හැදින්වීම

කුඩා කල සිටම සංචාරය කරන්න තිබුණේ අපමන ආශාවක්. සංචාරයකදී අසන දකින දේ අනෙක් අය සමග බෙදා හදා ගන්න ඇත්තේත් ඒවාගේම ආශාවක්. ඉතින් මගේ සංචාරක අත්දැකීම් රූපයෙන් හා වචනයෙන් ඔබ වෙත ගෙන ඒමට දරන උත්සාහයයි මේ “වෙදදුරුගේ සංචාර” බොලොග් අඩවිය.
            මා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. සංචාරය සදහා බර පැන උපයා ගන්නෙත් වෛද්‍ය වෘත්තියෙන්. ඒ නිසයි මේ බොලොග් අඩවියට “වෙදදුරුගේ සංචාර” වඩාත් උචිත යයි මා කල්පනා කලේ. “වෙදදුරුගේ සංචාර” යන නම මාගේ බිරිද සුජීවාට ආ අදහසක්.
            සංචාරක ලේඛන කලාවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. හියුත් සාංග්, ෆාහියන් වැන්නවුන් මීට ශත වර්ෂ ගනනකට ඉහතින් තැබූ සංචාරක සටහන් අදවන විට ඵෙතිහාසික ලේඛන බවට පත්ව තිබෙනවා. චේ ගුවේරාගේ බයිසිකල් දින පොත හා බොලීවියානු දින පොත මා සංචාරක ලේඛන කලාවට ලොල් බැදීමට පොළඹවපු තවත් සාධකයක්.
            සමන් ආතාවුදහෙට්ටි,  ධර්මසිරි ගමගේ, මෙත්තසේන හා ලාල් හෑගොඩ වැනි සංචාරක ලේඛකයින් සිංහල සංචාරක ලේඛන කලාවට ලබාදුන් පෝෂණය අති මහත්.
            කෙසේ වුනත් සංචාරක ලේඛකයකු වීමට පෙර සැබෑ සංචාරකයකු වීම අත්‍යාවශයයි. සැබෑ සංචාරය වෙනමම කලාවක් ... අත්දැකීමක්. ඒ සදහා මනා පරිචයක් හා දැක්මක් මෙන්ම මිනිසාට, විවිධ සංස්කෘතීන්ට, පරිසරයට හා සතා සිව්පාවාට ආදරය කරන්නෙකු විය යුතුමයි.
             මගේ  “වෙදදුරුගේ සංචාර”  බොලොග් අඩවියෙන් මා විදි සහ විදින දෙස් විදෙස් සංචාරක අත්දැකීම් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මේ වටා ගොනු වන සැබෑ සංචාරකයින් එකතු පහදු කර සංචාරක සමාජයක් ගොඩ නගා සැබෑ සංචාරක අත්දැකීම් බෙදාහදා ගැනීම මගේ අරමුණයි. මෙම බොලොග් අඩවියේ නිර්මාණශීලී කටයුතු සිදු කරන සුජීවා කරුණානායකට මෙන්ම මාගේ සංචාර සදහා උදවිපදව් කරන දෙස් විදෙස් මිතුරන් සියළු දෙනාට ම තුති ! 

No comments:

Post a Comment