ලෙහ්
මනාලි මාර්ගයේ කිලෝ මීටර් විස්සක් පමණ අප පැමිණ ඇත්තෙමු. ඉන්දු ගංගාව දකුණු පසින්
ගලා බසී. ගිම්හානයේ දී සැඩ ජල කඳ බොරපැහැයට ගලාගියා මතකය. මේ සිසිරයේ ගඟ දෑල හිම
තැන්පත් වී ධවල බැමි දෙකක් බැඳ ඇතුවා සේය. මැදින් නිලට නිලේ ගලා බසින ජලයේ හිම
කැටිති පාවනෙ හැටි බලන්නට ලස්සනය. වම් පසින් හිස් භූමිය කෙළවර වන්නේ ලඩාක් කඳු
පන්තියෙනි. එහි කඳු මුදුන්හි එක යායකට ඇති ග්ලැසියර් හිරුරැස් වැටී සුදෝ සුදු
වර්ණයෙන් බැබළේ. ලඩාක් කඳු පන්තිය ඉදිරියෙන් කුඩා කඳු ගැටයකි. එහි පාමුල සිට මුදුන
දක්වා පැතිරුණ ලොකු කුඩා ධවල මන්දිර අතර රතු සහ කහ පැහැ ප්‍රාසාදයන්ය. මෙය දකින
කෙනෙකු, තමුන් සිටිනුයේ ලාසාවේ යයි නිසැකවම සිතනු ඇත. අප ප්‍රධාන මාර්ගයෙන් හැරී
තික්සි ග්‍රාමය ඔස්සේ වැටී ඇති මඟ ඔස්සේ ගමන් කරනුයේ පෝතල මාළිඟය දෙසටය. ලාංකික
බෞද්ධයන්ට දළඳා මාළගාව මෙන් වජ්‍රයාන
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ටිබෙටයේ ලාසාහි
පෝතල මාළිඟයයි. එය දලයි ලාමාතුමාගේ වාසස්ථානය ද විය. ඒ හා සමාන ආරාමයක් ලඩාකයේ
ඉදිකිරීමට ලඩාක් බෞද්ධයන්ට අවශ්‍ය විය. ඒ අනුව ගෙලුග්පා පාර්ශ්වයේ ආරාමයක් ලෙස
තික්සි ආරාමය ඉදිකිරීම ඇරඹුයේ පහළොස්වන ශතවර්ෂයේදී පමණය. ආරාමයේ මූලික වාස්තු විද්‍ය
සැලැස්ම පෝතල මාළිඟයට බොහෝ සමානය.
පළමුව
අප තික්සි ආරාමය ඉදිරිපස සීමාවේ ඇති මනි ප්‍රාකාරය අසල සිට එය නැරඹුවෙමු. පසුගිය
වසන්තයක දී අප නුබ්රා ගොස් පැමිණෙන අතර, මෙහි සිට ආරාමය නැරඹුවෙමු. නමුත් කාලවේලා
මදිකම නිසා එදින ආරාමය තුළට යාමට නොහැකි විය. එදා හරිත පැහැ පත්‍රයෙන් වසා සිට මනි
ප්‍රාකාර ඉදිරිපස රේඛාවක් සේ පිහිටි පොප්ලර් ගස් පෙළ අද කොළ වරා ඇත. මණි ප්‍රාකාරය
ඇතුළතින් ඉපැරණි ස්ථූප රැසක් ආරාම භුමිය පුරා විහිද ඇත. සුදු පිරියම් කර ඇති ඇතැම්
ඒවායේ කොටස් කැඩී බිඳී ඇත. කොළ, කහ සහ තැඹිලි වැනි වර්ණාලේපිත ස්ථූප මෑතක කල ඒවා
විය හැක.
කන්ද
පාමුල සිට ඉහළට ගොඩනැගිලි විසිරී ඇත්තේ කේතුවක් පරිද්දෙනි. පාමුල බොහෝ ලොකු කුඩා
මන්දිර පුළුල් පෙදෙසක විසිරී ඇත. කන්ද මධ්‍යට වන්නට ඇති ගොඩනැගිලි ගාම්භිරත්වයෙන්
අනූනය. ඒවා තෙමහල් හෝ සිව්මහල් ය. ඉහළින්ම ඇත්තේ මන්දිර එකකි. මන්දිර වල වැදගත්කම
ද පහළ සිට ඉහළට ආරෝහණය වන පරිදි පිහිටා ඇත. ඉහළින්ම ඇති පොතෑංග් මන්දිරය තික්සි
ආරාමයේ ප්‍රධාන ලාමාතුමාගේ නිල වාසස්ථානයයි. පහළින්ම ඇත්තේ සාමාන්‍ය ලාමාවරුන්ගේ
ලැඟුම් කුටිය.
උදා
හිරුරැස් වැටී ඇති නිල් අහස්තලය පසුබිමේ ලඩාක් හි පෝතළ මාළිඟය එහි පාමුල සිට බලන
විට ප්‍රෟඩ නිර්මාණයක් සේ විරාජමානව සිටී. ශ්වේත මන්දිර මධ්‍යයේ ඇති රන්පැහැ
මන්දිරත් දකුණු පසින් හා ඉහළින් ඇති රක්ත වර්ණ මන්දිරත් ලාසා පෝතල මාළිඟයට ඔබ
නිසැකවම රැගෙනයයි.
කැමතිනම්
කෙනෙකුට ආරාමයේ පහළ සිට ඉහළට ඇති පිටගැට පෙළ ඔස්සේ විහාර මන්දිර සහ ප්‍රතිමාළයන්
වෙත පිය නැඟිය හැකිය. පුළුල් ඉන්දු නිම්නයේ හාත්පස දසුනත් සංස්කාර් කඳු පන්තියෙන්
සුන්දර තික්සි ග්‍රාමයත් ඒ අතර තුර රිසිසේ
රස විඳිය හැක.
කන්දේ නැගෙනහිර දෙසට ඇති මාර්ගය ඔස්සේ ආරාමයේ ප්‍රවේශ
දොරටුවෙන් විහාර මන්දිර වෙත පිවිසිය හැක. පියගැට පෙළ දිගේ පිය නඟද්දි නෙතට ලැබෙන
රසඳුන, පවතින දැඩි ශීත කාලගුණය නිසා කැප කල අප, නැගෙනහිර ප්‍රවේශ දොරටුවේ වාහල්කඩ
තෙක් මොටර් රථයෙන්ම ගමන් කළෙමු. වාහල්කඩ අසල සිට බලන විට හිමෙන් වැසුන සංස්කාර්
කඳු වැටිය පසුබිමේ ආරමයේ චිත්තාකර්ශණීය පැතිකඩ දසුන දැක ගත්තෙමු. පත්‍ර හැලී අතු
විහිදී ඇති විලෝ ගස් පෙළ-, සිය කූරු මඩල විහිදා ගත් ඉත්තාවුන් පෙළක් සේ පිය මඟ
පසෙක ඇත. ඒ මතට හිරුරැස් පතිත වන විට රන් සහ රත් පැහැ ගනී. කොළ නැති ගස් මවනා මේ
සිතුවම තවත් විචිත්‍රවත් කරමින් ඒ අතරින් රන් සහ රත් පැහැ ලුකෑංග් සහ ලකෑංග්
මන්දිර දකිද්දී මට සිහි වූයේ සකුරා ගස් අතරින් දුටු කනසාවා මාළිගයයි. අප දැන්
සිටිනුයේ මුහුදු මට්ටමේ සිට අඩි 11800 ක් ඉහළිනි. මධ්‍යම ලඩාකයේ පිහිටි විශාලතම
ආරාමය මෙයයි.
නැගෙනහිර
දොරටුවෙන් ඇතුළු වූ විට ආරාමයේ මැද මිදුලට නැතිනම් එළිමහන් මණ්ඩපයට ප්‍රවේශ වේ. තික්සි
ගුස්තෝ උත්සවය පැවැත්වෙන නොවැම්බර් නවය, දහය දිනවල දී ලාමාවරු සිය වෙස් මුහුණු
නර්ථනයන් මෙහි දී රඟ දක්වති.
මැද
මිදුල වටා ප්‍රධාන විහාර මන්දිර කිහිපයක් ඇත. අප මුලින්ම පිවිසුනේ දෙමහල් මෛත්‍රීයාන
විහාරයටයි. ඉහළ මාලයට ගිය විට මෛත්‍රී බෝධිසත්වයන්ගේ යෝධ බුදු බඳේ ඉහළ කොටස
දැකගත හැකිය. මීටර් 14 ක් උස ප්‍රතිමාව නෙළා ඇත්තේ පහළ මාලයේ සිටය. රන් පැහැ ආලේප
කර ඇති ප්‍රතිමා වහන්සේ ධර්ම දේශණ මුද්‍රාවෙන් වැඩ සීටී. සොනාම් ලේ, බිරිඳ සහ
දරුදෙදෙනා ටිබෙට් සම්ප්‍රදායානුකූලව මුනින් දිගා වී බුදුන් වඳිති. “ මේ ලඩාකයේ
විශාලතම මෛත්‍රී බුද්ධ ප්‍රතිමාවයි. ප්‍රතිමාව නෙලීම පටන් ගත්තේ 1970 දී දාහතර වන
දලයිලාමා තුමන් තික්සි ආරාමයට පැමිණිම මුල්කරගෙන” බුදුන් වැඳීමෙන් පසු සොනාම් ලේ
විස්තර කරයි.
ඉන්පසු
අප පිවිසුනේ තාරා විහාරයටයි. මෙම විහාරයේ අවලෝකේතීශ්වර, වජ්‍රපානී සහ මංජු ශ්‍රී
බෝධිසත්ව ප්‍රතිමා කැපී පෙනේ. එයට අමතරව බිත්තියේ ඇති කුටීර වල තවත් ප්‍රතිමා
රැසක් තැන්පත් කර ඇත. තවත් ප්‍රතිමාලයන් කිහිපයක්
නරඹා අප රක්ත මන්දිරයෙන් පිටතට පැමිණියේ ඊට යාබද ඇති රන්පැහැ පූජා මන්දිරයට
යාමටය. මන්දිර දෙක යා කර ඇති පිය මගේ එක් පසක් විශාල කළුගල් ප්‍රාකාරයකින් ආවරණය
කර ඇත. මේ නිසා ආරාමය පිටත සිට බලන්නෙකුට මෙම පියමංවල ගමන් කරන කිසිවකු දර්ශණය
නොවේ. තික්සි ආරාමය ද පෝතල මාළිඟය මෙන් බලකොටුවක ස්වභාවයෙන් නිර්මාණය කර ඇත. මෙම
පියමගේ සිට බලන විට ඉදිරියෙන් දිස්වනුයේ ඉන්දු ගංගාව ආශ්‍රිත පුළුල් නිම්නයයි.
නිම්නය කෙළවර වනුයේ දකුණු දෙසින් පිහිටි සංස්කාර් කඳු පන්තියෙනි. ඈත ගිණිකොණ
දිශාවෙන් හිමාල කඳු පන්තිය දර්ශණය වේ.
“අර පේන්නෙ ස්ටක්නා ගොම්පාව” ඉන්දු
ගංඟාව අසබඩ ඇති හුදකලා කඳුමුදුනක ඇති ආරාමය පෙන්වමින් සොනාම්ලේ පවසයි.
“අර
පේන සංස්කාර් කඳු පංතිය මැද තියෙන කඳුගැටය මුදුනේ තියෙන්නෙ මාතෝ ආරාමය” සංස්තාර්
කඳුවැටියත් ඒ අවට ප්‍රදේශයත් මුළුමනින්ම හිමෙන් වැසී ඇත. ඒ අතරින් මාතෝ ආරාමයේ
ඩුකෑංග් මන්දිරය රන්වන් පැහැයෙන් දිලිසේ.
“අපි
මීලඟට යමු මාතෝ ගොම්පාව බලන්න” අප නැවත තික්සි ආරාමයේ විහාර මන්දිර නැරඹීම ආරම්භ
කළෙමු.
රන්පැහැ පූජා මන්දිරයේ ඉපැරණි මියුරල්
චිත්‍ර රාශියකි. තැංග්කා සිතුවම්, මණ්ඩල එහි ප්‍රභාව තවත් වඩවයි. රන්රිදී විහාරයේ
වරකට ලාමාවරුන් දහසකට රැස්ව පුද පූජා පැවැත්විය හැක. ලමෝකෑංග් විහාරයේ ඉහළම මාලයේ
කැංග්යුර් සහ ස්තැංග්පයුර් පුස්ථත රාශියක් කුටීර වල තැන්පත් කර ඇත. මෙහි සදළුතලයට
පිවිසි විට ආරාමය වටා පිහිටි තික්සි ගම්මානයත් සංස්කාර් සහ හිමාල කඳුවැටි තෙක්
පැතිරැණු ඉන්දු නිම්නය ආශ්‍රිත මධ්‍යම ලඩාකයේ සුන්දරත්වය සිත්සේ දැකබලාගත හැක.
Dr Asela Perera
MBBS MSc (Medical Admin)
Member of International Association for Ladakh Studies
traveldrasela@gmail.com
අදයි මේ බ්ලොග් එකට අාවේ.අැත්තටම ගොඩක් වටිනවා මේ ලිපි පෙල.තවත් මේ වගේ ලිපි ලියන්න.ඔබතුමාට ස්තූතියි.
ReplyDeleteඔබ නිරතුරුවම මා සමග රැදී සීටීම ශක්තියක්.ඔබගේ අදහස් හා යෝජනා අගය කරමි.
Deleteවටිනා ලිපි පෙලක්.
ReplyDeleteබොහොම ස්තූතියි.මගේ බොලොග් අඩවිය හා රැදී සිටින්න.
Deleteඅැත්තටම ගොඩක් දේවල් දැනගත්තා වෙෙද්‍යතුමනි.
ReplyDeletekeep it up!
බොහොම ස්තූතියි.ඉදිරියටත් සාරවත් ලිපි මගේ බොලොග් අඩවියේන්.නිරතුරු ඔබේ අදහස් පලකරන්න.
Delete