Wednesday, August 10, 2016

ගුර් ගුර් Gur gur


            අපි නුබ්රා නිම්නයේ ලබාබ්  Labab  ගම්මානයේ සොනාම්ගේ සොහොයුරාගේ නිවසට පැමිණෙන විට ගොමිමන පසුවෙමින් පැවතින. ලඩාක් භාෂාවෙන්  La යන්න කපොල්ල යන අරුතද, බාබ් bab යන්න බැස්ම නැතිනම් බෑවුම යන අරැතද‍දේ. නූබ්රා නිම්නයේ වරුල්ලා කපොල්ලේ සිට පහළට බසින විට හමුවන දෙවන ගම්මානය ලබාබ් ය. එබැවින් බෑවුම්ගම ලබාබ් ය.





        ගමට ඇත්තේ නිවාස පහකි.  පොප්ලර්, විලෝ, චෙරි ආදී තුරු සෙවනේ බාර්ලි, තිරිඟු හා එළවළු  ගොවිබිම් වලින් සහ තෘණ භූමි වලින් සපිරි සරුසාර ලබාබ් ගම්මානය සැබවින්ම නෙතට උළෙලකි.  ගම මැදින් නිම්නය ඔස්සේ ගලන දිය දහර ගමේ ජල අවශ්‍යතාවය සපුරනවා මෙන්ම සුන්දරත්වය ද වැඩි කරයි.  බෞද්ධ සළකුණ, කුඩා ස්ථූප ගම්මානය පුරා තැන තැන දැකිය හැක.
            මෙවන් සොඳුරැ දසුනින් ගත වෙහහෙස සනසාලමින් අප නිවසට ගොඩවැදුනෙමු.
            ගෙයි සාලයේ කාපට් අතුරා මිටි බංකුමේස වටේට තබා ඇත.  ආහාර, තේ ආදිය අමුත්තන්ට පිලිගන්වන මෙම මිටිබංකු මේසයට කියන්නේ චොක්ට්සේ කියාය. මේස පිටුපස අසුන්ගැනීමට මේට්ට අතුරා ඇත. අප මෙට්ට වල අසුන් ගතිමු. මද වේලාවකින් ගෙහිමි කත තේ පෝච්චියක් රැගෙන ආවා ය. අඬු රහිත පෝසිලේන් කෝප්ප චීන ශෛලයේ ඒවා ය. ලස්සනට පින්තාරු කර ඇත.


            මේ සූදානම ආගන්තුක අපට සම්ප්‍රදායික ටිබෙට් තේ පැන් සංග්‍රහයක් පවත්වන්නට ය.
            “අපි ටිබෙට් සෝල්ට් තේ එකක් බොමු” සොනාම්ලේ කෝප්ප පිළිගන්වන අතරේ පවසයි.
            “මේ තේ ගත වෙහෙස නිවනව වගේම ශක්තියත් ලබා දෙනව” ඔහු විස්තර කරයි.
            මට හෙන්රිචිගේ ටිබෙට් රටේ සත් වසක් පොතේ මෙම ටිබෙට් තේ ගැන කර ඇති විස්තරය මතකයට නැඟේ.  ඔහුගේ විස්තරයෙන් එදා සිතින් රසවිඳි ටිබෙට් ලුණු තේ අද සැබවින්ම රස විඳින්නටය සූදානම.
            සියළු කෝප්ප වලට තේ වටයක් වත්කෙරිණි.
            ටිබෙට් ලුණු තේ රස විඳින්නෙමු.  හ්ම්......... හරිම රසයි.
            “එළකිරි වලට ලුණු තලවම් කරලද මේ තේ හදන්නෙ?” මගේ හිතට වද දුන් පැණය සොනාම්ලේ ට යොමු කළෙමි.
            “ඒකට ගුර් ගුර් එකක් ඕන”
මොකක් ද මේ ගුර් ගුර් එක. සියල්ලෝම ගුර්ගුර් එක බලන්න මුළුතැන්ගෙට ගියෝය.

            අඩි තුනක් පමණ උසැති විලෝ කඳක් කුහරයක් සේ හාරා ඒ වටා යකඩ මුදු ගසා ශක්තිමත් කර ඇත. එක් පසෙක කුහරයකි. අපගේ වංගෙඩියට මදක් සමානය. ගුර්ගුර් එක තුලට උණු වතුර, එළකිරි, බටර් සහ ලුණු දමා සුමටව සාදා ඇති ලීයක ආධාරයෙන් කලවම් කළ යුතුය. මෙසේ කලවම් කිරීම සීරුවට හා කලාවට කළ යුතුය. නැතිනම් ඇතුලේ තෙරපුමට චොරොස් ගා තේ මූණටම විදිය හැක. පදමට කලවම් වූ පසු චබ්ස්කියාන් කේතලයට දමා පැසෙන තෙක් උදුනේ තබා රත්කර ගත යුතුය. දැන් උණු උණු ලුණු තේ බීමට සූදානම්ය.
            ලුණු තේ ටිබෙටයේ, චීනයේ නිරිත දිග ප්‍රදේශයේ හා ලඩාක් හී සම්ප්‍රදායික පානයකි. විශේෂයෙන් ම ශීත සමයේ නිවැසියන්, අසල්වැසියන්, අමුත්තන් මුළුතැන්ගෙයි උදුන වටා රැස්ව ලුණු තේ පානය කරමින් කල් මරති.
            එක් තේ වඩියක් අවසන් වූ සැනින් ගෙහිමි කත පැමිණ කෝප්පයට නැවත තේ වත්කරයි. මෙලෙස ඇති පමණ ලුණු තේ පානය කළ හැක.
            ලඩාක් මුළුතැන්ගෙය විසිත්ත කාමරයකි. එහි කේන්ද්‍රය තාබ් සාම්ප්‍රදායික උදුනයි. යකඩෙන් සාදා ඇති උදුනේ චිමිනිය යකඩ බටයක් මඟින් පියස්සෙන් පිටතට යනසේ සකසා ඇත. කුඩා කවුළුවකින් උදුනට ඉන්ධන සැපයේ. ඉන්ධන සේ භාවිතා කරනුයේ වියලා ගත් යැක් ගව බෙටිය. උදුන මත ලිප් දෙකකි. ආහාර පිසගන්න උවමනාවටත් වැඩිය.
            ශීත කාලයට ලඩාකයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් සෘණ අගයන් දක්වා පහත බසී. බොහෝ ගම්මානවලට විදුලිය නොමැත. විදුලිය තිබුණත් නිවෙස්වල උණුසුම් තාපක නොමැත.
            “වසන්ත කාලයට සියළු ගොවිතැන් අවසන් කරල අස්වැන්න ගබඩා කරගන්නවා. ගවයින්ට අවශ්‍ය තණකොළ වහලය මත ගබඩා කරගන්නවා. ගවයො නිවෙස අසල ගවගාලට ගාල් කරනවා. ශීත කාලයට  ගැමියො වැඩිපුරම කාලයගත කරන්නෙ කුස්සියේ. කන්නේ බොන්නෙ, නිදියන්නේ උදුන වටා.” සොනාම්ලේ ලඩාක් ගැමි දිවි පෙවෙත විස්තර කරයි.




            අහළ පහළ නිවැසියන් එක නිවසකට එකතු වී තාබ් උදුන වටා රොක්වෙති. ගුර්ගුර් චායි ලුණු තේ හෝ චංග් දේශීය මද්‍යසාර පානය කරමින් වියලු යැක් ගවමස් අනුභව කරමින් විහිළු තහළුවෙන්, ආගිය කථාබසින් විනෝදයෙන් ශීත සමය ගත කෙරේ. ඉතින් නිවසේ උණුසුම්ම ස්ථානය තාබ් උදුන වටා මුළුතැන්ගෙයයි.           
              මුළුතැන්ගෙය ගැන කීවාම ලඩාක් ගැමි ගෙදර වැසිකිලිය ගැන ද නොකියාම බැරිය.
            “මිනිසුන්ට අනුභව කළ නොහැකිනම් සතුන්ට කෑමට දෙන්න එසේත් නොහැකිනම් පොහොර ලෙස කෙතට යොදන්න” මේ ලඩාක් කියමනකි. ශීත කාන්තාර දේශගුණයක් ඇති ප්‍රදේශයකට කෙතරම් අගේ ඇති කියමනක් ද?

            වැසිකිලිය ඇත්තේ නිවස ඉදිරිපසය. අපේ රටේ නම් මෙය වලකකුස්සියකි. වෙනසකට ඇත්තේ අප මළද්‍රව්‍ය වලකකුස්සියේ වැලලෙන්නට හරිමු. මේ වැසිකිලියේ වල කුටීරයක් සේ පහළට බැඳ මල ද්‍රව්‍ය එකතු කෙරේ. දුගඳ පාලනයට තාබ් උදුනෙන් එකතුවන අළු විටින් විට වලට එකතු කෙරේ. කුටීරය නැතිනම් වල පිරෙන විට මල ද්‍රව්‍ය එක් පසක ඇති කවුළුවකින් පිටතට අදිති. දැන් මේවා මළ නොව ඉස්තරම් කාබනික පොහොරකි. මේ කාබනික පොහොර බාර්ලි, තිරිඟු, එළවළු ගොවිබිම් සරුකිරීමට යොදා ගැනේ. මොනතරම් විද්‍යාත්මක පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණයක් ද?


Dr Asela Perera
MBBS, MSc (Medical Admin)
Member of International Association of Ladakh Studies.

No comments:

Post a Comment