Thursday, November 30, 2017

රෑ දොලහට බර්ලිනයට

බෙඩ්ලිවෝ සමුළුව අවසන පිරිස විසිර යන්නටවිය. ටිබෙට් මිතුරා ලොබ්සාංග්  අදදින පොස්නාන් හී ගතකර පසුදින වොර්සොව් බලායාමට නියමිත විය. බර්ලිනයට පය ගහන්න තියෙන ආශාවත් දුර ගමනක් ජර්මන් දුම්රියකින් යන්න තිබුන බලාපොරොත්තුවත් යන දෙකම සඵල කරගන්න මා ආපසු ෆ්‍රැරැන්ෆර්ට් යන ගමන බර්ලිනය හරහා සැලසුම් කරගෙනයි තිබුනෙ. පොස්නාන් සිට බර්ලින් බලා යාමට නියමිත පොල්ස්කි බස් සමාගමේ සුඛෝපභෝගී බසය ඩොර්සෙක් බස්නැවතුමට රත්‍රී හතයි පහට සේන්දුවුනා. 
වොංග්චුක් ලාමාත් ලඩාකීය මිතුරකු වුන ලොබ්සාංග් ඇතුළු තවත් ලඩාකීය තරුණියන් තිදෙනකුත් මෙම බසයෙන්ම බර්ලින් යන්න නියමිත විය. බර්ලිනයෙන් ප්‍රංශයටත් එතනින් ස්විට්සර්ලන්තයටත් යන්න ඔවුන් සැලසුම් කර තිබුණි.
යුරෝපය හරහා දිවෙන නැගෙනහිර බටහිර අධිවේගයට පිවිසි බසය බටහිර දෙසට වේගයෙන් ඇදේ.ලෝකයට මුලින්ම අධිවේග මාර්ඝ හදුන්වා  දුන්නෙ ජර්මනියයි. ඒ හිට්ලර්ගෙ තෙවන රෛයිච් පාලනය සමයෙ. ජර්මනියෙ අධිවේග හදුන්වනුයේ ඔටොබාහ්න් autobahan  නමිනි. මේවනවිට කිලෝ මීටර 12933ක ඔටෝබහ්න් පද්ධතියක් ජර්මනිය සතුය.  අධිවේගය ඔස්සේ ජර්මනිය දෙස සිට බීඑම්ඩබ්ලිව්, වොක්ස්වැගන් කාර් වෑන් පටවගත්තු මෝටර් රථ ප්‍රවාහනය කරන  ලොරි  බොහෝමයක් පෝලන්තය දෙසට ගමන්කරන්නෙ ජර්මනියෙ කාර්මික දියුණුව ලොවට කියාපාමින්. මේ දිනවල හැන්දෑවට පෝලන්තයට ඇදහැළුන වැස්ස මේ වනවිට නතරවී ඈත. සිතිජ ඉම තෙක් පැතිරි වගාබිම්වලට ඉහලින් රත්පැහැ වෘත්තයක් සේ දීප්තිමත් හිරු ක්‍රමායන් අස්ථංග ගතවන සුන්දර දසුන රසවිදින අතරේ මා දෑසද නිදිසුව සොයන්නටවිය.
මධ්‍යම රාත්‍රී දොළහ වනවිට අප බර්ලිනයේ මධ්‍යම බස්නැවතුම්පොළට සේන්දු වුනෙමු. ලඩාක් මිතුරන් මගෙන් සමුගෙන ඔවුන්ගේ හොටලය බලා පිටත්ව යාමට කුලී රියකට ගොඩවුනෝය. බස්නැවතුමෙන් විටෙක බස්රථ ගමන් අරඹයි. විටෙක ගමනාන්තය කරා එලඹෙන බස්රථ ලගාවේ. රෑ මැදියම බර්ලිනය ශීතලය. නමුත් මීට හැත්තාදෙවසරකට පෙර එනම් 1945 මෙවන් දිනවල බර්ලිනය ගිනිගෙන දැවෙමින් තිබූ අයුරු මට සිහිවන්නට විය. බස්නැවතුම පිහිටියේ බටහිර බර්ලිනයේ මැසුරෙනාලී මාවතයේය. අවසන් මොහොත දක්වාම හිට්ලර් ගෙ අණසක යටතේ පැවති බර්ලින් ගුවන් විදුලි සේවය පිහිටියේද මේ ආසන්නයේමය. මට මහා හුදකලාවක් දැනෙන්නට විය. ෆ්‍රැරැන්ක්ෆර්ට් බලායාමට ඇති දුම්රිය පිටත්වනුයේ බර්ලීන් මධ්‍යම දුම්රිය පළෙනි. ජර්මන් බසින් එය හදුන්වනුයේ හො‍ෆ්බැන්හෝෆ් නැතිනම් HBF ලෙසිනි. සුවිසල් බර්ලින් නගරයේ මධ්‍යම බස්නැවතුමේ සිට මධ්‍යම දුම්රිය පොළට කිලෝ මීටර 15කට වැඩි දුරක් ඇත. කුලී රථයක යතොත් රුපියල් හත්අට දහසක් වැයවේ. දුම්රියෙන් යතොත් වැයවනුයේ රුපියල් දෙතුන් සියයකි. මා කලින් සූදානම් කරගෙන පැමිණි ගමන් සටහන අතට ගත්තෙමි.


බර්ලිනයේ සැරිසැරිය හැකි දුම්රිය දෙවර්ගයකි. එකක් එස් බාන් S bahn ය. එය භූ මත දුවන දුම්රියයි. අනෙක යු බන්’‍U bahn නැතහොත් භූ ගත දුම්රියයි. මා පලමුව එස් බාන් දුම්රියපොල සොයාගත යුතුය. එහි සිට වෙස්ට් කෘවිස් දුම්රිය ස්ථානයට ගොස් එතනින් වෙනත් දුම්රියකට මාරුවී බර්ලින් එච්බීඑෆ් දුම්රිය ස්ථානයට යා යුතුය. මා සිතට චකිතයක් දැනෙන්නට විය. ඉංග්‍රීසි ටිකක් දන්න ජර්මානුවකු සොයාගැනීම ලේසි පාසු නොවනු ඇත. ඇරත් බොහෝදෙන සිටිනුයේ මධුවිතින් සප්පායම්වය. ඇතැම්හූ මත්පැන් බෝතලය අතේ තබාගෙනම පානයකරති. රුපියල් හත්අට දහක් වියදම්කර කුලී රියක යම්දෝ පාර අසාගෙන දුම්රියෙන් යම්දො කියා මා මොහොතක් දෙගිඩියාවෙන් කල්පනාකලෙමි. සැබෑ සංචාරකයින් මුහුණපා ඇති අත්දැකීම් වල හැටියට මෙය සුළු අභියෝගයක් නොවෙදැයි කල්පනාකල මා ගමන්මළුත් රැගෙන රෑ දොළහට බර්ලිනයේ මහමගට පිවිසුණෙමි.


කීප දෙනකුටම අත ඇති ගමන් සටහනේ S bahn යන්න පෙන්වීමෙන් පසු හස්ත මුද්‍රාවෙන් දුන් උපදෙස් අනුව දුම්රිය පළ ඇති ඉසව්ව දැනගතිමි. පදික මාරු ඔස්සේ පුළුල් වීදිවල එහා මෙහා මාරුවෙමින් කිලෝ මීටරයක් පමණ  ගමන්කල පසු දුම්රිය පල ප්‍රවේශය සොයා ගතිමි. කඩිනමින් දුම්රිය පොළට ප්‍රවේශවූ මා සැනසුම් සුසුමක් හෙළුවෙමි. සිතේ නැගෙන උද්දාමය මොහොතක් රස විදිමි. මා පළමු පියවර ජයගතිමි.
රෑ මැදියමෙත් වේදිකාවට සෑම මිනිත්තු කීපයකට වරක්ම දුම්රියක් ලගාවේ. කඩිගුලක් සේ නොවූවත් මොහොතකට වේ දිකාව කලබලකාරී වේ. සැලකිය යුතු පිරිසක් දුම්රියෙන් බසිති. එවැනිම පිරිසක් ගොඩවෙති. තරුණ ලළණාවෝ කිරිල්ලියන් සේ නිදහසේ සැරිසරති. දෙනෙත් රස ගුලාවක සැරිසරයි. සලෙලුන් සොයා සැරිසරන ලදුන් බර්ලිනයේ මැදියම් රැයේ සුලබය. එවන් උකුසු නෙත්සරක කෙලවර මා සිටිනවග මාගේ මනසට පසක් වූයේ මසැස මදක් මේච්චල් වූ පසුවය. වෙස්ට් කෲව්ස්අකුණු සරක් මෙන් මා හිසමත පත්විය. හිත්පිත් නැති ප්‍රවේශපත්‍ර යන්ත්‍රය ඉදිරියේ අසරණ වූ මාහට පිහිටට පැමිණියේ පදමට වෙරිවූ තායි පෙනුමැති කාන්තාවකි. වඩා උස්නොවූ මදක් තරබාරු ඇගේ මුහුණ සදක් සේ රවුම්ය.වයස පනහකට වැඩි යයි අනුමාන කල හැක. අමුඅමුවේ ගිලදමා ඇති මධ්‍යසාර ගද ඈ කථාකරන සෑම විටම මුඛයෙන් මාවෙත විසිරේ.   ඈ වැනි වැනී ජර්මන් බසින් කියන දේ මට නොතේරේ. මා ඉංග්‍රීසියෙන් කියන දේ ඇයට නොතේරේ. අප දෙදෙනාටම පොදු වචනය වෙස්ට් කෲව්ස්පමණි. පල රහිත මේ ව්‍යායාමය මා අත්හලවිට මොනවදෝ කියමින් වැනිවැනී මා අසලම ඈ ගැවසෙන්නට විය.
කීපදෙනකුගෙන්ම උදව් ඉල්ලුවද ඉංග්‍රීසි ජර්මන් ප්‍රාකාරය නිසා ඔවුන් මගහැර යන්නටවිය. පියගැටපෙල බැස සුන්දර තරුණියක වේදිකාව දෙසට කඩිසර ගමනින් පිය නගනුයේ ඔය අතරය. උරහිසතෙක් කඩාහැලෙන තඹ කෙහෙරැළි දෙපා රිද්මයට ලෙළදේ. නිල්පැහැ ඩෙනිම් කලිසමත් තද සහ ලාරත්පැහැ කොටු බ්ලවුසයත් ඇගේ සුන්දරත්වය තවත් ඔපනංවයි. පුළුල් නිතඹෙත් පිරිපුන් දෙකලවයෙත් මස්පිඩු ඩෙනිමෙන් ලබාදී ඇති අවකාශය මදිව සටන්කරනවා වැනිය. මා ඇය හා මදහස පෑවෙමි. කහපැහැ සුන්දර මුහුණේ සපුමලක් සේ ලා රත්පැහිහැ සිහින් දෙතොල් විහිදා ඇයද මදහස පෑවාය. සුනංගුනොවී මා අතඇති ගමන් සටහන ඇ දෙසට පෑවෙමි.
“ මේ එන දුම්රියෙන් ඔබට වෙස්ට් කෲව්ස් වෙත යන්න පුළුවන්ඇය කිංකිණි හඩින් ව්‍යක්ත ඉංග්‍රීසියෙන් පවසයි.
මෙතැන ඉදල තුන්වැනි දුම්රිය ස්ථානය  වෙස්ට් කෲව්ස්. එතැනින් ඔබ වච්බීඑෆ් යන දුම්රියකට මාරුවෙන්න ඕන. මෙ දුම්රියට නගින්න. මා යන්නෙ අනෙක් පැත්තට.  ඈත එන දුම්රියක ප්‍රධාන ලිම්පුවේ ආලෝක කදමිභය වේදිකාව දෙසට පතිතවන අතරේ ඇය පවසයි.
මම ප්‍රවේශපත්‍රයක් අරගත්තෙ නෑමම පැවසුවෙමි.
“ ඔබට යන්න තියෙන්නෙ දුම්රිය ස්ථාන තුනයි. මේ වෙලාවට බර්ලිනයෙ දුම්රිය ප්‍රවේශපත්‍ර එතරම් වැදගත් නෑ.දුම්රිය වේදිකාවේ නතරවේ.
මා නැවතත් ඈ දෙස බැළුවේ දෙගිඩියාවෙනි. කරුණාකරල නගින්න. ඔබට කරදරයක් නෑ  දුම්රිය මැදිරිවල දොරවල් ස්වංක්‍රීයව දෙපසට විවරවේ. තවත් කල්පනා කරකර ඉන්න කාලයක් නොමැත. ඈ කෙරේ විශ්වාසය තැඹූ මා දුම්රියට ගොඩ වුනෙමි. මොහොතින් දොරවල් වැසිනි. මා වීදුරු කවුළුව අතරින් වේදිකාවේ සිටින ඇය දෙස බැළුවෙමි. ඉතා ලෙංගතු දෙනෙතින් මන්දාස්මිතව ඇයද මා දෙස බලා සිටී. දුම්රිය ක්‍රමයෙන් ඉදිරියට ඇදේ. ඇය විජ්ජුලතාවක සේ මා දෑසින් ගිලිහී ගියායා.


මා මැදිරිය දෙසට හැරුනෙමි. ලගම අසුනේ යෟවනියන් තිදෙනකු සමග යෟවනයින් දෙදෙනකි. එක් කනක රවුම් රිදී කරාබුවක් පැළදි තරුණයාගේ හිසකේ දකිනවිට මට සිහිවන්නේ කූරු විදින්න ආසන්න ඉත්තෑවෙකි. ඔහු අතරැදි අඩක් හිස්වූ බියර් බෝතලය දකිනවිට මගේ උගුර කටද සිසිලසකින් තෙත්වන්නාසේ දැනින. අන් අය අත කෝපි බදුන්ය. පිරිස හඩ තලමින් කොක්හඩලමින් යන විදිහට වෙස්ට් කෘව්ස් ගැන අසන්නට මට හිතනොදේ. අ‍නෙක්පස සිටිනුයේ තරුණයන් පිරිසකි. ඔවුන් හිස් ඉදිරියට නවාගෙන බරපතල සාකච්ඡාවකි. එක් අයකු කළු කබායක් පැළද සදිටින කඩවසම් අයෙකි. තඹ හිසකේ සීරුවට පසෙකට පීරා ඇත. දෙනෙතේ පෙනුම උදාරය. රෝසපැහැ දෙකම්මුල්, පුළුල් හකුපාදා, සිහින් තොල් සගල ඔහුගේ ආර්යය ජර්මානු පෙනුමට දෙස් තියයි. සෘජුකායෙන් හිදගත්විට අතරැදි විස්කි බොතලය දිටිමි. නමුත් ඔවුන්ගේ සංවරශීලී හැසිරීම මා දිරිමතච් කලේය. වෙස්ට්කෘව්ස්මාගේ සටහන ඔහුවෙත පෑවෙමි.
මෙකී නොකී අයුරින් මග අසාගෙන අළුයම එකයි තිහට පමණ මා අවසන බර්ලින් මධ්‍යම දුම්රිය නැවතුම් පළට පැමිණියෙමි.පලමුව ගමන්මළුත් ඇදගෙන දුවන පියගැට ඔස්සේ ඉහළ පහළ නගිමින් දුම්රිපළ පරිශ්‍රයපුරා සැරිසැරුවෙමි.  දුදුම්රියපළේ එතරම් සෙනගක්නැත. ෆ්‍රැන්ක්ෆර්ට් බලා යාමට නියමිත දුම්රිය පැමිනීමට නියමිත උදේ 6.30ටය. සිතට දැනෙනෙ අස්වැසිල්ලත්, නිරතුරුව මතුවෙන සංචාරක කුතුහලයත් දුමිරියපළ අවට රවුමක් ගසන්නට මා පෙලඹවාලයි. පුළුල් වීදියක් ඔස්සේ ඉදිරියට ඇදුනෙමි. විටින් විට ඉගෙලෙන මොටර් රථයකි. වීදියේ පාළු මකනුයේ විටින් විට හමුවන නවයොවුන් වියේ සමනල සමනලියන් රෑන්ය. කෑගොස්සන් ගසමින් උසුළු විසුළු කරමින් ඔවුන් මේ යන්නේ කොහෙද? ඵක් සමාජ ශාලාවක සිට තවත් සමාජ ශාලාවකට යනවා වියහැත. නැතිනම් සමාජ ශාලාවක සිට නිවෙස් බලා යනවා වියහැක. මෙවැනි ගැටවරයින්ට මැදිව පහර කෑමට ලක්වූ නොයෙක් කළු ජාතිකයින් පිලිබද කථාන්දර මා මනසේ හොල්මන් කරන්නට විය. රෑ මැදියම තනිපංගලමේ බර්ලිනයේ පාළු වීදි ඔස්සේ ඉබාගාතේ යනවාට වඩා දුම්රිය පලට වී සිටීම යෙහෙකැයි සිතූ මා ආපිට හැරුනෙමි.
බර්ලීන් මධ්‍යම දුම්රිය පළ මහල් හතකි. බටහිර හා නැගෙනහි ප්‍රවේශ ද්වාර දෙකකි. මීන් මොන ප්‍රවේශයේ සිට බැලුවත් දුම්රිය පළ දිස්වනුයේ වීදුරු ගෝලයක් ලෙසය. මීටර් 60ක් උසය. දිනකට මගීන් ලක්ෂ තුනක් ගමන් පහසුව සලසාගන්නා මෙය යුරෝපයේ විශාලතම දුම්රිය ස්ථානයයි.  මෙම නව බර්ලින් මධ්‍යම දුම්රිය පළ විවෘත්ත වුයේ 2006 වසරේය.  පලමු මහලේ s bahn දුම්රිය මාර්ග නැගෙනහිර බටහිර දෙසට දිවේ. හත්වන මහලේ උතුරු දකුණු ප්‍රධාන දුම්රිය මාර්ගය ඇත. මැක්ඩොනල්ඩ්, පීට්සා සිට වර්ජීන් ප්‍රකාශන අලෙවිසල දක්වා ලොව ප්‍රධාන වෙළදනාම බොහෝමයක අලෙවිසල් ඇත.




වේදිකාව කෙලවර අසුනකට බරවූයේ මද ඉසිඹුක් අවැසියැයි සිතුන නිසාය. උතුරු දකුණු මාර්ගයේ දුම්රිය නියමිත වේලාවට අදාල වේදිකාවට ලගාවේ. රතුපාට දෙමහල් දුම්රිය සීඝ්‍රගාමී දුම්රියය. සුදුපැහැ සිලින්ඩරාකාර බුලට් දුම්රිය අන්තර් නගර සීඝ්‍රගිමී දුම්රියෝය. යුරෝපයේ ප්‍රධාන නගර යා කරමින් ශබ්දයේ වේගයෙන් මේවා දුවන හැටි දකින විට සුද්දා තවටික කලක් අපේ රටේ සිටියානම් කියා කෙනෙකුට සිතෙනු ඇත. වේදිකාවේ විශාල ඩිජිටල් ඔරලෝසුවේ අළුයම තුන පසුවේ. එකතැන සිටිනවිට සිරුර ගල්වන ශීතලකින් වෙලීයයි.විසූප දස්සනයන් බලමින් වේදිකාවේ එකොන මෙකොන මදක් ඇවිදින විට ලේගමනයත් සමග සිරුර මදක් උණුසුම් වේ. නැවත මද නින්දකි. ඇහැ පියෙවනවිටම සිරුර ගල්වෙන සීතල. නැවත සක්මන. 



උළුයම පහ පමණ වනවිට බර්ලින් නගරය අදුර පලවාහරිමින් අරුණාලෝකයේ පහස ලබන්නට පටන්ගනී. මා සීතල නොතකා වේදිකාවේ කෙලවර විවෘත්ත කොටසේ සිට අරුණාලෝකයෙන් පිබිදෙන නගරයේ 
සුන්දරත්වය වදිමි. නගරය පුරා දැල්වෙමින් ඇති පහන් ක්‍රමයෙන් නිවී යයි. රත්පැහැ, සුදු පැහැ, කහපැහැ විසිතුරු ගොඩනැගිලි අදුර අතරින් මතුවනුයේ යෝධයන් මෙනි. තවත් සුළු මොහොතකින් ස්විට්සර්ලන්තයේ බාසෙල් නුවර බලා යන අන්තර් තගර සීඝ්‍රගාමී බුලට්ටුව පැමිනෙනු ඇත. පැය හතරක් පුරා ජර්මනියේ සුන්දරත්වය විදිමින් මා ෆ්‍රැන්ක්ෆර්ට් බලා ගමන් කරනුඇත.

Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association for Ladakh Studies

2 comments:

  1. බැලුවහම ටිකට් එච්චර වැදගත්ම නෑනෙ. කොහොම නමුත් මේ සටහන නම් මරු. අර ගෑනු ළමයාත් හරි හොඳ කෙනෙක් වගේ.

    ReplyDelete
  2. මම හොදින් ඔබේ ලියමන රසවින්දා . ප්‍රායෝගික ගැටළු ලියන එක හොදයි . අන්තර්ජාල තොරතුරු වල ඕව අඩංගු නොවෙන නිසා .

    ReplyDelete