Thursday, June 15, 2017

සුන්දර බෙඩ්ලිවෝ

ලඩාක්අධ්‍යනය සදහා වන ජාත්‍යන්තර සංගමයේ මහ සමුළුව මෙවර පැවැත් වීමට කටයුතු යොදා තිබුනේ පෝලන්තයේ බෙඩ්ලිවෝ ග්‍රාමයේය. සමුළුවට සහභාගිවීමට විවිධ රටවලින් පැමිණෙන අය එකතුපහදු වීමට නියමිතවූයේ පොස්නාන් නුවර ග්ලෙනෙරියෝ මධ්‍යම දුම්රියපොළ පරිශ්‍රයයි. පිරිස රැගත් විශේෂ බස්රථය සවස දෙකයි තිහට පොස්නාන් වලින් පිටත් වුණි. අඩහෝරාවකින් පමණ කිලෝ මීටර 22ක දුරගෙවා බසය බෙඩ්ලිවෝ ගම්මානයට ලගාවනවිට මද වැස්සක් වැටෙමින් තිබුණි.

සමුළුව පැවැත්වෙනුයේ ගණිතය සදහා වන පර්යේෂන සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේය. තමතමන්ට හිමි කාමර පිළිගැනීමේ නිලධාරිනිය විසින් කඩිනමින් බෙදා දුන්නාය. වඩා උස්නොවූ ඇගේ පෝලන්ත ජාතිකයිනට උරුම සුදෝ සුදු සමත් කළු හිසකේ හා නාදළු වැනි රත්පැහැ දෙතොල් රූපසෝභාවට ආභරණ විය. ඇය පැළද සිටි ලොකු රාමුව සහිත උපැස් යුවල ඇගේ වතට කදිමට ගැළපුනි.
හවස සමුළු‍වෙ වැවැඩකටයුතු අවසන පාරට බැස්සෙ පුරුද්දට වගේ. ප්‍රධාන මාර්‍ගය දෙපස කිලෝ මීටරයක් දිගට බෙඩ්ලිවෝ ගම්මානය. ප්‍රධාන මර්‍ගයට සමාන්තරව පාපැදි සහ පදිකයින්ගෙ මග තියෙනව. පාරෙ වාහන යනව නෙමෙයි ඉගිල්ලෙනව. ග්‍රාමීය ප්‍රදේශයක් නිසා නිතරම වාහන යන්නෙනෑ.මම දකුණු පසට වුන අතුරු පාරෙකින් හැරුන. අතුරු පාරෙත් ගෙවල් පහ හයකට වඩා නෑ. ඉමක් කොනක් නොපෙනෙන නිල්ලගැසුණු වගා බිමකින් පාර අවසන් වෙනව. ඈත වන රේඛාවකින් වගා බිම අවසන් වෙනව. මේ ප්‍රදේශයේ වනන්තර නොඅඩුව තියෙනව.



උදේ කුරුල්ලන්ගෙ කිචිබිචියට ඇහැරුණා. හොදට ඉර එළිය වැටිල තිබුණට වෙලාව පාන්දර පහයි. යුරෝපයේ විහගුන්ටත් මේකාලෙ වෙලාව පැටලෙනව ඇති. අහස වලාකුළින් බරවෙලා.අදුරුයි සීතලයි. ආපහු කම්බිලිය අස්සට රිංගල නිදාගත්ත.  හතට විතර නැගිටල උණුවතුර නාගත්ත. උදේම උණුවතුර නාගත්තම ඇගට සනීපයි.  කෑම ශාලාව දෙසට යන විට මුලින්ම මුණගැහුනෙ රෆාල්. ඔහු අඩි හයකට වැඩිය උස හීන්දෑරි කඩවසම් පුද්ගලයෙක්. සුදු පළුන්රොදක් වන් හිසකේ පැත්තට පීරල.උඩුකබාය බොත්තම් නොදා ඇදල දුම්වැටියත් අතැගිලි අතර දරාගෙන සෘජුකායෙන් කඩිසර ගමනින් යනවිට මට කවුදෝ හොලිවුඩ් නළුවෙක් සිහිවෙනව. රෆාල්ගෙ කහපැහැ, දෙකොන රැළි වැටුන තියුණු ඇස් විචක්ෂණ භාවය කියාපානව. ඔහු පෝලන්තයේ ටොරුන් හී නිකොලස් කොපර්නිකස් සරසවියේ ඇදුරෙක්. මෙවර ලඩාක් අධ්‍යන සමුළුවෙ සංවිධාන කටයුතු බොහෝමයක් සිදුවුනේ ඔහු අතින්.
අදත් සැදෑවෙ සුපුරුදු හුදකලා සංචාරයේ යෙදුන. අද බෙඩ්ලිවෝ  ඉදල වෙයිජ්ස්කා තෙක් කිලෝමීටර දෙකක් ඇවිද්ද. ගමේ සියල්ලොම පාහෙ ගොවියන්.  ගමේම නිවෙස් සීයකට වැඩියනෑ. ලොකු කුඩා ගෙවල් රතු රෝස කහ අළු ආදී නොයෙක් පැහැයෙන් පින්තාරු කරල. සෑම ගෙවත්තකම ලස්සනට මල් වවල. කුඩාම නිවසක වුනත් වොක්ස්වැගන්, වොල්වො, බීඑම්ඩබ්ලිව් මෝටර් රථ දෙකතුනක් තියෙනව. ජර්මන්ෂෙපර්ඩ්, ලැබ්රඩෝ හරි රොට්වලර් බල්ලො දෙතුන්දෙනකුත් වරදින්නෙනෑ.ඇතැම් නිවාස වලට යාබදව අශ්වගාලක් තියෙකව. වගා කටයුතු වලට ඇතැම් විට තවමත් අශ්වයින් ප්‍රයෝජනයට ගන්නව.  ග්‍රාමීය පදේශවල ඉන්න යුරෝපීයන් කළු, දුඹුරු හමට වැඩිමනාපයක් නෑ. ඇතැම්විට හිනාවුනත් අහක බලාගෙන යනවිට හිතට පුංචි වේදනාවකුත් දැනෙනව.  පාරක් මගතෙතාටක්නම් බැරිවෙලාවත් අහගන්නබෑ. ඉංග්‍රීසි මෙලෝහසරක් දන්නෙ නැතිකමත් ඒකට එක හේතුවක්. බටහිර පෝලන්තයට අයත් මෙම ප්‍රදේශයේ කුඩා විල් බහුලව තියෙනව.
ගමේ කෙලවරේ පිහිටි ඵෛතිහාසික කුඩා පල්ලියට කියන්නෙ කුරුළු කැදැල්ල කියල. එහි ඝණ්ඨාර කුළුණ මුදුනෙ දර ඉපල්වලින් චට්ටියක්සේ වටකුරුවට හදපු කැදැල්ලෙ මගේ විහග මිතුරෙක් ලැගල ඉන්නව. අපේ ඔය අද්දර පුළුන් ගහේ ලැගපු විවරතුඩුවෙක්? ඌ බිජුලන්න කැදැල්ල සකසනව. ලබන ශීත සෘතුවෙ අළුත් සාමාජිකයොත් එක්කම ඔය අද්දර පුළුන්ගහේ ලගින්න එන්නකියල දෑසින් කල ආරාධනාව දැනිනලද කොහෙද ඌ උගේ දිගු ග්‍රීවය හරවල මාදෙස බලා උන්න.



ලෝකයේ විවිධ රටවල අය දැනහදුනගන්න ලැබෙනඑක අපූර්ව ප්‍රියජනක අත්දැකීමක්. රාත්‍රීභෝජනයට මදුසාදයකුත් එකතුවෙලා තිබුනෙ එම අත්දැකීම තවත් තීව්‍ර කරමින්. මුල්න්ම රෆාල් හැමෝටම වගේ වොඩ්කාවඩියක් පිරිනැමුවෙ සව්දිය පුරන්න. මධුවිතට තිත තබාඇතිඅයට ඇති පමණ පලතුරුයුෂ ගිබුණ. එතැන්පටන් සාදය ඇරඹුනා. පලහන ලද මස්පෙති, බැදපු අලපෙතිවල ඉදල සෂිමි ෂුෂී දක්වා ලෝකේ විවිධ රටවල රසමසවුළු මේසට එවනඑක මුළුතැන්ගෙයි ප්‍රධාන අරක්කැමිය ඇතුළු කන්ඩායම අපූරුවට සිදුකලා. සාකච්ජා, තර්ක විතර්ක මෙන්ම මහා කොක්හඩලෑම් මධ්‍යයේ සාදය ඉදිරියට ඇදෙන්න වුනා. මගේ ටිබෙට් මිතුරා ලොබ්සාංග් තප්කා සමග මධුවිත තොලගාන අතරේ අපි ටිබෙටයෙ දේශපාලනය සහ අනාගතය ගැන බොහෝ දේ කථාකලා. ඔහුගෙ ගම්පලාත ලාහ්සාවලට කිලෝ මීටර දාහක් පමන වපිටින් ඇති හංග්දොංග් පලාතයි. ඔහු කුඩාකාලයේ හංග්දොංග්වල ඉදල ලාහ්සා වලට යන්න දින හතරක් ගතවෙලා තියෙනව. නමුත් ෂැංහයි ලාහ්සා දුම්රිය මග තැනුවට පස්සෙ ගතවෙන්නෙ එක් දිනයයි.
අපත් සමග ඇන්ඩ්‍රියත් විටින්විට එකතුවුනා. ඇය  අපේ ලඩාක් අධ්‍යන සංවිධානයේ ගරු ලේකම්තුමිය. අපගේ හිස්වන මධුකුසලානය ඇගේ අතින් නැවත පිරවෙනව. මමත්ඇගේ වයින් බදුන හිස්නොවන්නට වගබලාගත්තෙ ලෙංගතුකමේ භාවාත්මක ප්‍රකාශණයක් ලෙසට වෙන්න ඇති. හිස්වන සෑම වයින් බදුනනක් සමගම ඇගේ සුන්දර කොක්හඩලෑමේ තීව්‍රතාවය වැඩිවෙනව. කාන්තිමත් නෙතුසගල අඩවන් වෙනව. එවන් විටෙක ඇගෙ වත කියවාගත නොහැකිවුන කවියක්දෝ කියල මට හිතෙනව. කෙසේ නමුත් ක්‍රමයෙන් පිරිස විසිරිලා යද්දි ලොබ්සාංග්නුත් මමත් ප්‍රංශ මිතුරෙකුත් පමණයි ඉතුරුවුනේ. මැදියම් රෑ දොළහට මෙම ශාලාව වසා දැමෙනව. දැන් අළුයම එකටත් ලගයි. තවත් විවර නොකල වයින් ‍බෝතල දෙකක් අප අසල තියෙනව. භොජනාගාරයෙ සෙවිකාවක ඇවිත් අපේ කටකැස්ම පලගනා දෙක අරන්ගියා. ටිකකින් පැමිණ වයින් බෝතල දෙකත් අරගෙන ගියෙ අපිට යන්න කියන්න තිබුණ අපහසුතාව නිසා වෙන්න ඇති. මොහොතකින් පැමිණි අනෙක් සේවිකාව අපගේ පතුල නොබැලූ මධු බදුන් දෙකත් ක්ෂණයෙන් රැගෙන ගියා. තවත් හිද පලක් නැතිබැවින් අප ශාලාවෙන් පිටතට පැමිණි සැනින් එහි විශාල ඉපැරණි ලී දොර වේගයෙන් වැසෙන ශබ්දය ඇසුණි.  


පසුදින සන්ධ්‍යාව අශෝක මල් උයනක් සහ ප්‍රාසාධයක් නැරඹීමට යාමට නියමිතව තිබුනත් විටින් විට ඇදහැලෙන වර්ෂාව නිසා ගමන අතහැරල දාන්න තීන්දුවුනා. ඇවිදින්න යමුද කියල ලොබ්සාංග්ගෙන් ඇහුවම දෑස් ඇලෙනව කිව්ව. ලඩාකීය තරුණියො හතර දෙනෙක් කුලී රථයක් ගෙන්නගෙන මොසීන ගියා. මොසීන බෙඩ්ලිවො වලට ආසන්නයෙන්ම ඇති නගරයයි. කිලෝ මීටර එකොලහක දුර තියෙනව. 12150ක ජනගහනයක් වාසයකරනව. මෙහි සිට පොස්නාන් යනවන විට මොසීනා පසුකල යුතුයි.   මොසිනාවල ට්‍රෑම්, විදුලි බස් ආදිය නැතිවුනත් සාමකාමී නිස්කලංක කුඩා නගරයක්. බෙඩ්ලිවො වැසියන් තමතමන්ගෙ එදිනෙදා අවැසි අඩුම කුඩුම ගන්න යන්නෙත් මොසිනා වලට. බෙඩ්ලිවෝ ගමටම තියෙන එකමඑක පුංචි වෙලදසැලත් කොයිවෙලෙත් වහල.


අද සෙනසුරාද අපි බෙඩ්ලිවෝ ඉන්න අවසන් දවස. අදත් කාලගුණය එතරම් යහපත් නෑ.  උදේම කුටියෙ ලියන මේසයෙ වාඩිවුනේ මගේ සටහන් පොත යාවත්කාලීන කරන්න. මගේ ඉදිරිපසින් ඇති කවුළුවෙන් මට ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවත් වහි ප්‍රවේශ දොරටුවත් පේනව. ඒ දෙපස ඇති මල් බදුන්වල දම්පාට ඕර්කීඩ් මල් සැමදාම උදේට ලස්සන දසුනක් ගෙනඑනව. ඊට මදක් එපිටින් මිදුලේ වටරවුමේ කහපාට, රෝස පාට, රතුපාට ටියුලිප් මල් මා දෙස බලා ඉන්නව වගේ. කුටියේ අනෙක්පස කවුළුව මුහණලා තියෙන්නෙ ශ්වේත මන්දිරඑය නැතිනම් ප්‍රධාන මාළිගය දෙසට. ඒවෙත ඇති පියමග දෙපස ඇත් මල් පාත්තිවල ලිලීමල් පිපිල. ඉරඅව්ව වැටෙන දවස්වලට කහපැහැ පුංචි බාබන්ඩේසියා වැනි මල් වර්ගයක් තණබිස්ස පුරාම පිපෙනව. එතකොට මුළු වත්තම ලස්සනයි. ඉරඅව්ව නැතිදාට ඒ මල් සේරම පරවෙලා යන්නෙ අහසත් එක්ක තරහින් වගේ. 
ධවල මණ්දිරය බෙඩ්ලිවො මාළිගාවෙ ප්‍රධාන මන්දිරයයි.  නව ගොතික් ගෟහනිර්මාණ ශිල්පයට අනුව මෙය ඉදිකරඅත්තේ වර්ෂ 1866 දීය. හෙක්ටයාර නමයක් පුරා පැතිරුන උයනක් මධ්‍යයේ මාළීගය පිහිටා ඇත. මාළිගය පෝලන්ත හමුදාවෙ උසස් නිළධාරියෙකු ලෙස සේවයකල ප්‍රාදේශීය වංශවතකුගේ නිවහනයි.දහනමවන ශතවර්ෂයේ අග භාගයේ මාළිගාවට කනකොකා හැඩළුයේ අසම්මත පෙමක් නිසා. වංශවතාගේ බිරිදගේ අසාමාන්‍ය ලෙස රූමත් රූසපුව ගැන කා අතරත් කථාබහ වුන මාතෘකාවක්. මාළිගාවේම වාසයකල සිය ාති පුතණුවන් සමග ඇය අසම්මත පෙමකින් වෙලුනෙ ඔය අතරෙදියි. මොවුන්ගේ අඹුසැමි හැසිරීම ගැන වංශවතාගෙ කනට වැටෙන්න වැඩිකාලයක් ගතනොවුනි.  දිනෙක මාළිගයේ කැණිමඩල ගිනිගත්ත. වංශවතා සිය පණ මෙන් ආලය කල රූමත් බිරිදත් පුතණුවනුත් වෙඩිතබා ඝාතනය කලා. එතැන්පටන් මාළිගය අභාවයට ගියා.





දෙවන ලොක යුද්ධයෙන් පසු 1975 දක්වා මෙය කෘෂි විද්‍යාලයක් ලෙස භාවිතා වී ඇති අතර පසුව පොලන්ත විද්‍යා සංගමයට පවරාදෙනු ලැබීය. අදවනවිට නවීන පහසුකම් වලින් සමන්විත දේශණ ශාලා, ශ්‍රවණාගාර,  නවාතැන් පහසුකම් , භොජනාගාර සහ මධු ශාලා ආදියෙන් අනූන සමුළු මධ්‍යස්ථානයකි.
Dr Asela Perera
MBBS,MSc(Medical Admin)
Member of International Association for Ladakh Studies

4 comments:

  1. ලෝකෙ රටින් රටට මිනිස්සු වෙනස් වුනාට ජාත්‍යන්තරයට මුහු වෙලා නැති මිනිස්සුන්ගෙ මනස තවමත් තියෙන්නෙ ශත වර්ෂ ගණනක් පරණ අතීතෙ. ඔවුන් තවමත් හමේ පාට බලලා මිනිස්සු මනින්නෙ ඒ හංදා වෙන්න ඕන.

    "ලඩාක් අධ්‍යයනය" ගැනත් විස්තරයක් කලානම් තවත් වටිනවා. බොහොම ස්තූතියි ලිපියට.

    ReplyDelete
  2. ලෝකෙ රටින් රටට මිනිස්සු වෙනස් වුනාට ජාත්‍යන්තරයට මුහු වෙලා නැති මිනිස්සුන්ගෙ මනස තවමත් තියෙන්නෙ ශත වර්ෂ ගණනක් පරණ අතීතෙ. ඔවුන් තවමත් හමේ පාට බලලා මිනිස්සු මනින්නෙ ඒ හංදා වෙන්න ඕන.

    "ලඩාක් අධ්‍යයනය" ගැනත් විස්තරයක් කලානම් තවත් වටිනවා. බොහොම ස්තූතියි ලිපියට.

    ReplyDelete
  3. ආසාවෙන් ලිපිය කියෙව්වා... ස්තූතියි ... ජයවේවා...

    ReplyDelete