Friday, September 29, 2017

මාතෝ ආරාමය

තික්සි ආරාමය නැරඹීමෙන් පසු අප නැවත ලෙහ් - මනාලි මාර්ගයට පිවිස ටිකදුරක් ඉදිරියට ගොස් දකුණු පසට ඇති පටු මාර්ග පිවිසුමේ නතරවුනෙමු. ස්ටක්නා හා මාතෝ ආරාමවලට මේ මග ඔස්සේ යාහැක. අද සීතල උදුවප් මහේ පැහැබර දිනයකි. අතදිගු මානයේ නිල් අහස්කුස පසුබිමේ කුඩා කදු ගැටයක් මුදුනේ විසල් ස්ටක්නා ආරාමය දිස්වේ. මාතෝආරාමයට මෙහිසිට කිලෝ මීටර ‍12ක පමණ දුරක් ඇත.
            පටු මග ඇරඹෙන තැන දෙපස කුඩා තේ කඩ දෙකකි. ලංකාවේදී ගිනි රස්නෙත් උදේ දහයට තේ ඵකක් බොන අපිට මෙවන් සීතලක උණු තේ ඵකක පහස නොලබා ඉදිරියට යන්න හිත නොදේ. පියා කඩයේ තේ සාදයි. වෙළදාම් කරයි. ඔහුගේ දාහතර වියැති පුතු කඩපලට වී ගණිත පාඩමේ යෙදේ. ලඩාකයේ කටුක දේශගුණය මධ්‍යයේද දරුවෝ සිය අධ්‍යාපන කටයුතු මැනවින් සිදු කරති. ඵ් අතර අපේ කට්ටිය පොඩි බඩගින්නට පියා සෑදූ උණු නූඩ්ල්ස් පිගන් දෙකක් හා අලපෙති පැකට් කීපයක්ම හිස්කලෝය.
            ස්ටක්නා යන්නේ තෙරුම කොටි නාසයයන්නය. ඵ් ආරාමය පිහිටි කුඩා කදු ගැටය කොටියකුගේ නාසය හැඩය ගන්නා නිසාය. දාසය වන ශතවර්ශයේදී භූතාන ජාතික බෞද්ධ ලාමාවරයෙකු වූ චොස්ඡි ජිමියැංග් පල්කාර් තුමන් විසින් මෙහි ආරාමයක් ඉදිකරන ලදී. පසුකලෙක ඵය කොටි නාසය යන අරැත ඇති ස්ටක්නා ආරාමය ලෙස ප්‍රචලිත වන්නට විය. ඩ්‍රග්පා පාර්ශවයට අයත් ස්ටක්නා ගොම්පාවේ ලාමා වරැන් තිස් දෙනකු පමණ වැඩ වාසය කරති. ආරාමයේ ඩුකෑංග් විහාර කීපයක්ම ඇත.





Friday, September 1, 2017

යස ඉසුරින් පිරි හෙමිස් ගොම්පාව

ලෙහ් මනාලී මාර්ගයේ කාරු ආසන්නයේ දී ඉන්දු නදිය හරහා සංස්කාර් කඳු පංතිය වෙත දිවෙන මාර්ගයකි. මඟ දෙපස නිම්නයේ පොප්ලර් ගස් සෙවනේ සරුවට වැඩෙන බාර්ලී වගා බිම්ය. කඳු වැටියේ දඟර ගැසී ඉහළ නැගෙන මඟ ක්‍රමයෙන් හුදකලා පරිසරයකට පැමිණේ. දෙපස මුඩු භූමියේ ක්‍රෝටන් ලෙස හඳුන්වන ස්ථූපය. ඒවා ලුංග්තා කොඩිවැලින් සරසා ඇත.
            තැංග්තොංග් රශ්චන් Stangstong Raschen ලාමාතුමන් විසින් හෙම්ස් ආරාමය ඉදිකිරීම ඇරඹුවේ වර්ෂ 1630 දී ය. සෙන්ජි නැම්ගියාල් රාජානුග්‍රහය ඊට ලැබුණි.
            රථගාල පිහිටා ඇත්තේ ගොම්පාවේ පාමුලම බැවින් දෙපයට සැනසීමකි. රථයට ඉසිසඝුලන්නට ඉඩහල අප ඒ අසලම ඇති ගොම්පාවට අයත් භෝජනාගාරයට ගොඩවැදුනේ කුසට ඉස්පාසුවක් දෙන්නය. සියයට සියයක්ම නිර්මාංශ ආහාර පමණක්ම සපයන මෙම භෝජනාගාරය එතරම්ම හොඳ තත්ත්වයේ නොපැවතුන ද සාධාරණ මිලකට ආහාර වේලක් සපයා ගැනීමට නරකම නැත.
            අහරකිස නිමවා ප්‍රවේශ කවුළුවෙන් විදේශිකයන් සඳහා ඉන්දීය රුපියල් පනහක ප්‍රවේශ පත්‍රය බැගින් මිලයට ගෙන අත ඉක්මන් කළේ නරඹන්නට බොහෝ දෑ අති බැවිනි.
            ආරාමයේ පහළ සිට ඉහළට රතු සහ සුදු වර්ණාලේපිත සිව්මහල් , දෙමහල්, තෙමහල් ගොඩනැගිලි පෙළ වම්පසින් පිහිටි පියගැට පෙළින් සම්භන්ධ වී ඇත. ආරාමය පුරාම දක්නට ඇත්තේ ටිබෙට් ගෘහ නිර්මාණ ශෛලයයි.
            ප්‍රධාන විහාර ගොඩනැගිලි දෙක මධ්‍යයේ ඔපදැමූ කළුගල් ඇතිරූ මැද මිදුලයි. එය විවිධ උත්සව සහ පූජා අවස්ථාවන් හි දී ලාමාවරුන් රැස්වීම සඳහා භාවිතා වේ. මධ්‍යයේ ඇති කොඩිගස ලුංග්තා කොඩිවැලින් සැරසී ඇත.