හනුමා ලංකාව ගිනි තිබ්බේ රාමායනයෙ. ඒ
ඵෙතිහාසික පුරා වෘත්තයක. නමුත් මෙදා ගෝර්ටන් මාළිගය ගිනි තිබ්බේ හැබෑවටම. වඳුරන්
භාරතයේ දේවත්වයේ ලා සැලකේ. එනිසා කොපමණ හිරිහැර කරදර තිබුණත් වඳුරාට හිංසා පීඩා
නොකෙරේ.
ශිම්ලා
හි මෝල් වීදියේ පෞරාණික චාරිකාව ඇරඹෙන්නේ ඕපාදූප තුඩුවේ Scandal Point සිටය. ගමන දෙපයින්ය. හෙරිටේජ් වෝක් කියන්නේ ඒ
නිසාය. මුළු චාරිකා දුර කිලෝ මීටර 2.5 කි.සිහින් මීදුම අතරින් පහලින් ලෝවර් බසාර්
වීදියේ කඩපෙල දිස්වේ. උදෑසන නිසා තවම කඩ සාප්පු විවෘත්තව නැත. පයිනස් තුරුහිස්
අතරින් ඈත දුම්රියපලේ පුංචි කෝච්චිය කල්කා බලා ගමන් අරඹන්න ලකලෑස්තිවේ. මධ්‍යම තැපැල් හල, ශාන්ත ඇන්ඩෘ දේවස්ථානය, කලිබාරි
දෙවොල සහ රේල්වේ බ්‍රෝඩ් ගොඩනැගිල්ල ආදිය නරඹා අප ගෝර්ටන් මාළිගයට පැමිණියෙමු.
වීදිය දෙපස ඇති ගොතික් මාදිලියේ
ගොඩනැගිලිත් සෞම්‍ය දේශගුණයත් ස්කොට්ලන්තයේ කදුකර කුඩා නගරයකට ඔබ රැගෙන යයි.
අතීත
වගතුග නොදැන සංචාරක ස්ථාන නැරඹීම හරියට ලුණු ඇඹුල් නැති සම්බෝලයක් කනවා වගේ නිසා
පුරුද්දට වගේ කලින්ම තොරතුරු ටිකක් රැස්කරගෙන සිටියෙමි. මාළිගයේ වර්තමාන භාරකරු
ලෙස කටයුතු කරන හෙමින්දර් භරිද්වාජී මහතා මගේ දැනුමට ලුණු ඇඹුල් පදමට යෙදූ නිසා
අපගේ ගොර්ටන් නැරඹුම් චාරිකාව වඩාත් පරිපූර්ණ විය. ක්‍රිකට් ලෝලියෙකු වන හෙමින්දර්
මහතා උස හීන්දෑරි පුද්ගලයෙකි. නිතර මුවග රැදි සිනහව ඔහුගේ ප්‍රසන්නබව ඔපනංවයි. අප
ශ්‍රී ලංකාවෙන් බව දැනගත් විට ස්වේච්ඡාවෙන් ම අපට මඟ පෙන්වන්නට හෙමින්දර් මහතා
ඉදිරිපත් විය. ගමේ පාසැලක එලිමහනේ කෙරෙන පාඩමක් සිහි නංවමින් දැන් අප ඔහුවටා අඩ
කවාකාරව සිටිමු.
සුන්දර තුරු සෙවනක අටසිය පනහ දශකයේ දී පමණ
ඉදිවුන සුවිසල් නිවසකි. නිවස ඉදිකලේ එවකට ඉන්දීය සිවිල් සේවයේ යෙදී සිටි ගෝර්ටන්
මහතාය. “ගෝර්ටන් මාළිගව” නම ඊට තැබුණත් සැබවින්ම එය මාළිගාවක් ම නොවිණි.
නමුත් එය ‘තුන්කල් බලා තැබූ නමක්’ මට
සිතුනේ අද එහි විරාජමාන බව සහ විශාලත්වය දකින විටය.
කලින්
කල කීප දෙනෙකුගේ ම අතින් අත ගිය ගෝර්ටන් නිවස අවසන ජේම්ස් වෝකර් අතට පත්විය. ඔහු
එය නගර පරිපාලනයට පැවරුවේ යුරෝපීයනට සහ මිශ්‍ර සුදු ජාතීන්ට රෝහලක් තැනීම සඳහාය. ඒ
උනත් වැඩේට තැනේ පිහිටීම පරහට හිටි නිසා ශ්‍රීමත් වෝකර් ට වෙනත් තැනක් සොයා ගැනීමට
සිදුවිය. මෙවර එය මිලට ගත්තේ ඉන්දීය රජයයි. ඒ 1900 දී ඉන්දීය රුපියල් එක්ලක්ෂ විසි
දහසකටය. රජය සිය පරිපාලන කේන්ද්‍රස්ථානය නොහොත් මහලේකම් කාර්යාලය තැනීමට මෙය තෝරා
ගන්නා ලදි. ඒ සඳහා අවශ්‍ය ගෘහ නිර්මාණ කාර්ය භාරදුන්නේ ශ්‍රීමත් සැමුවෙල්
ස්වීන්ටන් ජාකෝබ් මහතාටය.
ජාකෝබ්
මහතා සිය වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් ගතකර තිබුණේ රාජස්ථානයේ ජායිපූර් වලය.
නවගොතික් සහ රාජස්ථාන ගෘහ නිර්මාණ ශිල්පයේ මනා සුසංයෝගයක් ලෙස ගෝර්ටන් මාළිගය
ඉදිවන්නේ ඒ අනුවය.මාළිගයේ සඳළුතල දකින විට මට ජායිපූර්වල මහරාජා මාළිගය සිහියට
නැඟුණි. ඒ සඳහා යොදාගෙන ඇති ආරුක්කු සහ අත්වැට ආදිය රාජස්ථාන ගෘග නිර්මාණ කලාවට
සෘජු නෑකම් කියයි.
“වර්‍ග අඩි 12400ක විශාලත්වයක් ඇති සිව්මහල්
ගොඩනැගිල්ල සාදා නිමකළේ වසර තුනක් ඇතුලත” හෙමින්දර් ජී පැහැදිලි කරයි.
“සිමෙන්ති භාවිතා කරල නෑ. කොන්ක්‍රීට් කණු
කිසිවක් නෑ. කළුගල් එකිනෙක බැඳීම සඳහා විශේෂ හුණු සහ මැටි මිශ්‍රණයක් භාවිතා කරලා
තියෙනවා”යැයි පවසනවිට හෙමින්දර් මහතාගේ මුහුණට
නැගෙනුයේ අභිමානවත් පෙනුමකි.
අපේ
රජ දරුවෝ සිමෙන්ති කොන්ක්‍රීට් නොමැතිව සුවිසල් මාළිගා තනා ඇති අපූරුව කියන්නට
මටත් සිත් විණි.
“මාළිගයට ප්‍රවේශ දොරටු හතරක් තියෙනවා.
අතුපතුගාන, ශුද්ධ පවිත්‍ර කරන ස්වදේශික කම්කරුවන්
ට අමතරව වෙනමම ප්‍රවේශ දොරටුවක් තියෙනවා.”හෙමින්දර් ජී ගේ මුහුණ මදක් අඳුරුවෙනු දුටුවෙමි.
“බ්‍රිතාන්‍ය පාලන සමයේ දී මෙම ගොඩනැගිල්ල
ඉන්දියානුවන්ට සහ සුනඛයින්ට තහනම් ප්‍රදේශයක්” තවත් වැදගත් ස්ථානයක් වෙත අප කැඳවාගෙන යන අතරතුර ඔහු පවසයි. ඔහු නතර
වූයේ විශාල කළුගල් අතුරා ඇති ස්ථානයකය.
“මෙතන තියෙනවා ලීටර් 30000ක ධාරිතාව ඇති
භූගත ජල ටැංකියක්. ඊට ජලය රැස්කල සැපයුම් මාර්‍ග අද සොයාගැනීමට අසීරුය.
1905
දී යටත්විජිත ආණුඩුව සිය නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය, මුදල් සහ ව්‍යවස්ථා සම්පාදන යන දෙපාර්තමේන්තු මෙම ගොඩනැගිල්ලේ
ස්ථාපනය කර ඇත.
“1939 දී දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමඟ එතෙක්
පැවති වසන්ත සමයේ දී අගනුවර දිල්ලියේ සිට ශිම්ලා වලට මාරු කිරීම නතර වූණා. 1942 වන
විට යුද්ධයේ බලපෑමත්, රටේ උද්ගත වෙමින් පැවති නිදහස් අරගලයත්
නිසා බ්‍රිතාන්‍යයන් සුළු කාර්යමණ්ඩලයක් පමණක් ගෝර්ටන් මාළිගයේ රඳවා ශීම්ලා වලින්
ඉවත්වුණා.” හෙමින්දර් ජී පැහැදිලි කරදෙයි.
මෙම ස්ථානයට ඇතුළු වීමට උත්සහ කළ කීප
අවස්ථාවක දීම එහි මුරකරුවන් විසින් පන්නා ගනු ලැබූ කොළු ගැටයා අද එහි භාරකරු වී
ඇතුවා පමණක් නොව ගෝර්ටන් මාළිගය පිළිබඳ විශේෂිත දැනුමැති පුද්ගලයකු ද වීම දෛවය
විසින් සිදුකළ දෙයක් ද? අධිෂ්ඨානය සහ කැපවීම විසින් ඉටුකළ
දෙයක් දැයි මට සිතා ගත නොහැක.
අද
මෙම මාළිගය හඳුන්වනු ලබන්නේ හිමාචල් ප්‍රාන්ථ ගිණුම් ජනරාල් කාර්යාලය ලෙසය. මාළිගය
වටාම දැවීගිය වහළ කොටස් හා දොර ජනේල කොටස් ය. වහළයේ කම්කරුවන් පිරිසක් පිළිසකර
වැඩවල නිරතව සිටිති.
“මීට මාස තුනකට පමණ පෙර මෙම මාළිගයේ ගින්නක්
ඇතිවුණා. රාත්‍රීයේ ඇතිවුණ ගින්න නිසා මාළිගයේ වහළයේ විශාල ප්‍රදේශයක් ගිනිබත්
වුණා.” සේවකයින්ගෙත්, ප්‍රදේශයේ ජනතාවගේත් ගිනිනිවන අංශ වල කැපවීමත්
නිසා ගින්න පාලනය කරගත හැකි විය. මේ නිසා සිදුවීමට ගිය විශාල විනාශයක් වැළකිනි.
“ගිනි ගන්න හේතුව මොකක්ද?”
“විදුලි කාන්දු වීමක්. වඳුරෙක් සෙල්ලමට වයර්
දෙකක් එකට අමුණල”
හනුමා
ගොර්ටන් මාළිගය ගිනි තැබුයේ එලෙසය.
නැරඹුම්
චාරිකාව අවසන හෙමින්දර් ජී ඔහුගේ රාජකාරි කාමරයට අප කැඳවා ඉස්තරම් කිරිතේ එකකින්
අපට සංග්‍රහ කළේ අප අතර ගොඩනැඟුන මිතුදම සදානුස්මරණය කරමිනි. පවුලේ තොරතුරු ඔහු
පවසනුයේ බොහෝ සතුටිනි. හෙමින්දර් ජී ජීවිතයේ මෙතෙක් ආ මග ගැන සතුටුවන පුද්ගලයෙකි.
කෙදිනක හෝ ලංකාවට පැමිණීමට ඔහුගේ ආශාවක් ඇත. ආගිය තොරතුරු කථාබහෙන් පසු අප එකිනෙකා විවිධ සුළු සුළු තෑගිබෝග හුවමාරු
කරගත්තෙමු. හෙමින්දර ජී සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සිත් හී දරාගෙන අප ගෝර්ටන් මාළිගයෙන්
සමුගත්තෙමු
Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association for Ladakh Studies
ශිම්ලාවේ නවාතැන් පහසුකම් එහෙම කොහොමද? මමත් යන්න ආසාවෙන් ඉන්න තැනක්. විශේෂයෙන්ම Toy train එකේ යන්න කැමැත්තක් තියෙනවා.
ReplyDeleteඔබ කතාව හනුමාගෙන් පටන් ගෙන ඉවර කල විදිහ අපුරුයි ......
ReplyDelete