Monday, August 1, 2016

පුංචි කෝච්චියෙන් ශිම්ලා වෙත


            හිමාචල් ප්‍රාන්තය දුමිරියෙන්  දිල්ලිය සමඟ සම්බන්ධකම් පවත්වන ප්‍රධාන නගර දෙක සෝලාන් සහ ශිම්ලා ය.
            පුංචි කෝච්චිය කීවාම මට නිතැතින් සිහියට නැඟෙනුයේ මෑතක් වන තෙක්ම ධාවනය වූ කැළණි වැලි දුම්රියයි. කැළණි මිටියාවතේ කඳු අතරින් සීතාවක අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ පුංචි කෝච්චිය අද නැත. නමුත් ඉන්දියාවේ කල්කා සිට ශිම්ලා දක්වා දිවෙන පුංචි කෝච්චිය අදටත් කාර්ය බහුල මාර්ගයකි. ලොව සුන්දරම දුම්රිය මඟක් සේ සැලකෙන මේ ගමනට මා එක්වූයේ 2006 ශීත උඳුවප් මහේ නත්තල් දිනට පසුදිනය.
            පහර්ගන්ජ් හී නවදිල්ලි දුම්ර්ය ස්ථානයේ පළමු මහලේ  විදේශිකයින් සඳහා දුම්ර්ය ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට වෙනමම කාර්යාලයක් පවත්වාගෙන යයි. තම විදේශ ගමන් බලපත්‍රය සමඟ අදාළ පෝරමය පුරවා දීමෙන් කිසිදු අමතර ගාස්තු ගෙවීමකින් තොරව ඉන්දියාවේ ඕනෑම ස්ථානකට යාමට සහ ඒමට දුම්රිය ආසන වෙන්කර ගත හැක.
            පුංචි කෝච්චියෙන් ශිම්ලා යාමට පළමුව ලොකු කෝච්චියේ  කල්කා වෙත යා යුතුය. කල්කා හිමාචල් ප්‍රාන්ත මායිමේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටා ඇති කුඩා නගරයකි.
            පෙ.ව. 6.10 ට කල්කා බලා ධාවනය වන ‘හිමාලයන් ක්වීන්’ සීඝ්‍රගාමී දුම්රිය හරියටම පෙ.ව. 6.00ට නියමිත වේදිකාවට ගාල් කෙරිණි. නියමිත වේලාවට දුම්රිය ධාවනය ඇරඹුණි. වායු සමනය කළ මැදිරියේ ගමන සුව වහසුය. උදේ ආහාර සඳහා ඇණවුම් ලබාගැනීමට සේවක මහතකු පැමිණේ. බිත්තර දෙකක ඔම්ලට් සහිත පාන්පෙති දෙකකින් යුත් පගෝඩා එකක් රුපියල් විස්සකි. එළවළු කට්ලට් දෙකක් සහිත පාන්පෙති රුපියල් දහයකි. ඉදිරි අසුනින් නවාගත හැකි මේස ලෑල්ලේ තබා ආහාර අනුභව කළ හැක. ගමන ගුවන් යානයක සේය. ගැස්සිලි, පැද්දිලි නොමැත. ඩක ඩකස්.........ඩක ඩකස්.........ඩක ඩකස්....... ශබ්දය නොඇසේ.
            අප කිරිතේ පානය කරන අතරතුර දුම්රිය කුර්ෂිමා හන්දියට පැමිණියේ මද වැස්සක් සමගමය. පෙරවරු දහයට පමණ දුම්රිය පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්ත අගනුවර වන චන්දිගාර් වෙත පැමිණිනි.
            අර්තාපල්, අබ, පරිප්පු කෙත්බිම් අතර දුම්රිය වේගයෙන් ඇදේ. කිසිදු විඩාවකින් තොර පැය පහක ගමනකින් පසු පෙරවරු 11.20 ට දුම්රිය කල්කා වෙත ලඟා විය. මේ වායු සමනය කළ මැදිරියක දුම්රිය අසුනේ මිල ඉන්දීය රුපියල් 290ක් පමණය.
            කල්කා දුම්රිය ස්ථානයේ හිමාචල් ප්‍රාන්ත සංචාරක දෙපාර්තමේන්තුවට අයත් තොරතුරු මධ්‍යස්ථානයක් ඇත. රාත්‍රී දෙකක් ශිම්ලාවල ගත කිරීමට අදහස් කරන බැවින් සංචාරක දෙපාර්තමේන්තුවට අයත් ‘හොලිඩේ හෝම්’ හෝටලයේ කාමරයක් වෙන් කරවා ගත්තෙමු.
දහවල් ආහාරය දුම්රියපළ ආපන ශාලාවෙන් ලබා ගතිමු. බත්, එළවළු, චපාති දෙකක් සහ කව්පි හොද්දකින් යුත් තාලියක් රුපියල් තිහකි. කුසට උවමනාවටත් වැඩිය.
            දිනකට කල්කා සිට ශිම්ලා දක්වා පුංචි කෝච්චි හතරක් ධාවනය වේ. උදෑසන දුම්රිය දෙකක් ධාවනය වේ. මධ්‍යහන දොළහට ධාවනය වන දුම්රිය ආසන වෙන්කල මඟීන්ට පමණි. පස්වරු 12.40 ට අවසන් දුම්රිය පිටත් වේ. අප ගොඩවූයේ අවසන් දුම්රියටයි.
            පුංචි කෝච්චිය හරිම ලස්සනයි. නිල් පාට, සුදු පාට සහ කහ පාට තීන්ත ආලේප කළ පුංචි එන්ජිමයි, පුංචි පෙට්ටි පහයි.
            හූ.......හූ....... පුංචි කෝච්චියේ ගමන ඇරඹිණ.
            හොච්..හොච්.........ඩකඩක...... ගමන හිමිනි.
            කල්කා සිට ශිම්ලා දක්වා පුංචි කෝච්චි මඟේ දිග සැතපුම් 96කි. උමං 104ක් ඇත. ලොව දෙවන දිගම දුම්රිය උමඟ ද ඒ අතර වේ.
            හූ....හූ..හූ... එක දිගට හූව නතර නොවේ. මැදිරිවල සැවොම කවුළුවෙන් ඔළුව දමාගෙන හූ කියති. උමඟ අවසන් වූ පසු සියල්ලෝම කැකිරි පලමින් ඔළුගෙඩි ටික ඇතුලට ගනිති. ඒත් එක්කම ආයෙත් උමඟක් ........ආයෙත් හූව ........
            ලී ආසන සැප පහසු නැති වුවද අපහසුවක් නොදැනේ. පිරිස ඉඳගෙන ඉන්නවාට වැඩිය සිටිනුයේ හිටගෙනය. තරුණ තරුණියෝ පාපුවරුවට බසිති. එක් මැදිරියක පනහක් පමණ දෙනා ගමන් කරති.
            මේ මඟේ ධාවනය කරන සෑම දුම්රියක්ම සෑම දුම්රිය ස්ථානයකම නතර කෙරේ. දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට පුංචි කෝච්චියට පැය භාගයක් පමණ ගතවේ. දුම්රිය ස්ථාන ඉතා පිරිසිදුය. ලස්සනය. මට කොටගල, රොසැල්ල ආදී දුම්රිය ස්ථාන සිහියට නැඟුණි.
            සෑම දුම්රිය ස්ථානයකම පාහේ ඉතා හොඳ ආහාරපාන අලෙවිසලක් ඇත. මේවායේ ඉතා රසවත් ප්‍රනීත ආහාර සෞඛ්‍යාරක්ෂිතව අලෙවියට ඇත. උණු කිරිතේ, කිරි කෝපි වීදුරුවක් රුපියල් තුනකි. අර්තාපල් සහ නිවිති යොදා සෑදු කට්ලට් එකක් රුපියල් හතරකි. දෙකක් කෑවොත් කුස පිරේ. බිත්තර ඔම්ලට් හැර අනෙක් සියළුම ආහාර නිර්මාංශ වේ.
            පස්වරු 4.30 පමණ වන විට අපි සෝලාන් වෙත ලඟා වුණෙමු. දැන් මැදිරියේ සැවොම අපගේ මිතුරන් ය. තරුණ තුණියන් සය දෙනෙකුගේ කණ්ඩායම පන්ජාබයේ සිට තාරාදේවී දෙවොල වෙත වන්දනාවේ යන්නෝය. බාලාජී සිං බිරිඳ සහ කුඩා දූවරු දෙදෙන අපට වඩාත් සමීප වූ අනෙක් පිරිසයි. බාලාජී සිං හර්යානාවේ විදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කරන සීක් ජාතිකයෙකි. සෑම පාසල් නිවාඩුවක දීම ඔවුහූ සිය බිරිඳගේ ගම වන සංජොලී වෙත යති.
            සොලාන් පසු කර ටික දුරක් යන විට රාස්සිගේ අව්ව වැටී රත් පැහැයෙන් දිලිසෙන ගැලැසියර් කඳු මුදුන් දිස්වේ. ප්‍රාන්තයේ නැගෙනහිර චීන දේශ සීමාවට මායිම් ප්‍රදේශයේ බොහෝ ගැලැසියර් පිහිටා ඇත. විටෙක කඳු මුදනක ඇති දෙවොලක් වෙත යාමට යොදා ඇති කේබල් මඟේ ගමන් ගන්නා කේබල් කාර් දැකිය හැකිය. ගඩ ගඩස්....... ගඩ ගඩස්... පුංචි කෝච්චිය සුපුරුදු ඉබි ගමනේ ය. ක්‍රමයෙන් අඳුර ගලා එයි. සුළඟ ක්‍රමයෙන් ශිතල වෙයි. සුගන්ධිකා සුගන්ධයෙන් හිමාලයේ සිහිල් සුවෙන් ........ සියල්ලෝම කවුළු වසන්නට වූහ. නමුත් තද ශීතලෙන් බේරීමට අපහසුය. සියල්ලෝම ශීතලෙන් ආරක්ෂා වීමට කබා, තොප්පි, ස්කාෆ් පළඳින්නට වූහ.
            කල්කා සිට ශිම්ලා දක්වා පුංචි කෝච්දියේ ගමනට ගතවන කාලය පැය හයකි. සියළුම දුම්රිය පාහේ වෙලාවට ධාවනය කිරීම ඉන්දියාවේ සිරිතයි. සවස හය පමණ වන විට අප තාරාදේවී දුම්රිය පල වෙත ලඟා වුණෙමු. අපගේ තරුණ මිතුරු මිතුරියන් පිරිස අපගෙන් සමුගන්නට වූහ.

            මීලඟ දුම්රියපල අපගේ ගමනාන්තය...... ශිම්ලාය. ශිම්ලා දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 2205ක් උසින් පිහිටා ඇත. වෙලාව රාත්‍රී හත ආසන්න වෙමින් ඇත. කීරි ගැහෙන ශීතල උණුසුම් කබා අතරින් ඇට මිදුළු කරාම විනිවිද යයි. නගරයට කිලෝ මීටර් හතරකට පහකට කලින් විදුලි බුබුළු දසදහස් ගණනින් ආලෝකමත් වූ ශිම්ලා නගරය දෑස මානයේ ය. මේ දසුන මගේ ජීවිතයේ කිසි දිනක මැකී නොයන මතක සටහනකි. ශිම්ලා එතරම්ම සුන්දරලෙස රාත්‍රියේ පුංචි කෝච්චියට දිස්වේ.

(පුංචි ෙකා්ච්චිෙයන් ශිම්ලා ගමනට එක්වු ගමන් සගයා්ෙ- ෙඩා්රා පීරිස්, පසස් පෙ‍රේරා සහ සුජීවා කරුණානායක)

Dr Asela Perera
MBBS, MSc (Medical Admin)
Member of International Association for Ladakh Studies

2 comments: