Friday, August 19, 2016

ජාකූ කන්ද


       ශීත මද පවන ගත සිසිලගන්වන නිකිණි මස උදෑසනක ජාකූ කන්ද නගින්නයි අපේ සූදානම. හිමාල කදුකරයේ නිතර දැකිය හැකි ඝණ වළාකුළු, අහස්කුස පුරා පැතිර හිරු එළිය මේච්චල් කරන නිසා හිරු දාහය නොදැනේ. අදුරු වළා විටින් විට මෝදු කලද වැසි වැටීමක් නිතර සිදු නොවේ.
            අද සදුදා දිනයක් වුවද බොහෝ ජනයා මෝල් වීදියේ සැහැල්ලු සිතින් ඉසිඹු සුව විදිනු පෙනේ. විටින් විට ජාකූ කන්ද සරසන මීදුම් සළු ශිම්ලා නගරයට දිස්වන හනුමා ප්‍රතිමාව දෙව්ලොව සඟවනු වැනිය. නැවත නගරය දෙස සිය අනුපමේය දයානුකම්පාව දල්වා මීදුම් අතරින් නෙත් ‍හෙලනු පෙනේ.








මෝල් වීදියේ සිට ජාකූ කන්ද තරණය කළ හැකි ක්‍රම දෙකකි. දෙපයට වාරු ඇත්තන් රීජ්හි පිහිටි සුප්‍රකට ක්‍රිස්තු දේව පල්ලිය පිටුපසින් ඇති පියමඟ තෝරා ගනිති. නැතිනම් ලක්කර් බසාර් සිට ඇරඹෙන ටැක්සි වලින් හෝ පෝනින් පිටේ කඳු මුදුනට යා හැකිය.
            අඩි 8000 ක් උසින් පිහිටි ජාකූ කන්ද ශිම්ලාහි උසම ස්ථානයයි. ශිවාලික් කඳු පංතියේ සුන්දර දසුන් මෙන්ම සංජෝලී නගරයද කඳු මුදුනට ඉතා ලස්සනට පෙනේ. හිමාලය කඳුවැටි අතරින් ඉරසේවය මෙන්ම හිරු බැසයන දසුනද මෙහිදී දැක බලාගත හැකි මනස්කාන්ත දසුන්ය. නමුත් මේ සියල්ලටම වඩා බැතිමතුන් මෙන්ම සංචාරකයින්ද ජාකූ කන්ද තරණය කරනුයේ හනුමා දේවාලය වැඳපුදා ගැනීමට හෝ දැකබලා ගැනීමටය.
            ඇතැම් තැනක කන්ද හැඳින්වනුයේ යාකූ ( Yakhoo ) ලෙසය. කටවහරේදී ශිම්ලා වැසියන් භාවිතා කරනුයේද යාකූ ලෙසය. ඈත අතීතයේ කන්ද යක්ෂ ගෝත්‍රිකයින්ගේ වාසස්ථානයකි. යක්ෂ, යාකූ වී පසුව එය ජාකූ බවට පත්ව ඇති බව පිළිගත හැකිය.
           
           
ත්‍රීවූ නැග්මක් සහිත මංපෙත ඔස්සේ මිනිත්තු 45 කින් පමණ කඳුමුදුනේ පිහිටි හනුමා දේවස්ථානය වෙත ලඟාවිය හැක. ශිම්ලා නගර සීමාව පසුවූ විට මඟ දෙපස පයිනස් සහ දේවදාර කැලයයි. දණ බිම ඇනෙන කන්ද නිසාත්, අඩි 8000 ක් පමණ ඉහළ අහසේ ඔක්සිජන් හීන වීම නිසාත්  ටික දුරක් පියනැඟූ පසු  හදවත ඩක්....ඩක්.... ගා නොනැවතී ගසන්නට පටන්ගනී. පපුවට තද ගතියක් දැනේ. ඉතින් විවේකයක් නැතුව තවත් ඉදිරියට යනවා බොරුය. ඒ සඳහාම මඟ දෙපස තැනින් තැන කොන්ක්‍රීට් හෝ ලී අසුන් පනවා ඇත. තොරතෝංචියක් නැතිව නඩ පසුපස පන්නන වඳුරන්ගේ කරච්චලය හැර වෙන කිසි බාධාවක් වන මැද කෙරෙන ජාකූ කඳු තරණයට නොමැත. අතින් කටින් එල්ලාගෙන ගියොත් වැඩවරදී. ඒකක් ගමන් වාරුවට බාධාවකි. අනෙක වඳුරන්ගෙන් බේරාගනු බොරුය. තිබහට පැන් පැසක් නම් නැතුවම බැරිය.
            පියමඟ අවසන පඩි මඟකි. ඒ මහගිරි දඹේ වැනි අවසාන කොටසේය. දැන් හනුමා දේවාලය දෑතමානයේය. ඒත් හිතේ හදිස්සියට කකුල් මේච්චල් නැත. ගමන පඩියෙන් පඩියටය.
            සියළු වෙහෙස නිමා කරමින් අප මුලින්ම පිවිසණුයේ දෙවොලේ හනුමා ප්‍රතිමාව ළගටය. අඩි 108ක් උසැති හනුමා දකුණතින් යඟදාව දරා ෆයිනස් ගස් අතරින් නැඟී සිට ශිම්ලා නගරය දෙස බලා සිටී. මුළු පුතිමාවම තැඹිලි වර්ණාපිතය. මෙවැනි විශාල හනුමා ප්‍රතිමා ලොව බොහෝ ඇත. නමුත් ලොව ඉහලින්ම පිහිටි හනුමා ප්‍රතිමාව මෙයයි.
    
            අමාරුවෙන් කන්ද නැඟලා ආවත් හනුමා ප්‍රතිමාවේ උජාරුව දැක්කාම ලංකාවේ අපිට මදක් කේන්තිගියේ ඇයිදැයි මා කල්පනා කරන්නට වීමි. රාමා රාවණ යුගයේ සිටම පැවත එන ඓතිහාසික කෝන්තරය ජානවලින්ම අපට උරුම වී ඇතුවාට නිසැකය. අනෙක ජාකූ කන්දේ හනුමා කෝවිලක් තැනීම ලංකාවටම සෘජුවම සම්බන්ධය.
            රාමා රාවණා යුද්ධයම ජයටම කෙරෙන අතරතුර රාවණගේ හී පහරින් රාමාගේ සොයුරු  ලක්ෂ්මන් මාරාන්තික තුවාල ලබයි. ඔහු සුව කර ගැනීමට නම් හිමාලයේ පමණක්ම වැවෙන ජීවනී ඖෂධ
            
පැළෑටිය අවශ්‍ය බව ජීවක තෙමේ දන්වා සිටී. ඒ අනුව හනුමන්තා වහා හිමාලය වෙත පිටත්කර එවයි. ඒ එන අතරතුර හනුමන්තා වෙහෙස නිවා ගැනීමට ජාකූ කන්දේ මඳක් නතරව සිටී. ඇතැම් මූලාශ්‍රවල හනුමාගේ මිරිවැඩි සඟලින් එකක් මෙහි වැටුණු බව සඳහන්වේ.
            කෙසේ නමුත් හිමාලය පීරා ජීවනී පැළෑටිය සෙවූ හනුමා එය හරි හැටි හඳුනාගත නොහැකි වූ තැන පැළෑටි ඇතැයි සැලකෙන කන්දම කෝන්පිට්ටුවක් සේ උදුරාගෙන ලංකාවට ගෙන ගියේලු.
            හනුමා දෙවොලේ ඉතිහාසය අප්‍රකටය. දැනුවත් ඉතිහාසය ඇරඹෙනුයේ 1817 සිටය. ඉංග්‍රීසි ජාතික සංචාරකයකුගේ දින සටහනක දැවයෙන් කළ කුඩා දේවාලයක් තිබූ බව සටහන්වේ.
            හනුමා ප්‍රතිමාව පසුකර කෙටි පියඝැට පෙළකින් දේවාල භූමියට පිවිසේ. කළුගල් ඇතිරූ භූමියේ ප්‍රධාන කෝවිල සහ පරිවාර කෝවිල් දෙකක් ඇත. මෙම ගොඩනැගිලි එතරම් විශාල නොවේ. ඒවායේ ඇත්තේ හින්දු ආභාෂයට වඩා චීන ආභාෂයයි.



 ශාන්ත පරිසරය සිත නිවයි. හාත්පස දසුන සුන්දරය. පාවහන් ගැලවීමට සහ සුරැකීමට වෙනම කුටියක් ඇත. බැරිවෙලාවත් පාවහන් මිදුලේ තැබුවහොත් ක්ෂණයකින් අතුරුදහන්වේ. ඒ වදුරන්ගේ වැඩය. මිරිවැඩි සඟලක සලකුණක්වත් සොයාගත නොහැක.
            ප්‍රධාන දේවාල පරිශ්‍රයේ රාම රාවණා යුද්ධයේ නොයෙක් අවස්ථා නිරෑපිතය. හනුමා හිමාලයේ සිට ඖෂධ පැළෑටි සහිත කඳුගැටය දකුණතින් දරාගෙන අහසින් ගමන් කරන අයුරු දැක්වෙන සිතුවම ඒ අතරින් වඩාත් සිත්ගනී. තවත් සිතුවමක තුවාල වූ ලක්ෂ්මන් පිරිවර සමඟ බිම වැතිර සිටී. හනුමා ලංකාවට ගිනි තබන අයුරු තවත් සිතුවමක නිරූපිතය.
            දුෂ්රා උත්සව සමයට ජාකූ කන්ද අතුරු සිදුරු නැතිව බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන්නේලු. දෙවොල වන්දනා කර ඉන් පිටවන සෑම බැතිමතෙකුම එහි ඇති ඝන්ඨාව නාද කිරීමට අමතක නොකරමි. ඒ සියළු සුභ ප්‍රාර්ථනාද සමගිනි.



Dr Asela Perera
MBBS MSc (Medical Admin)

Member of International Association for Ladakh Studies




   +

No comments:

Post a Comment