Monday, February 27, 2017

මහළු නගරය; වජීමා

ඉෂිකාවා ප්‍රිෆෙක්චරයේ උතුරු මායිමේ ජපන් මුහුද වෙත නෙරා ගිය කුඩා අර්ධද්වීපයකි. කිලෝ මීටර සියයක් පමන දිගැති මෙය නෝටෝ පෙනින්සියුලා ලෙස හදුන්වනු ලැබේ.
“අද ඔබගේ අධ්‍යන කටයුතු කිරීමට නියමිතව ඇත්තේ වජීමා මිනුසිපල් රෝහලේදීයි. එහිදී ඔබට ආපදා කලමණාකරනයේදී වජීමා මිනුසිපල් රෝහලේ අත්දැකීම් සහ සූදානම පිළිබද දැනුම බෙදා හදා ගන්න නියමිතයි.” උදෑසනස බසයට ගොඩ වීමට පෙර දවසේ සැලසුම පිළිබද සිය කෙටි පැහැදිලි කිරීම කරන වෙදා සං ජපන් බසින් පවසන දෑ ෆුජිමෝටෝ සං යුහුසුළුව ඉංග්‍රීසියට පරිවර්තනය කරයි.
අප රැගත් බසය ජපන් මුහුදට සමාන්තර ලෙස ඇති මාර්ගය ඔස්සේ වජීමා බලා පියඹයි .එක්පසකින් නිශ්චල ජපන් මුහුද සහ වෙරළ තීරයයි. අනෙක් පසින් කුඩා කදුවැටි සහිත ගොඩ බිමයි.
“ ඔබ දන්නවාද මෙම වෙරළ තීරයේ ඇති විශේෂත්වය?” වෙදා සං අසයි. අපේ නඩේ කිසිවකුගෙනුත් පිළිතුරක් නොමැත. වෙදා සං බසයේ රියදුරු මහතාට යමක් පවසයි. සැනින් බසය පාරෙන් ඉවතට ගෙන වෙරළට ඇතුළු කරයි.
“බස්එකේ ඉදන්ම රැල්ල පාගන්න වගේ” අපේ කෙනකු කියයි. දැන් බසය වෙරළ දිගේ මාර්ගයට සමාන්තරව වේගයෙන් ඉදිරියට ඇදේ. මුහුදු රළ බසයේ වදින නොවදින තරම්ය.
“ අන්න ඒක තමයි වෙනස.”වෙදා සං අපට ජපන් මුහුදු වෙරළේ වෙනස අත්දැකීමෙන්ම පහදා දුන්නේ එලෙසය. පය ගැසූවිට දණක් වැල්ලේ එරෙන අපේ වෙරළ මෙන් නොව ජපන් මුහුදු වෙරළ කොන්ක්‍රීට් එකක් මෙන් තදය.
වරින්වර කදුකර වනපෙත් අතරින් විශාල කෙත් වතු මතුවේ. කෙත කෙරවල වන්නේ ගම්මානයකිනි. සියළුම නිවාස අමු දැවයෙන් සාදා ඇති සාම්ප්‍රදායික ජපන් නිවාසය. ඇතැම් නිවාස පිදුරු සෙවිලි කරඇත. බොහෝ නිවාස මහල් දෙකකින් යුක්ත අතර හිමපතනයට ඔරොත්තු දීම සදහා තියුනු බෑවුමෙන් යුත් පලදෙකේ වහළ ඇත. ඇතැම් නිවාස වටා විචිත්‍ර මල් වගාකල කුඩා ගෙවත්තක් ඇත. නවීන නිවාස දැකිය හැක්කේ බොහෝ කලාතුරකිනි. බොහෝ ගම්මාන නිවාස පනහකින් හැටකින් යුක්ත අතර ඇතැම් ඒවා නිවාස දහ පහලවකින් යුත් කුඩා ගම්මානය. ගම්මාන වෙත දිවෙන සියළු පටු මං මාවත් කාපට් අතුරා ඇත.



කනසාවා සිට වජීමා දක්වා දුර  කි. මීටර 160කි. අප ගමන් ගන්නා මෙම මාරග පද්ධතිය වසර කීපයකට පෙර සාදනලද වකකි. ඊට ප්‍රථම වජීමා බොහෝවිට බාහිර ලෝකනේ හුදකලාව පැවත ඇත.
ඇතැම්විට කදුවැටිය වෙරළ තීරය අසලටම පැමිනේ. මෙවැනි කදු මුදුන්වල කි. මීටර ගනන් එකදිගට යෝධ සුළංපෙති සියගනනකි.මේවා විදුලි ජනන ටර්බයිනයන්ය. ජපානය ප්‍රධාන ශක්ති ප්‍රභව හතරක් භාවිත කරයි. තාප, න්‍යෂ්ඨික,  ජල හා සුළං එම ප්‍රභවයන්වේ. ජපන් මුහුද ඔස්සේ හමා එන සුළග මෙම යෝධ සුළං පෙ.ති ආධාරයෙන් විදුලිය බවට පත්කර නෝටෝ පෙනින්සියුලාවේ ප්‍රයෝජනයට යොදා ගැනේ.
සෑම තැනිතලා බිමක්ම වගාකටයුතු පහෝ වාසය සදහා යොදාගනී. කදුකරය වනයටය.

“කදු බෑවුම්වල පාංශු සංරක්ෂණය ස්වාභාවික උවදුරු අවම පකරගැනීමට ජපානයට ඉතාම වැදගත්. විශේෂයෙන්ම නෝටෝ අර්ධද්වීපය ස්වාභාවික උපද්‍රව බහුලව සිදුවන ප්‍රදේශයක්.” අරාකී සං සෙමින් මට විස්තර කරයි.

වජීමා නෝටෝ පෙනින්සියුලාවේ උතුරු කෙලවරේ පිහිටි කුඩා නගරයකි. 2006 වසරේදී යාබද කුඩා නගරයක් වූ මොන්ද් සෙන් සහ පැරණි වජීමා නගර එෟකාබද්ධ කර නව වජීමා නගරය ලෙස හදුන්වයි. නිවාස ඒකක 13296ක් සහ 34750ක  ජනගහනයක් වසන මෙම නගරයේ විශේෂත්වය වන්නේ ජනගහනයෙන් 31.8%ක් එනම් තුනෙන් පංගුවක් වයස අවුරුදු හැටපහ ඉක්මවූ වැඩිහිටි ජනගහනයෙන් යුක්ත වීමය. තරුණ කොටස් අධ්‍යාපන සහ රැකියා අවස්ථා උදෙසා කනසාවා ඇතුළු ප්‍රධාන නගරවෙත සංක්‍රමනය වීම, උපත් අනුපාතය අඩුවීම සහ විශිෂ්ඨ  ‍‍සෞඛය සේවය නිසා ආයුකාලය වැඩිවීම ඊට ප්‍රධාන හේතුවේ.  මේ තත්වය දිගටම පැවතුනහොත් දැන් මහළු නගරයක් වීඇති වජීමාව තව දශක කීපයකින්මළ නගරයක් බවට පත්වනු නොඅනුමානය.




Dr Asela Perera
MBBS(Kelaniya), MSc(Colombo)
Member of International Association of Ladakh Studies

No comments:

Post a Comment