Saturday, May 27, 2017

විහඟ ගීතය

ලඩාක් අධ්‍යනය සදහා වන ජාත්‍යන්තර සමුළුවේ වැඩසටහන පිළිබද ඊමේල් පණිවුඩයක් එවමින් රෆාල් පවසා ඇත්තේ මෙවර පොලන්තයට ශීත වසන්තයක් උදාවී ඇති බවය. රාත්‍රී උෂ්ණත්වය සෙලසියස් අංශක 2ත් 6ත් අතර වන බවත් දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් පමණ වන බව පවසා ඇත.
මගේ නිවහන පිහිටියේ අත්තනගලු ඔය අසබඩය. එගොඩ ඉවුරේ ඇති කොළ හැළුන රූස්ස පුළුන් ගස්දෙක වසන්ත සමය ඇරඹුමත් සමගම දකුණේ කුරුළු පාරාදීසවල සිට සිය මව්රටවල් බලායන විවරතුඩුවන්, කළු හිසැති කොකුන් ආදී පර්යටන පක්ෂීන්ගේ නවාතැන් පොළක් බවට පත්වේ. දවල් දවසපුරා අවට වගුරු සහ කුඹුරු බිම් වලින් සිය පාතරාසය සොයාගන්නා උන් ගොම්මන් අදුරත් සමග රංචු වශයෙන් සිය තිත්පොල වෙත ඇදී ඒ. එසේ පැමිනෙන උන් හොද අත්තක ඉත්තක් අල්ලගන්න ගහවටේ රවුම් දෙක තුනක් සර්පණය  කරනකොට මට සිහිවන්නේ බිම්ගතකරන්න කාලය පැමිනෙන තෙක් ගුවන්තොටුපළවටා කැරකෙන ගුවන් යානාවකි. රාත්‍රියට බඩගාගෙන එන විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීමට රූස්සගස්වල සිහින්ම අත්තක වැසීම උන්ගේ සිරිතකි. රංචුවක් පැමණ මෙසේ ගසේ වසන කල මුළු අත්තම තෙපුල්දේ. එවිට කලින්ම බඩකට පුරවාගෙන පැමිණ හොදතැන් අල්ලාගෙන සිටි උන් සට සට ගා තටු සලමින් දේහය තුලනය කරගෙන එතැනම ලගින්න වලිකති. නමුත් බොහෝ විට සිදුවනුයේ සමබරතාව බිදුණ බැවින් අත්තේ වසා සිටි සියළු දෙනාම නැවත ඉගිලගොස් රවුම් දෙක තුනක් ගසා එම ගසේම ලැගීමය. නැතිනම් අසල වෙනත් රූස්ස ගසක් සොයා යාමය.
සවසට ගලන දියේ මදක් සැතපී විඩා නිවාගන්න ඔයට බසින මා මුන්ගේ මේ නාටකය බලා සිටිනුයේ අදුර වැටෙනවා නොදැනීමය. සිය දිගු පෙදය සරුංගලයක් සේ රැලිති නගමින් හීයක වේගයෙන් ඔය ඉවුරේ ගසක සිට පියඹාව්ත් දියේ ගිලී නැවත සිටි තැනටම යන සුදුරෙදි හොරා සහ සිවුරු හොරා සවස් යාමයට වරදින්නේ නැත. දිනපතා මේ වේලාවට උන්ගේ ස්නානය වරදින්නේ නැත. ඔයේ ඉහළට මතුව ඇති කළුගල් වල වසනා කුඩා සතුන් ආහාර කරගැනීමට පැමිණෙන හලන්පෙන්දාගේ ඉවරයක්නැති පස්සපැද්දිල්ල විටෙක මට නොදැනීම මගේ මුවට මන්දාස්මිතයන් රැගෙන ඒ. මෙසේ කාලය ගෙවෙන අතර මැයි මාසයේ මුල පමණ හිටිගමන් මෙම විහග රැන අන්තරස්දානවේ. ඇතැම්විට ලෙඩ හැදුන හෝ පර්යටනයට තරම්ශක්තියක් නොමැති උන් එකකු දෙන්නකු තවත් කාලයක් ගතකරයි. සන්ද්‍යාවේ ලගින්නතැන් අල්ලගන්න ඔට්ටුවෙන විවරතුඩුවන්, කළුහිසැති කොක්කුන්ගේ කරච්චලය නැතිකාලයේ ඔය අද්දර මට දැනෙනුයේ වස පාළුවකි. එවිට මා උන්දැන් සයිබීරියාවේ හෝ යුරෝපයේ උන්ගේ ගම්බිම්වල සුපුරුදු ජීවන රටාව ගතකරන අයුරු මනසින් සිතුවම් කරමින් සිටිද්දී වතුරේ ගෑවී නොගෑවී ඔයට සමාන්තරව විදිල්ලක්සේ පියඹායන මල්පිළිහුඩුවකුගේ ක්‍රීක් නාදයෙන් නැවත පියවි ලොවට එන්නෙමි.
මේ දිනවල ලංකාවට ඉර මුදුන්වෙලා හින්ද ග්‍රීෂ්මයත් දාහයත් අහුලන්න බැරුවාය. බක්මහේ මුල ඇදහැළුන වැහිකෝඩ දෙකතුන නිසා තවමත් ඔයේ යහමින් වතුර ගලායයි. ගල්තලාවේ දිගඇදී කරවටක් දියේ ගිලී සිටිනවිට දැනෙන සිසිලස කියා නිමකල නොහැක. ඇගේ තෙහෙට්ටුවත් මනසේ විඩාවත් කොහෙන් ගියාදැයි  නැත. ලබනසතියේ පෝලන්තයට ගියාම සීතලෙන් ගුලිවී රෑපුරා සුවසේ නිදන අයුරු රැළිති නගමින් සීරුවට ගලන දියපහරට දැහැන්ගතව සිහින මැව්වෙමි.
ෆ්‍රැන්ක්ෆර්ට් ඉදල පෝලන්තයේ පොස්නාන් Poznan වලට යන බස්එක තියෙන්නෙ රෑ අටයිකාලට. හවස හතරත් පහුවෙලා දවල්ට කාපු ලොකු පීට්සා එක නිසා කුස ‍හොදටම පිරිල. රෑට කන්නෙ කොහොමද කියල මගෙ මිතුරා ඇහුවම මගදි මොනවහරි කනව කියල මම කිව්ව. “ඔයාට එහෙනම් මගදි මේක ප්‍රයෝජනවත්වෙයි “මම ලංකාවෙන් අරන්ගිය හැලප මල්ලෙන් හැලප කීපයක් පාර්සල්කරල දෙනගමන් මගෙ මිතුර කිව්ව. මගදි බස්එක තේ බොන්න රෑ කඩේක නැවැත්තුවම හොදට මොනවහරි කනව කියල හිතන ගමන් ඒකත් මගේ ගමන්මල්ලට දාගත්තෙ කොහොමටත් මම හැලප වලට ආසනිසා. මිතුරයි ඔහුගේ ජර්මන් ජාතික බිරිදයි ඔවුන්ගේ නිවසෙ ඉදල මාව බස්රථයට ඇරළුව. රෑ අටට කිට්ටුවුනත් තවමත් හිරු අස්තංගගතවෙලා නෑ. මේ දිනවල යුරෝපයට අදුර වැටෙන්නෙ රෑ නමයත් පහුවෙලා.
දුරගමන්සේවා බස්රථගාල තියෙන්නෙ ෆ්‍රැරැනක්ෆර්ට් මධ්‍යම දුම්රියපොළට යාබදවයි. තෝකියෝ ඉන් හොටලයත් ඒ අසලම තියෙනව. කොළපාට ෆිල්ක්ස් බස් flixbus  සමාගමේ බස්රථ තමයි වැඩිපුර තියෙන්නෙ. මම ආසන වෙන්කරගත්තෙ සින්බෑඩ් බස් සමාගම මෙහෙයුම් කටයුතු කරන බස් රථයක්. රියදුරැ මහතා මැදිවිය ඉක්මවූ සෞම්‍ය ප්‍රියමනාප පුද්ගලයෙක්. සුදු හිසකේ සහ උඩු රැවුලත් සුදු කමිසය ඇදල කළු කබාය පැළද ඉන්නකොට මනා පෞර්ෂයක් තියෙනව. සහයිකාව කළුපැහැ දිගු කලිසමකින් හා කබායකින් සැරසිලා හිටියෙ.


හරියටම රාත්‍රී අටයි පහලොවට ගමන් අරඹපු බස්රථය මොන්හෛයිමර් ස්ට්‍රාසේ එකට අවතීරනයවී ෆ්‍රරැනක්ෆර්ට් නගරය අතරින් ගමන්කර අධිවේගී මාර්ගයට පිවිසුනා . බසය වේගයෙන් ඉදිරියට ඇදෙනව. ඔය අතරෙ මගෙ අසුනට පිටිපස අසුනෙ ඉන්න සීක් ජාතිකය මහ හයියෙන් හින්දි බසින් සිය ජංගම දුරකථනයෙන් කා ඔක්කදෝ සංවාදයක. ඔහු සෑම දෙබසක් අවසානයේම ඇදුම රෝගියෙකු වගේ හුස්මක්ගෙන පිටකරනව. මට මේක මහ කරච්චලයක් වුනා. දැන් හිරුත් අස්ථංගගතවෙලා. වැස්සකුත් කඩාහැලෙනව. පෙරදින රාත්‍රිය පුරා කල ගුවන් ගමනේ වෙහෙසත් සමග මට නොදැනිම මා නින්දකටවැටුනෙ සීක් ජාතිකයගෙ කරච්චලේනුත් මා මුදවමින්.
මා  නිදිදැහැන බිදුනෙ හීනෙන්වගේ සහයිකාවගේ නිවේදනයක් ඇහිල. ඇය ජර්මන් හා පෝලන්ත භාෂාවෙන් යම් පණිවිඩයක් දුන්න. මගියොත් හිරි කඩමින් හරිබරි ගැහෙන්න පටන්ගත්ත. බසය කුඩා නගරයක් අතරින් ගමන් කරනව. මේ සූදානම තේ එකක්බොන්න රෑ කඩයක නතර කරන්න විය යුතුයි.  මගෙත් කුසගිනි හොදගානට මෝරල. වෙලාව රාත්‍රී දොළහ හමාරයි.තවත් බස්රථ දෙකක් නතරකරල තිබුන තැනකින් අපේ බසයත් නතරකලා. මගියොත් කබා පැළද බසයෙන් පිටතට බැස්ස. මාත් හොදට මොනවහරි කන්නහිතාගෙන එළියට බැස්ස. රියදුරුයි , සහයිකාවයි, ගැහැණු පිරිමි මගියොයි  බස්එක අයිනට වෙලා දුම්වැටි දල්වන්න පටන්ගත්ත. සියල්ලොම සීතල පලවාහරිමින් දුම් උරනව. මම අහල පහල කැරකිල බැලුවට මොනම කඩයක්වත් දකින්න නෑ. අපහු බසයට ගොඩවුන මම මිතුරා දුන්න හැලප පාර්සලය දිගහැර ගත්ත. යුරෝපයේ බස්රථ තේ කඩවල නතර කරන්නෙ නෑ. රාත්‍රී එකොලහට පස්සෙ කිසිම භොජුන්හලක්  විවෘත්තව ඇත්තෙත් නෑ. මෙයින් පස්සෙ රියදුරුයි සහයිකාවයි අනෙක් මගියොයි පැය දෙකෙන්දෙකට දුම්වැටි විවේකය නම් භුක්තිවින්ද. අවශ්‍යනම් බසයේ ඇති කොපි යන්ත්‍රයෙන් සහයිකාවගෙන් කෝපි එකක් මිලදී ගතහැකියි. මට තේරුන විදිහට කෝපි එකක් යූරෝ පහක් වෙනව. රුපියල්නම් අටසීයනට වැඩියි. මගේ ගමන් මල්ලෙ වතුර බෝතලය පිහිටට තියෙන නිසා මම කෝපි බොන අදහසත් අත්හැරිය.


යුරෝපයට අරුණාලෝකය පතිතවෙනවිට බසය පොලන්තයේ සුන්දර ගම්මාන වගාබිම් වනබිම් හා තණබිම්  අතරින් ගමන් කරමින් සිටියෙ.  දැන් උදේ හයයි විස්සයි. හොදින් එළිය වැටිල. වසන්තයේ මැද වනවිට යුරෝපයට දිනකර කලින්ම උදාවී  දීර්ඝ දහවලකුයි කෙටි රාත්‍රියකුයි  ගෙනවන සමයයි.
මේ ප්‍රදේශය සැලකෙන්නෙ මහා පොලන්තය ලෙසයි. පෝලන්ත බසින් කියන්නෙ වෙයිල්කොපොල්ස්කා යනුවෙනුයි. පෝලන්ත රජධානිය බිහිවෙන්නෙ මහා පොලන්තය කේන්ද්‍ර කරගෙනයි. එහි අගනුවර වුනේ මගේ ගමනානතය වන පොස්නාන් නුවරයි. වොර්ටා Warta නදියෙන් පොෂණය ලබන මහා පෝලන්තය වර්තමාන පෝලන්තයේ සුන්දරම හා සශ්‍රීකම පදෙසක්. බසය දැන් විශාල කේතුධර වනානතරයක් පසුකරමිනුයි සිටින්නෙ. වනස්පතීන්ට ඉහළින්  නැගෙනහිර අහස්කුසේ කළු වළාවන් අතරින් රිදී රෙඛාවක් දිස්වෙනව. වනබිම් වගාබිම් පසුවෙන සෑමවිටම මගේ දෑස් නොයිවසිල්ලෙන් සොයන්නෙ මීට ටික දොහකට කලින් ලංකාවෙන් සමුගෙන ආ මගේ විහග මිතුරන් හමුවේදැයි කියාය. 




Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association for Ladakh Studies

2 comments:

  1. සමහරවිට ඒ කුරුල්ලෝ එළියට පහලියට වැඩියක්ම එන්නෙ නැතුව ඇති. ලෝකයෙ විවිධ රටවල්වල ජන ජීවිතයට එබිලා බලන්න පුළුවන් වෙනඑක වාසනාවක්. ඒ වාසනාවෙන් කොටසක් අපිටත් බෙදලා දෙන එක ඔබ කරන සමාජ මෙහෙවරක්.

    ReplyDelete