Saturday, December 16, 2017

ස්තොක් මාළිඟයේ දි රජ පවුල හමුවෙමු.

නැම්ගියාල් රාජාවලියේ මුලාරම්භය වසර දහසකටත් වඩා අතීතයට දිවේ. ලඩාකයේ ශ්‍රේෂ්ඨතම රජු ලෙස සැලකෙන සිංහ නැම්ගියාල්විරුදාවලිය ලත් සෙන්ගී නැම්ගියාල් නව මහල් ලෙහ් මාළිගය ඉදි කළේය. පසුව යෙෆල් නැම්ගියාල් ස්තොක් හී දැකුම්කළු මාළිගයක් ඉදි කළේය. ෂරවන් සිංග් ගේ නායකත්වයෙන් යුත් ඩොග්රා හමුදාව ලඩාකය ආක්‍රමණය කරනුයේ 1841 දීය. යෙෆල් නැම්ගියාල් රජුට ඩොග්රා ආක්‍රමණයට මුහුණ දීමට තරම් ශක්තියක් නොවුයෙන් ලඩාකය ජම්මු හා කාශ්මීර රාජ්‍යට ඈදා ගනු ලැබිණි.
            ලෙහ් මනාලී මාර්‍ගයේ ලෙහ් සිට දකුණු දෙසට කිලෝ මීටර 15ක් පමණ පැමිණ ඉන්දු නදිය තරණය කර සංස්කාර් කඳු පංතිය දෙසට ගමන් ගන්නා විට ස්තොක් ගම්මානය හමුවේ. කෙත්බිම් පිස හමන මද පවන සුවදායී පරිසරයක පෙර මග පවසන්නාසේය. නිරන්තර සුදෝසුදු හිමෙන් වැසුණ ස්තොක්තැංග්රී කඳුවැටිය ඉදිරිපසින් දිසේ. නැම්ගියාල් රාජාවලිය මෙවන් පරිසරයක සිය මාළිගය ඉදිකරගැනීමේ අරුමය කිම.
මාළිගයේ ප්‍රධාන ප්‍රවේශය අසල රථය ගාල් කෙරෙනවිට හිරුරැසින් නැහැවෙන මාළිගය ප්‍රෟඩව කදුමුදුනේ සිට අහස්කුස සිපගනිමින් සිටියේය. අසල කුඩා තුරුගොමුවක ලැගසිටි බිගු කැලක් වේගයෙන් මාළිගය දෙසට පියඹාගියේ අපගේ පැමිණීම වගකිවයුත්තනට දැනුම් දීමට සේය.
 ප්‍රාකාරයේ මිටි ප්‍රවේශ දොරටුවේ වාහල්කඩ ඉස්මත්තේ ස්ථූපයකි. එහි සිට පරිවාර ගොඩනැගිලි අතරින් ගල් පියගැට පෙළ පාර කියනුයේ මාළිගාවේ පිටත ප්‍රවේශ දොරටුව වෙතය. එහි ඇති කාර්යාලයෙන් රුපියල් පනහක ප්‍රවේශ පත ලබාගෙන පියගැටපෙළ නැඟි විට මාළිගා මිදුලට පිවිසේ. මිදුලේ ඉදිරිපස සහ දෙපස ආවරණය වන ලෙස ඇති පිය මඟකි. විලෝ ලීයෙන් කළ එහි පියස්සට ගොඩවීමට කුඩා පියගැට පෙළකි. දැන් එය පටු බැල්කනියකි. නිල්ල පිරුණු ස්තොත් ග්‍රාමයත් ඈත නිම්නයේ ගලා බසින ඉන්දු ගංඟාවත් පසුබිමේ ඇති ලඩාක් කඳු පන්තියත් මවන දසුන විස්තර කිරීමට වදන් පෙළගැස්වීම දුෂ්කරය.



    බැල්කනියේ කෙළවරක මාළිගය විසින් සංචාරකයින් උදෙසා පවත්වාගෙන යනු ලබන ආපන ශාලාවකි. උණු උණු කෝපි කෝප්පයකින් සප්පායම් වෙලාම මාළිගා සැරිය ඇරඹුවෙමු. ගතත් සිතත් උණුසුම්ය. මසැසත් මනසත් මනාව විවරය.
අදත් ලඩාකයේ නාමික රැජින හා රජ පවුල මාළිගයේ වාසය කරති. රාජා පිග්මෙඩ් වොන්ග්චොක් නැම්ගියාල් කුමරු කිරීටයේ හිමිකරුය. රජ පවුලට දේශපාලන බලතල නොමැති වුවද ලඩාකීයන් අතර ඉහළ ජනප්‍රසාදයක් ඇත. කුමරු ලඩාකයේ සංස්කෘතික හා පෞරාණික උරුමය රැක ගැනීම සඳහා කැපවි ක්‍රියා කරන්නෙකි.
            ප්‍රධාන මාළිගා පරිශ්‍රය සිව්මහල්ය. සුදු පිරියම් කර ඇති බිත්තිවල එක පෙළට කුඩා කවුළු පෙළකි. ඒ වටා උළුවස්ස කළු පැහැයෙන් පින්තාරු කර ඇත. දොර ජනේල දුඹුරු පැහැය. බැල්කනි සහිත විශාල දොරජනේල ඉදිරිපස ඇත.
            ප්‍රධාන ප්‍රවේශයේ ඇති පෝටිකෝව ලීයෙන් නිමවා මියුරල් චිත්‍රයෙන් සරසා ඇත. උළුවස්ස වටා ද මියුරල් චිත්‍රය. මිටි දොරටුව එතරම් විශාල නොවේ. එමඟින් ප්‍රවේශ වනුයේ මාළිගයේ මැද මිදුලට ය. එහි මධ්‍යයේ පොප්ලර් ගසින් කළ කොඩි ගසයි. රාජකීයන් මාළිගය තුල සිටී නම් කොඩිගස මුදුනේ ප්‍රාදේශීය කොඩිය ලෙළදේ. අදදින ලෙලදෙන ප්‍රාදේශීය කොඩිය කියනුයේ රාජකීයන් මාළිගය තුල වාසයකරන බවය.  කොඩි ගස පාමුල දිගු අං යුවලක් සහිත යැක් ගව හිස්කබලකි. මැද මිදුල වටා බිම් මහලේ කොරිඩෝවත් ඉහළ මාළයේ බැල්කනියත් නිසා මුළු මාළිගාවට එකට සබැඳේ.




            රාජකීයන් මාළිගයේ වාසය කරන නිසා සංචාරකයින් සඳහා විවෘත්තව පවතිනුයේ තෝරාගත් ස්ථාන පමණකි.
            දෙවන මහලේ ඇති රාජකීය බුදුමැදුර සුවිශේෂී ස්ථානයකි. බුදුමැදුරට ප්‍රවේශ වන තැන තඹ ලෝහයෙන් කළ විශාල දොළොස් මහේ බටර් පහන නොනිමී දැල්වේ. ගුරු පත්මසම්භාවා, ගෞතම බුදුන්, වජ්ජ්‍රපානී, වජ්ජ්‍රතාරා, අමිතාභය බුදුන් සහ අවලොකේතීශ්වර බුදුන් ගේ ප්‍රතිමා බුදු මැදුර වටා වැඩ සිටී. දාසය වන සියවසට අයත් ලොකු කුඩා තැංග්කා චිත්‍ර ප්‍රතිමා අතර සහ ඊට ඉහළින් බුදුමැදුර වටා බිත්තියේ එල්ලා ඇත. විවිධ බෝධිසත්ත්ව ආත්ම 35 කට වැඩි ගණනක් ඒවායේ නිරූපනය වෙති.




            බුදු මැදුරට යාබදව කුඩා කෞතුකාගාරයකි. කිරීටය, උත්සව අවස්ථාවල දී සැරසෙන වස්ත්‍රාභරණ, රැජිනගේ හිස පළඳනා හා රාජකීය ඇඳුම් ආයිත්තම්, නැම්ගියාල් පරපුරේ රාජකීයන් භාවිතා කළ අවි ආයුධ මෙන්ම ඵෙතිහාසික තැංග්කා චිත්‍ර කීපයක් ද එහි දී දැකබලා ගත හැක.         මීලඟ පිවිසුම රාජකීය මුළුතැන්ගෙටය. මුළුතැන්ගෙයි කොටස් දෙකකි. පහත මාලයේ ඇති ප්‍රධාන මුළුතැන්ගෙය අදටත් රාජකීයයන් භාවිතා කරන නිසා ඊට ප්‍රවේශ වීමට අවසර නැත. ඉහළ මාලයේ ඇති මුළුතැන්ගෙයි විශාල තඹ කල්දේරම්, කේතල, කෝප්ප, දේශීය බියර් බටර් ආදිය නිපදවීමට භාවිතාකල පීප්ප ආදිය ඇතුළු බොහෝ දේ ප්‍රදර්ශණය කෙරේ.

            සංචාරකයින් මාළිගය තුල සැරිසරන විට නිශ්ශබ්දතාවය ආරක්ෂා කරගැනීමට කාර්යය මණ්ඩලය නිරතුරුවම වෙහෙසේ. ඒ රාජකීයන්ට වන හිරිහැර අවමකරගැනීමටය. ඇතැම් විට මාළිගය නරඹන අතරේ අහඹු ලෙස රාජකීයන් දැකබලා ගැනීමට ද අවස්ථාව ඇත. ඒ නැතත් ජිග්මෙඩ් කුමරු මුහුණු පොතේ ජනප්‍රිය චරිතයකි. කැමතිනම් මිත්‍රත්ව ඇරයුමක් යොමුකල හැක.

Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association For Ladakh Studies

2 comments:

  1. අහලවත් තිබුන එව්වද මෙව්වා

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete