Saturday, December 16, 2017

ස්තොක් මාළිඟයේ දි රජ පවුල හමුවෙමු.

නැම්ගියාල් රාජාවලියේ මුලාරම්භය වසර දහසකටත් වඩා අතීතයට දිවේ. ලඩාකයේ ශ්‍රේෂ්ඨතම රජු ලෙස සැලකෙන සිංහ නැම්ගියාල්විරුදාවලිය ලත් සෙන්ගී නැම්ගියාල් නව මහල් ලෙහ් මාළිගය ඉදි කළේය. පසුව යෙෆල් නැම්ගියාල් ස්තොක් හී දැකුම්කළු මාළිගයක් ඉදි කළේය. ෂරවන් සිංග් ගේ නායකත්වයෙන් යුත් ඩොග්රා හමුදාව ලඩාකය ආක්‍රමණය කරනුයේ 1841 දීය. යෙෆල් නැම්ගියාල් රජුට ඩොග්රා ආක්‍රමණයට මුහුණ දීමට තරම් ශක්තියක් නොවුයෙන් ලඩාකය ජම්මු හා කාශ්මීර රාජ්‍යට ඈදා ගනු ලැබිණි.
            ලෙහ් මනාලී මාර්‍ගයේ ලෙහ් සිට දකුණු දෙසට කිලෝ මීටර 15ක් පමණ පැමිණ ඉන්දු නදිය තරණය කර සංස්කාර් කඳු පංතිය දෙසට ගමන් ගන්නා විට ස්තොක් ගම්මානය හමුවේ. කෙත්බිම් පිස හමන මද පවන සුවදායී පරිසරයක පෙර මග පවසන්නාසේය. නිරන්තර සුදෝසුදු හිමෙන් වැසුණ ස්තොක්තැංග්රී කඳුවැටිය ඉදිරිපසින් දිසේ. නැම්ගියාල් රාජාවලිය මෙවන් පරිසරයක සිය මාළිගය ඉදිකරගැනීමේ අරුමය කිම.
මාළිගයේ ප්‍රධාන ප්‍රවේශය අසල රථය ගාල් කෙරෙනවිට හිරුරැසින් නැහැවෙන මාළිගය ප්‍රෟඩව කදුමුදුනේ සිට අහස්කුස සිපගනිමින් සිටියේය. අසල කුඩා තුරුගොමුවක ලැගසිටි බිගු කැලක් වේගයෙන් මාළිගය දෙසට පියඹාගියේ අපගේ පැමිණීම වගකිවයුත්තනට දැනුම් දීමට සේය.
 ප්‍රාකාරයේ මිටි ප්‍රවේශ දොරටුවේ වාහල්කඩ ඉස්මත්තේ ස්ථූපයකි. එහි සිට පරිවාර ගොඩනැගිලි අතරින් ගල් පියගැට පෙළ පාර කියනුයේ මාළිගාවේ පිටත ප්‍රවේශ දොරටුව වෙතය. එහි ඇති කාර්යාලයෙන් රුපියල් පනහක ප්‍රවේශ පත ලබාගෙන පියගැටපෙළ නැඟි විට මාළිගා මිදුලට පිවිසේ. මිදුලේ ඉදිරිපස සහ දෙපස ආවරණය වන ලෙස ඇති පිය මඟකි. විලෝ ලීයෙන් කළ එහි පියස්සට ගොඩවීමට කුඩා පියගැට පෙළකි. දැන් එය පටු බැල්කනියකි. නිල්ල පිරුණු ස්තොත් ග්‍රාමයත් ඈත නිම්නයේ ගලා බසින ඉන්දු ගංඟාවත් පසුබිමේ ඇති ලඩාක් කඳු පන්තියත් මවන දසුන විස්තර කිරීමට වදන් පෙළගැස්වීම දුෂ්කරය.