිස්සා යා හැක. හිම ක්‍රීඩකයින් කුදුමුදනේ සිට වේගයෙන් රූටාවිත් පහළට පියඹන අයුරු මට මැවී පෙනෙන්නට විය. හිරුරැස් පතිත නොවුවද තවදුරටටත් හිම නොවැටීම සොනාම්ගේ හිතට සහනයකි.
කාර්දොංග් දුර්ගයේ සිට උතුරු පුල්ලු වෙත කිලෝ මීටර් දාහතරකි. උතුරු පුල්ලු, පාර දෙපස කඵගලින් කල නිවෙස් කිහිපයකින් සෑදුන කුඩා ග්‍රාමයකි. නොර්ත් පුල්ලු රෙස්ටෝරන්ට්ලෙස සටහන් පුවරුවක් කුඩා නිවසක් ඉදිරිපිට විය. මෙහිදී කෑම බීම සහ නවාතැන් සපයාගත හැක. නමුත් ශීත සමයේ දී වසා දැමේ. ඒ අසල පොලිස් මුරපොළ ඇත. ගම කෙළවර මග පසෙක ස්ථූපයකි. ඒ අසල මග දෙපස විශාල කොඩි ගස් දෙකක් සිටුවා ඒ දෙක යා කර ලුංග්තා කොඩිවැල් එල්ලා ඇත. කොඩිගස් දෙකේ ගොම්පාවල දක්නට ඇති විශාල මන්ත්‍ර කොඩි දෙකක් සුළගට ළෙලදේ. ගම්භාර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඉන් අපේක්ෂා කෙරේ.




ශ්වේත හිම යායේ තැන තැන මතුවූ වියළි ගිය තණ බුදින යැක් ගවයින් පෙරෙලෙන්න ආසන්න කඵගල් සේ කදුබෑවුමේ දැකිය හැක. ගිමිහාන සමයේ උණුසුමත් සමඟ කුදුමුදුන් වලට වී කාලය ගතකිරීමට ප්‍රියකරන යැක් ගවයින් නැවත ශීත සමයේ නිම්නයට පැමිණේ. පොළොව සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී යන විට හිමිකරුවන් උන් තම නිවෙස් අසල ගාල්කර ගනිති. මේ කාලයේ උන්ගේ ආහාරය ගෙහිමියන් වසන්ත කාලය පුරාවට සිය පැතලි පියස්ස මත රැස්කරගත් කණකොළය.

අප ක්‍රමයෙන් නිම්නයට අවතීර්ණ වන්නෙමු. නිම්නය මධ්‍ය‍යේ ගලාබසින දිය පහර තැන තැන අයිස් බවට පත්ව ඇත. ක්‍රමයෙන් නිවෙස් එක දෙක දක්නට ලැබේ. අප මේ ළඟා වෙමින් සිටිනුයේ අඩි 14730ක් ඉහළින් පිහිටි කාර්දෝංග් ග්‍රාමයටයි. ඉහළ නිම්නයේ පිහිටා ඇති නිසාත් දැඩි සුළඟ නිසාත් දේවදාර ගස් දක්නට නොමැත. අස්වනු නෙලා ඇති කෙත්බිම් වල අතරින් පතර ඇති විලෝගස් කොළහැලි ඉපල් බවට පත්ව ඇත. මෙහි බාර්ලි ප්‍රධානතම වගාවයි. සත්ව පාලනයද ජයටම කෙරේ. ගම්මානය මාර්ගය දකුණු පස පටු නිම්නය දිගේ පිහිටා ඇත. ගමේ ගොම්පාව පිහිටියේ නිම්නයේ කදුබෑවුමේ ඉහළට වන්නටය. ලඩාකයේ බොහෝ නිර්භීත මිනිසුන්ගේ තිඹිරිගෙය කාර්දොංග් ග්‍රාමයයි. විශේෂයෙන්ම ඉන්දිය හමුදාවේ ලඩාක් රෙඡිමේන්ත්‍රෙව් විරුවන් බොහොමයක් කාර්දෝංග්වරුය. දේශපාලනික වශයෙන් ද නුබ්රා නිම්නය ඉතා සංවේදී භූමියකි. ඉන්දියාවේ නිදහසින් පසු යුධගැටුම් තුනකට මෙම භූමිය මැදිහත්ව ඇත. උපාය මාර්ගික වශයෙන් ඉන්දියාව, චීනය හා පකිස්ථානය යන රටවල් තුනටම නුබ්රා නිම්නය ඉතා වැදගත්ය. 1948 දී පාකිස්ථානු හමුදා නුබ්රා පරිපාලන කේනද්‍රස්ථානය වන ඩිස්කිට් සිට කිලෝමීටර් 20 ක් එපිටින් ඇති ස්කූරු Skuru ගම්මානය තෙක් ආක්‍රමණය කළෝය. මේ කාලයේ නබ්රා නිම්නයේ ඉන්දීය හමුදා කඳවුරු හෝ විධිමත් මාර්ග පද්ධතියක් නොවුනි. ඉන්දීය හමුදාවට ප්‍රාද්ශයට ළගාවීමට බොහෝ අසීරු විය. සුමුර් ග්‍රාමයේ චෙවැංග් රින්චෙන් ඉන්දියන් හමුදාවට සම්බන්ධ වී නුබ්රා හි හමුදාවක් සංවිධානය කලේය. එම හමුදාව හැද්නිවූයේ නුබ්රා ආරක්ෂකයෝ ලෙසය. වික්‍රමාන්විතව සටන් කළ චෙවැංග් රින්චෙන්ගේ හමුදාව කිලෝ මීටර් හැටක් ඈතට පකිස්ථානු හමුදා පලවා හැරීමට සමත්විය. මේ වික්‍රමය උදෙසා ඔහුට වීරත්වය උදෙසා පිදෙන දෙවන උසස්ම ගස්මානය වන මහාවීර්චක්‍ර සම්මානයෙන් පිදුම් ලැබීය.
1962 ඉන්දු චීන යුද්ධයේ දී නැවතත් නුබ්රා නිම්නය සටන්බිමක් බවට ප ත්විය. 1971 ඉන්දු පකිස්ථාන යුද්ධයේ දී පාකිස්ථානු හමුදා නැවතත් නුබ්රා නිම්නය ආක්‍රමණය කළ අතර රින්චෙන්ගේ හමුදා මෙවර පකිස්ථානු හමුදා බොල්ට් ප්‍රදේශයේ ටුර්ටුක්, ටාෂි හා තැංග් ගම්මාන වලින් එහාට පළවා හරනි ලදී. ඒ අනුව අදවන විට මෙම ගම්මාන ඉන්දීය පාලනය යටතේ පවතී. රින්චෙන් නැවතත් මහාවීර්චක්‍ර සම්මානයෙන් පුදනු ලැබීය. 1984 දී රින්චෙක් කර්නල් නිලයේ සිට ඉන්දීය හමුදාවෙන් විශ්‍රාම ලැබීය. ඔහු පිළිබඳ විශාල ගෞරවයක් නුබ්රා වැසියන් තුළ අදටත් පවතී.

නුබ්රා නිම්නයේ බහුල සීබක්තොරන් නැමති වල්බෙරි පදුරුවල කොළහැලී ඇතත් තැඹිලි පාට ඉඳූනු බෙරි පීරි ඇත. ඒ අතර ඇති කොළ හැලුණු විලෝ ගස්වල රතු තැඹිලි පැහැ අතු රිකිලි නොයෙක් රටා මවයි. මග දෙපස ඇතැම් තැනෙක එක පෙළට ඇති කොළ නැති දේවදාර ගස් අතුරින් හිරුරැස් වැටෙන අපූරු සිතුවමක් මැවේ. ගොපල්ලෙක් සිය බැටඵ රැළ ඉතුරු වී ඇති තෘණ පඳුරු ඇති ඉසව්වක් සොයා දක්කයි.
අප ඔහුට ජුලේකියා අචාර කළෙමු.
සිනහපිරි මුහුණින් ඔහු ද ජුලේකියයි.







ගල් අතර ගපාගිය දියකඩිති එලෙසම ගල්ගැසුණු සේ මිදී ඇත. දරට ගිය ගැමිලියන් දෙනෙකු පිටින්ගත් දරමිටිය සමඟ සීරුවට ගලින් ගලට පා තබමින් දියකඩිත්ත ඔස්සේ ඉහළට නගී. අප ඔවුන්ට ජුලේ කීවෙමු. සතුටින් ඉපිල ගිය ඔවුන් දෙපළ ද අපට ජුලේ කිවෝය.

Dr Asela Perera
MBBS, MSc( Medical Admin)
Member of International Association of Ladakh Studies

No comments:

Post a Comment