Saturday, May 27, 2017

විහඟ ගීතය

ලඩාක් අධ්‍යනය සදහා වන ජාත්‍යන්තර සමුළුවේ වැඩසටහන පිළිබද ඊමේල් පණිවුඩයක් එවමින් රෆාල් පවසා ඇත්තේ මෙවර පොලන්තයට ශීත වසන්තයක් උදාවී ඇති බවය. රාත්‍රී උෂ්ණත්වය සෙලසියස් අංශක 2ත් 6ත් අතර වන බවත් දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් පමණ වන බව පවසා ඇත.
මගේ නිවහන පිහිටියේ අත්තනගලු ඔය අසබඩය. එගොඩ ඉවුරේ ඇති කොළ හැළුන රූස්ස පුළුන් ගස්දෙක වසන්ත සමය ඇරඹුමත් සමගම දකුණේ කුරුළු පාරාදීසවල සිට සිය මව්රටවල් බලායන විවරතුඩුවන්, කළු හිසැති කොකුන් ආදී පර්යටන පක්ෂීන්ගේ නවාතැන් පොළක් බවට පත්වේ. දවල් දවසපුරා අවට වගුරු සහ කුඹුරු බිම් වලින් සිය පාතරාසය සොයාගන්නා උන් ගොම්මන් අදුරත් සමග රංචු වශයෙන් සිය තිත්පොල වෙත ඇදී ඒ. එසේ පැමිනෙන උන් හොද අත්තක ඉත්තක් අල්ලගන්න ගහවටේ රවුම් දෙක තුනක් සර්පණය  කරනකොට මට සිහිවන්නේ බිම්ගතකරන්න කාලය පැමිනෙන තෙක් ගුවන්තොටුපළවටා කැරකෙන ගුවන් යානාවකි. රාත්‍රියට බඩගාගෙන එන විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීමට රූස්සගස්වල සිහින්ම අත්තක වැසීම උන්ගේ සිරිතකි. රංචුවක් පැමණ මෙසේ ගසේ වසන කල මුළු අත්තම තෙපුල්දේ. එවිට කලින්ම බඩකට පුරවාගෙන පැමිණ හොදතැන් අල්ලාගෙන සිටි උන් සට සට ගා තටු සලමින් දේහය තුලනය කරගෙන එතැනම ලගින්න වලිකති. නමුත් බොහෝ විට සිදුවනුයේ සමබරතාව බිදුණ බැවින් අත්තේ වසා සිටි සියළු දෙනාම නැවත ඉගිලගොස් රවුම් දෙක තුනක් ගසා එම ගසේම ලැගීමය. නැතිනම් අසල වෙනත් රූස්ස ගසක් සොයා යාමය.

Sunday, May 14, 2017

ශ්‍රී නගර් මෞගල් උයන්

ශ්‍රී නගර්, මෞගල් රාජ පරම්පරාවේ නිබඳ අවධානයට ලක්වු නගරයකි. සාහිත්‍යයට,සෞන්දර්යට හා ස්වභාව සුන්දරත්වයට තදින් ඇළුම් කල මෞගල්වරු කාශ්මීරයේ ස්වභාව සුන්දරත්වයෙන් වශීකෘත වීම අරුමයක් නොවේ. මේ නිසා මෞගල් රාජ වංශිකයන් ඉදිකල නිර්මාණ රාශියක් ශ්‍රි නගර් හා ඒ අවට පිහිටා ඇත. මේවා අතරින් ඩැල් විලේ දකුණ ඉවුර ඔස්සේ ඩැල් ද්වාරයේ සිට ෂන්කාරචායා කන්ද පසු කරමින් දිවෙන බුලෙවාර්ඩ් පාරේ පිහිටා ඇති මෞගල් උයන් අනිවාර්යෙන්ම නැරඹිය යුතු ස්ථානවේ.
                මේ සියළු උයන් ඉදිකර ඇත්තේ පර්සියානු නැතිනම් ඉස්ලාම් උද්‍යාන  කලාවට අනුවය. දියඇලි, ජල තටාක, දියමං මෞගල් උද්‍යානවල පොදු ලක්ෂණයකි. මෙවැනි උද්‍යාන ඉන්දියාවේ අග්‍රා, දිල්ලි, පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ දක්නට ඇත. ටජ් මහලද මෙවැනිම වූ සුන්දර මෞගල් උද්‍යනයකින් අලංකරනය වී ඇත.