Tuesday, August 16, 2016

ඩැල් විලේ බෝට්ටු නිවාස


            ශ්‍රී නගර් කාශ්මීර නිම්නය මධ්‍යයේ පිහිටි සුන්දර නගරයකි.දශක ගනනාවක බෙදුම්වාදී උවදුරින් පීඩා විද දැන් දැන් ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් සිටී.ජෙලුම් නදියේ සෝබාවත් ඩැල් විලේ ලාලිත්‍යයත් නගරයට සිරියාවකි.





            දිල්ලියට කිලෝ මීටර් 900 ක් පමණ වයඹ දෙසින් පිහිටි ශ්‍රී නගර්, ජම්මු හා කාශ්මීර ප්‍රාන්ථයේ වසන්ත අගනගරයයි.
            ශ්‍රී නගර් සංචාරක තොරතුරු මධ්‍යස්ථානය සහ බස් නැවතුම පිහිටියේ රෙසිඩන්ස් පාරේ කෙලවරය.එතැන් සිට මද දුරක් ඉදිරියට ගිය විට ඩැල් ද්වාරය හමුවේ.ඉරු දාහය මදක් අකාමකා වී යන සැදෑවේ අප ඩැල් ද්වාරයෙන් බුලෙවාර්ඩ් මඟට පිවිසුනේ ඩැල් විලේ සැදෑ අසිරිය විදින්නයටය.ඩැල් විල අද්දරින් වැටී ඇති බුලෙවාර්ඩ් මඟ සංචාරක ආකර්ශන ස්ථාන යාකෙරේ.



            වර්ග කිලේ මීටර 21 ක් පුරා පැතිර ඇති ඩැල් විල ශ්‍රී නගර් හි හදවතයි.ඉදිරියෙන් ශංකාරචායා කදු වලල්ල දිස්වේ.බෝට්ටු නිවාස විලේ අනෙක් ඉවුරේ එක පෙලට ගාල් කර ඇත.විල පිටුපසින් හරි-හිර්බාන් කන්දයි.ඒ මත ඔටුන්නක්සේ  දිස්වෙනුයේ දාසයවන සියවසේ ඉදිකල හරි-හිර්බාන් බලකොටුව සහ සීක් දවොලයි.
“ශ්‍රී නගර් ගියහම බෝට්ටු නිවසක නතර වෙන්න.” අපගේ ලඩාක් මිතුරන් බොහෝ දෙනාගේ උපදේශය විය.
අපිත් නතර වෙන්න බෝට්ටු නිවාස බලන්න ගියෙමු.
මොනවද මේ බෝට්ටු නිවාස?
            කාශ්මීරයේ සුන්දරත්වයෙන් වශීවෙන බ්‍රිතාන්‍යයන් පදිංචි වන්නට රිසිව එක්දහස් අටසිය ගනන්වල සිට එහි පැමිනෙන්නට විය.නමුත් කාශ්මීර වැසියන් සිය ඉඩම් බ්‍රිතාන්‍යයන්ට අලෙවි නොකරන්නට තීන්දු කර තිබුණි.ඉතින් නිවාස සෑදීමට ඉඩම් කොයින්ද?
            නමුත් බ්‍රිතාන්‍යයන්ද පහසුවෙන් පසුබසින ජාතියක් නොවේ.හංජි Hanji ජන කොට්ඨාශය අනාදිමත් කාලයක පටන් ඩැල් විල සිය ජීවනෝපාය මෙන්ම වාසය සදහාද යොදා ගන්නා පිරිසකි. නැතිනම් ඩැල් විල වැසියෝය.විලේ පාවෙන කුඩා බෝට්ටු ඔහුන්ගේ නිවස්නයෝය.
බ්‍රිතාන්‍යයන්ට කදිම අදහසක් පහලවිණි. ‘ඉඩම් නැතිනම් අපි ගෙවල් විලේ හදමු’. ඒ සදහා සුදුසුම පිරිස හංජි ජනයාය.බෝට්ටු නිවාස සෑදීම ඔහුන්ට බාරවිණි.කාමර තුන හතරක්, විසිත්ත කාමර, මුළුතැන්ගෙය, ආලින්ද, සදළුතල, වැසිකිලි සහ නාන කාමර ආදි සියල්ලන්ගෙන්ම අංගසම්පූර්ණ දැවයෙන් කල බෝට්ටු නිවාස යුරෝපීයන් වෙනුවෙන් ඉදිවන්නට විය.කාශ්මීර බුමුතුරුණු වලින් බිම සැරසුණි.බෝට්ටු නිවසේ ඉදිරිපස විලටත් පිටුපස විල් ඉවුරටත් සිටිනසේ සාදා ඇත.මේ බොහොමයක් බෝට්ටු නිවාස විල් දියේ පැද්දෙනවා මිස පාවෙන්නේ නැත.
අද වනවිට ඩැල් විලේ මෙවැනි බෝට්ටු නිවාස දහසකට වඩා ඇත.මේවා සංචාරකයින්ගේ ආකර්ශනය දිනු නවාතැන් පලවල්ය. ඇතැම් බෝට්ටු නිවාස හිමියන්ද එහිම වාසය කරති.සංචාරකයින්ට අවශ්‍ය ආහාරපාන ඔහුන්ම සපයා දෙයි.ඔහුන්ගේ සංස්කෘතිය, ජීවන රටාව පිළිබද සමීප අත්දැකීම් සංචාරකයින්ට ලබාගත හැක.
බුලෙවාර්ඩ් මගේ ඔරු තොටේ සිට බෝට්ටු නිවාස වලට සංචාරකයින් රුගෙනයාමට කුඩා බෝට්ටු විශේෂයක් ඇත.කහපැහැ පියස්සකින් සෙවනකල රතු පලසින් ආවරනය කල මේ බෝට්ටුවලට කියනුයේ ශිකාරස් කියාය.ඔබට කැමති නම් ශිකාරස් බෝට්ටුවකට ගොඩවී ඩැල් විල වටා පැයක සංචාරයකද යෙදිය හැක.බුලෙවාර්ඩ් ම‍ඟේ දිගටම විල් ඉවුරේ ශිකාරස් සියගනනක් ගාල් කර ඇත.


“නේරු පාක්....බොටනිකල් ගාඩන්..... කෙග්මාශී ගාඩන්.....විශාට් ගාඩන්.....” කෑගසන තැරැව්කරුවන්ගෙන් බේරිල්ලක් නොමැත.ඇතැමුන් අතිනුත් ඇදගෙන ගොස් බෝට්ටුවට නංවා ගැනීමට වෙර දරයි.නොගියාම අපිටම දෙස් තියයි.
            බෝට්ටු නිවාස වැසියන් විල අතර ගමනාගමනයේ යෙදෙනුයේ කුඩා ඔරුවලනි.මුස්ලිම් තරුණියන් කුඩා ඔරුවේ නැගී තනිවම හබල් ගාමින් විල තරණය කරන අයුරු අපූරුය.

අප අසලින් සංසුන්ව විල තෙර සක්මනේ යෙදෙන සුදු තරුණියකි.ඇඳුම මට දැක පුරුදුය. දුඹුරු පැහැ ලෝගුව වැනි ගවුම, හිස හා දෙවුර වැසූ සාටකය.....ලෙහ් කඩ වීදියේ එලවළු තෝරත්දී මා ඡායාරෑපයට නැගූ තරුණිය.
මා ඇයට කථාකර මාගේ කැමරාවේ සටහන්ව තිබු ඇගේ ඡායාරූප කිහිපය පෙන්වූවෙමි.ඇයටත් හරිම සතුටුය.අප මිතුරන් වුනෙමු.ඇය නමින් පැම්පල් මුසේ Pample Muze .ජර්මන් ජාතික පෙර පාසල් ගුරුවරියකි.සයමසක් පුරා ඉන්දියවේ සංචාරය කරයි.ඇයද ලෙහ් සිට ශ්‍රී නගර් පැමිණ ඇත්තේ පෙරදිනය.බෝට්ටු නිවසක දේශීය පවුලක් සමග නවාතැන් ගෙන සිටී.
ඩැල් විල් තෙර මල හිරු බසින යාමේ ඇගේ තවත් සුන්දර ඡායාරූප කිහිපයක් කැමරාවේ සටහන් කර ගත්තෙමි.පසු දිනක ඇගේ මුහුණු පොතේ ප්‍රධාන ඡායාරූපය ලෙස බොහෝ කලක් භාවිතා කලේ මා ලෙහ් හිදී ගන්නා ලද ඡායාරූපයයි.


ක්‍රමයෙන් අදුර ගලා එයි.රත් පැහැ ඉර මල විල් තෙරින් බැසයන දසුන වචනයෙන් විස්තර කල නොහැකි සුන්දරත්වයක් එක්කරයි.ඔබමොබ සැරිසරන ශිකාරස් විල පුරාම විසිර ඇත.බෝට්ටු නිවාස අදුර පිළිගන්නට විදුලි පහනින් ඒකාලෝක වී ඇත.
            නේරු උද්‍යානය ඩැල් විල මධ්‍යයේ පිහිටි කුඩා දුපතකි.නොයෙකුත් ජල ක්‍රීඩා අධිවේගී බෝට්ටු සවාරි කැමැත්තෝ බුලෙවාර්ඩ් මඟේ සිට ශිකාරස් වල නැගී නේරු උද්‍යානයට ගොඩ වෙති.බෝට්ටු නිවාස වලට බෝට්ටු තැපැල් සේවය....පාවෙන තැපැල්හල බුලෙවාර්ඩ් මඟේ හමුවන වැදගත් ස්ථානයකි.මේ විශාල බෝට්ටුව එකල තැපැල්හලකි.අද පාවෙන තැපැල් කෞතුකාගාරයකි.විවිධ යුගවල මුද්දර රැසක එකතුවක් එහි දී දැක ගත හැකිය.
ඩැල් විල හා ශ්‍රී නගර් විහඟ නෙතින් දකිනු කැමැත්තන් සබවාන් උද්‍යානයට Sabawan Garden පිවිසෙති.එහි ඇති වායු බැලුනයට ගොඩවී මීටර සියයක් ඉහල අහසේ සිට හාත්පස දසුන මිනිත්තු දොලහක් පුරාවට රසවිදිය හැක.ඒ සදහා එක් අයකුට ඉන්දීය රුපියල් හාර සියයක මුදලක් වැයවේ.
තවත් මද දුරක් බුලෙවාර්ඩ් මඟ ඔස්සේ ඩැල් විල අද්දරින් ඉදිරියට ගිය විට හමුවන උද්භිද උද්‍යානය මග නොහැරිය යුතුය.ඇපල්,ඇප්‍රිකෝට්,විලෝ ඇතුළු තුරු ලතා බොහොමයක් මෙන්ම මල් වර්ග රාශියක් ප්‍රදේශයේ ශාක ලෝකයේ විවිධත්වය අපට කියා දෙයි.


ඩැල් විලේ සිරි විදින විට ශම්මි කපූර් සිනමා තාරකාව නිතැතින් සිහියට නැගේ.ඩැල් විලේ අසිරිය ලොවට කියාපාන්නට සිය සිනමා නිර්මාණවලදී ඔහු ගත් උත්සාහය අමරණීය ය.කාශ්මීර් කී කාලි,ජුන්ගල්,ජාන්වර් සිනමා පට සදහා ඔහු ඩැල් විලේ පසු තල බොහෝසේ යොදාගත්තේය. ශම්මි කපූර් ඩැල් විලට කල සේවයට කෘතගුණ උදෙසා 2011 ඔහුගේ භෂ්මාවශේෂ ඩැල් විලේ තැන්පත් කෙරිණි.
   
ඩැල් විලේ අසිරිය විදින්නට ආ ගමන් සගයෝ.........




Dr Asela Perera
MBBS MSc (Medical Admin)
Member of International Association for Ladakh Studies

No comments:

Post a Comment