Friday, September 1, 2017

යස ඉසුරින් පිරි හෙමිස් ගොම්පාව

ලෙහ් මනාලී මාර්ගයේ කාරු ආසන්නයේ දී ඉන්දු නදිය හරහා සංස්කාර් කඳු පංතිය වෙත දිවෙන මාර්ගයකි. මඟ දෙපස නිම්නයේ පොප්ලර් ගස් සෙවනේ සරුවට වැඩෙන බාර්ලී වගා බිම්ය. කඳු වැටියේ දඟර ගැසී ඉහළ නැගෙන මඟ ක්‍රමයෙන් හුදකලා පරිසරයකට පැමිණේ. දෙපස මුඩු භූමියේ ක්‍රෝටන් ලෙස හඳුන්වන ස්ථූපය. ඒවා ලුංග්තා කොඩිවැලින් සරසා ඇත.
            තැංග්තොංග් රශ්චන් Stangstong Raschen ලාමාතුමන් විසින් හෙම්ස් ආරාමය ඉදිකිරීම ඇරඹුවේ වර්ෂ 1630 දී ය. සෙන්ජි නැම්ගියාල් රාජානුග්‍රහය ඊට ලැබුණි.
            රථගාල පිහිටා ඇත්තේ ගොම්පාවේ පාමුලම බැවින් දෙපයට සැනසීමකි. රථයට ඉසිසඝුලන්නට ඉඩහල අප ඒ අසලම ඇති ගොම්පාවට අයත් භෝජනාගාරයට ගොඩවැදුනේ කුසට ඉස්පාසුවක් දෙන්නය. සියයට සියයක්ම නිර්මාංශ ආහාර පමණක්ම සපයන මෙම භෝජනාගාරය එතරම්ම හොඳ තත්ත්වයේ නොපැවතුන ද සාධාරණ මිලකට ආහාර වේලක් සපයා ගැනීමට නරකම නැත.
            අහරකිස නිමවා ප්‍රවේශ කවුළුවෙන් විදේශිකයන් සඳහා ඉන්දීය රුපියල් පනහක ප්‍රවේශ පත්‍රය බැගින් මිලයට ගෙන අත ඉක්මන් කළේ නරඹන්නට බොහෝ දෑ අති බැවිනි.
            ආරාමයේ පහළ සිට ඉහළට රතු සහ සුදු වර්ණාලේපිත සිව්මහල් , දෙමහල්, තෙමහල් ගොඩනැගිලි පෙළ වම්පසින් පිහිටි පියගැට පෙළින් සම්භන්ධ වී ඇත. ආරාමය පුරාම දක්නට ඇත්තේ ටිබෙට් ගෘහ නිර්මාණ ශෛලයයි.
            ප්‍රධාන විහාර ගොඩනැගිලි දෙක මධ්‍යයේ ඔපදැමූ කළුගල් ඇතිරූ මැද මිදුලයි. එය විවිධ උත්සව සහ පූජා අවස්ථාවන් හි දී ලාමාවරුන් රැස්වීම සඳහා භාවිතා වේ. මධ්‍යයේ ඇති කොඩිගස ලුංග්තා කොඩිවැලින් සැරසී ඇත.




            මැද මිදුලේ සිට අප මුලින්ම ගොඩ වැදුනේ චතුරස්‍රාකාර සිව්මහල් ඩුකෑංග් මන්දිරයටයි. එහි එක්පසක මහල් වෙන් නොකල කුටියකි. එම ගෘහයේ මීටර දොළහක් උසැති ගුරු පද්මසම්භාවාගේ පිළිරුවකි. හිමාල දේශයට බුදු දහම හඳුන්වා දුන් ගුරු පද්මසම්භාවා මෙහි ඉහළම පූජනීයත්වයට පාත්‍රවේ.




            පද්මසම්භාවා ටිබෙට් දේශයට පැමිණෙනුයේ ධර්මය හදාරන්නට ය. නමුත් එවකට ටිබෙටයේ මුල් බැසගෙන තිබුණ බොන් දර්ශනය පිළිබඳ එතුමාගේ පැහැදීමක් නොවිණි. සිය අධිෂ්ඨාන ශක්තියෙන් බුදු දහමේ ආරක්ෂකයකු බවට ගුරු පද්මසම්භාවා පත්වේ. එතුමන්ට ටිබෙටයේ ප්‍රථම බෞද්ධ ආරාමය සැම්යි හී ආරම්භ කළ හැකිවිණි.
            ටිබෙට් බුදු දහමේ ප්‍රධාන සම්ප්‍රදායන් සතරකි. එයින් පැරණිතම සම්ප්‍රදාය නිංග්මාපාය. එම නිංග්මාපා බෞද්ධ සම්ප්‍රදාය ගුරු පද්මසම්භාවා ඉන්දියාවේ සිට ටිබෙටයට හඳුන්වා දෙනු ලැබූයේ අටවන සියවසේ දීය. සෑම වසරකම ටිබෙට් දින දර්ශණයට අනුව පස්වන මාසයේ ද සම්මත දින දර්ශණයේ ජුලි 7 සහ 8 වන දෙදින හෙම්ස් ආරාමයේ සිචු Tse-chu උත්සවය පැවැත්වෙනුයේ ගුරු පද්මසම්භාවාගේ ජන්ම දිනය නිමිති කරගෙනය.
            සිචූ උත්සවය වසර දෙසීයක් පුරා පැවත එන චාරිත්‍රයකි. එය ලඩාක් හී ආගමික උත්සවයක් ලෙස පමණක්ම නොව සංස්කෘතික උරුමයක් ලෙස ද සැලකේ. උත්සවයේ ප්‍රධානතම අංගය ලාමාවරුන්ගේ වෙස් නැටුම්ය. ටිබෙට් බුදු දහමේ ඩෘග්පා Drugpa නොහොත් රතු තොප්පි පාර්ශවයේ විවිධ ආරක්ෂකයින් මෙලෙස වෙස්මුහුණු සහ ඇඳුම් ආයිත්තමයන්ගෙන් සැරසුන ලාමාවරුන් නිරූපණය කෙරෙති. සංදර්ශනය පැවැත්වෙනුයේ මැද මිදුලේය. ගුරු පද්මසම්භාවා අධර්ම බලවේග පරාජය කර ධාර්මික බලවේග ජය ගැනීම මෙම සංදර්ශණයෙන් විදහා දැක්වේ. සිව්මහල් ඩුකෑංග් මන්දිරයේ ඉහළ සිට පහළට උසැති, ලොව විශාලතම තැංග්කා සිතුවම දොළොස් වසරකට වරක් සිචු උත්සවයේ දී මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ.
            තැංග්කා සිතුවම ආධ්‍යාත්මික සහ කලාත්මක සුසංයෝගයකි. හුදෙක් සිතුවමක් ඇඳීමෙන් ඔබ්බට ගිය දීර්ඝ ක්‍රියාවලියකි. ටිබෙට් හිමාලයානු කලාපීය චිත්‍ර කලාවක් වන තැංග්කා සිතුවමක් නිර්මාණය කරගැනීමට අවශ්‍යවන බෞද්ධයකු පළමුව හොඳින් දැනුම් තේරුම් ඇති ලාමාවරයකු විමසිය යුතුය. ඔහුගේ අදහස් සමඟ දෙවනුව තැංග්කා ශිල්පියකු වෙත අදාළ කර්තව්‍ය භාර කළ යුතුය.
            චිත්‍රය ඇඳීමට භාවිතා කරන කැන්වසය ඒ සඳහා සුදුසු තත්ත්වයට පත්කර කැනීමට ශිල්පියාට දින ගණනක් ගතවේ. අවශ්‍ය වර්ණ සෑදීමේ ක්‍රියාවලිය ද එලෙසමය. සියළුම වර්ණ ස්වාභාවිකව නිපදවනු ලබන කාබනික දේය. ඉන්පසු චිත්‍රය ඇඳීමට අවශ්‍ය තෙළිතුඩවල් නිපදවා ගැනීම සිදු කෙරේ. කෙටි පින්සල සඳහා අශ්ව නකුටේ කෙඳිය. බැටළු කෙඳි මෘදු පින්සල් සඳහාය. හරකුන්ගේ කන්පෙති ඇතුලත වැඩෙන කෙස්, කළු දුඹුරු පූසන්ගේ ලොම් සහ කඳුකර ගායක විහඟුන්ගේ පියාපත් ආදියද පින්සල් සෑදීමට භාවිතා වේ.
            දැන් සිතුවම ඇඳීමට සියල්ල සූදානම් ය. සිතුවම අඳිනුයේ ඉහළ සිට පහළට ය. රත්තරන් වලින් මෝස්තර දැමීම අවසන සිදුවේ. සිතුවම් රුවට නේත්‍රා තැබීම විශේෂ චාරිත්‍රයකි. සියල්ල අවසන නිමවන තැංග්කා චිත්‍රය නිරාවරණය කිරීම ලාමාවරයකු අතින් සිදුකෙරේ. මෙවැනි තැංග්කා සිතුවම් විවිධ ප්‍රමාණයෙන් නිර්මාණය කෙරේ.
            අප මීළඟට ඇතුළුවූයේ ඩුකෑංග් මන්දිරයේ මන්ත්‍ර මණ්ඩපයටයි. අඳුරු ශාලාවට බටර් පහන් වලින් ආලෝකය ලැබේ. ඕම් පණිපද්ම හූම්...... ලාමාවරුන්ගේ මන්ත්‍ර සජ්ජායනයේ  සුමධුර හඬ ඇසේ. ශාක්‍යමුණි බුදුන්, මෛත්‍රීය බෝසතුන්, අවලෝකේතීශ්වර බුදුන් ආදීන් විෂයේ පුද පූජාවන් දිනපතා මෙහිදී සිදු කෙරේ. තරුණ මහළු ලාමාවරුන් විසි දෙනෙකු පමණ මන්ත්‍ර සජ්ජායනයට එක්ව සිටිති.
            ආරාම සංකීර්ණයේ  ඉහළ ගොඩනැගිල්ලක ඇති හෙම්ස් කෞතුකාගාරය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයකි. ලඩාකයේ බෞද්ධ ආගමික, කලා, දේශපාලනික හා සංස්කෘතික ඉතිහාසයේ කැඩපතක් ලෙස මෙම කෞතුකාගාරය හැඳින්විය හැක.
            කෞතුකාගරයේ ඇති පැරණි අත්පිටපත් සහ පුස්තක රැසකි. මේවා හා බැඳුනු ඓතිහාසික පුරාවෘත්ත රැසකි.
            වර් 1887 දී නොටොවිච් නැමති රුසියානු වංශවතකු ලඩාකයේ සංචාරය  කර ඇත. ඔහු හෙම්ස් ආරාමය අසල ප්‍රදේශයේ සැරිසරද්දී අසුපිටින් වැටී අනතුරට පත්විණි. ආරාමයේ ලාමාවරුන් ඔහු රැගෙනවිත් ප්‍රතිකාර කර රැකබලාගන්නට විය. මෙසේ ප්‍රතිකාර ලබන නොටෝවිච් ට ආරාමයේ ලාමාවරයකු පැරණි අත්පිටපත් රැසක් පෙන්නා ඇත. මෙහි එක් අත්පිටපතක ජේසුස් ක්‍රිස්තුස් නැමති අයගේ අවුරුදු දොළහේ සිට තිහ දක්වා ජීවන තොරතුරු සටහන්ව තිබෙණු නොටෝවිච් දැක ඇත. ඉන්දියාවට පැමිණි ඔහු එහි විශ්ව විද්‍යාලයක බුද්ධ දර්ශනය හැදෑරූ බවට ඉන් කියැවී ඇත. නොටෝවිච් පසු ක‍ලෙක සිය කෘතියක මේ පුවත හෙළිදරව් කළේය. නමුත් ඔහු වංචාකාරයකු සහ කතෝලික දර්ශනය හැරගිය අයකු ලෙස පල්ලියෙන් හන්වඩු ගැසිනි.
            පසුව 1922 දි කල්කටාවේ රාධක්‍රිෂ්ණ පූජකයෙකු වූ ස්වාමී අඹේදානන්ද Abhedananda හෙම්ස් වෙත කල සංචාරයෙන් පසු ලියූ කාශ්මීරය සහ ලඩාකයයන කෘතියේ ද මෙම අත්පිටපත දුටු බවට පවසා ඇත. ඊට වසර තුනකට පසු නිකොලොස් රොයිරීච් නැමැති සංචාරකයා ද එම පුවත සනාථ කර ඇත.
            මෙලෙස ආන්දෝලනයට තුඩුදුන් අත්පිටපත පසුව ලාමාවරුන් විසින් සඟවන්නට ඇති බවට විශ්වාස කෙරේ. ඒ ඒවායේ ආරක්ෂාව උදෙසා හෝ පල්ලියෙන් ඇතිවූ තර්ජන නිසා විය හැක.  එවැනි අත්පිටපතක් තමන් සතුව නොමැති බව වර්ථමානයේ විහාරයේ ලාමාවරු පවසති.
            පොතපත පිපාසය ඇත්තවුනට හෙම්ස් ගොම්පාව විසින් පවත්වාගෙන යනු ලබන අගනා පොත් අලෙවිසලක් ඇත. සමරුවක් උදෙසා යමක් මිලදී ගැනීමට කැමති නම් බොහෝ ප්‍රයෝජනවත් මෙන්ම වටිනා දේ අලෙවි කරන සල්පිලකි. නවාතැන් සොයන්නෙකුට නම් ආරාමය විසින් පාලනය වන ලැඟුම් හලින් කාමර වෙන්කරවාගත හැක.

            හෙම්ස් උස්බිම් ජාතික උද්‍යානය නැරඹීමට යන බොහෝ සංචාරකයින් රාත්‍රිය ගොම්පාවේ ලැඟුම්හලේ ගත කරති. හෙම්ස් උස්බිම් වනෝද්‍යානය ලොව උසම වනොද්‍යානයයි. හිම දිවියා, නිල් බැටළුවා, යූරියෙල්, ආසියාතික ඉබෙක්ස්, අස්හෙකිස් ආදී බොහෝ දුර්ලභ වන සතුන් රැසක් මෙම උද්‍යානයේ දී පින් ඇති දෑසට උගහට නොවේ.

Dr Asela Perera
MBBS, MSc (Medical Admin)
Member of International Association for Ladakh Studies

3 comments:

  1. අගනා විස්තරයක්. ටිබෙට් රටේ සැඟවුනු වටිනා දේ මේ විදිහට දෑසින් දකින්න ලැබෙන එකත් වාසනාවක්.

    ReplyDelete
  2. අපූරුයි ඔබට බොහොම ස්තූතියි

    ReplyDelete
  3. ඔබේ විස්තර කිරීම් අනර්ඝයි .

    ReplyDelete