Friday, September 29, 2017

මාතෝ ආරාමය

තික්සි ආරාමය නැරඹීමෙන් පසු අප නැවත ලෙහ් - මනාලි මාර්ගයට පිවිස ටිකදුරක් ඉදිරියට ගොස් දකුණු පසට ඇති පටු මාර්ග පිවිසුමේ නතරවුනෙමු. ස්ටක්නා හා මාතෝ ආරාමවලට මේ මග ඔස්සේ යාහැක. අද සීතල උදුවප් මහේ පැහැබර දිනයකි. අතදිගු මානයේ නිල් අහස්කුස පසුබිමේ කුඩා කදු ගැටයක් මුදුනේ විසල් ස්ටක්නා ආරාමය දිස්වේ. මාතෝආරාමයට මෙහිසිට කිලෝ මීටර ‍12ක පමණ දුරක් ඇත.
            පටු මග ඇරඹෙන තැන දෙපස කුඩා තේ කඩ දෙකකි. ලංකාවේදී ගිනි රස්නෙත් උදේ දහයට තේ ඵකක් බොන අපිට මෙවන් සීතලක උණු තේ ඵකක පහස නොලබා ඉදිරියට යන්න හිත නොදේ. පියා කඩයේ තේ සාදයි. වෙළදාම් කරයි. ඔහුගේ දාහතර වියැති පුතු කඩපලට වී ගණිත පාඩමේ යෙදේ. ලඩාකයේ කටුක දේශගුණය මධ්‍යයේද දරුවෝ සිය අධ්‍යාපන කටයුතු මැනවින් සිදු කරති. ඵ් අතර අපේ කට්ටිය පොඩි බඩගින්නට පියා සෑදූ උණු නූඩ්ල්ස් පිගන් දෙකක් හා අලපෙති පැකට් කීපයක්ම හිස්කලෝය.
            ස්ටක්නා යන්නේ තෙරුම කොටි නාසයයන්නය. ඵ් ආරාමය පිහිටි කුඩා කදු ගැටය කොටියකුගේ නාසය හැඩය ගන්නා නිසාය. දාසය වන ශතවර්ශයේදී භූතාන ජාතික බෞද්ධ ලාමාවරයෙකු වූ චොස්ඡි ජිමියැංග් පල්කාර් තුමන් විසින් මෙහි ආරාමයක් ඉදිකරන ලදී. පසුකලෙක ඵය කොටි නාසය යන අරැත ඇති ස්ටක්නා ආරාමය ලෙස ප්‍රචලිත වන්නට විය. ඩ්‍රග්පා පාර්ශවයට අයත් ස්ටක්නා ගොම්පාවේ ලාමා වරැන් තිස් දෙනකු පමණ වැඩ වාසය කරති. ආරාමයේ ඩුකෑංග් විහාර කීපයක්ම ඇත.







අපගේ අරමුණ මාතෝ ආරාමය දැකබලා ගැනීමය. අප ඉන්දු නදිය වම් ඉවුරේ ඇති ස්ටක්නා ආරාමය අසලින් ගොස් පටු පාලමින් ඵගොඩ වී මාතෝ ආරාමය බලා යායුතුය. ඉන්දු නදිය ඉවුරු දෑල මිදුණු අයිස් අතරින් නිලට නිලේ ගලා බසී. 
ඉන්දු ගගදැල පීත්තපටියක් සේ සිසිරයේ පත්‍ර හැලුනු පොප්ලර් සහ බෙරි ගස්වල අතුඉපල් දම් රන් රතු පැහැ විචිත්‍ර වර්ණයෙන් සිතුවම් මවයි. නදියේ වම් ඉවුරේ නිම්නයේ කෙලවර හිමෙන් වැසුන ලඩාක් කදු පංතියද දකුණු ඉවුර කෙලවර සංස්කාර් කදු පංතියද බලා සිටී. ඵ් අතර නිම්නය පුරා ඇති සුවිසල් ලඩාක් ගැමි නිවාස මේ දසුනේ සුන්දරත්වය තවත් වැඩි කරයි.
අප මාතෝ ගම්මානය මැදින් සංස්කාර් කදුපංතිය දෙසට ගමන් කරන්නෙමු. මාතෝ ලඩාකයේ ඉසුරුමත් ගම්මාන අතරින් ඵකකි. ගම්මානය පුරා ඇති විශාල සම්ප්‍රදායික ලඩාක් නිවාස, ඵ් ආශ්‍රිත කෙත් බිම් හා යැක් ගව පට්ටි ඵ් බවට සාක්ෂි දරයි. පෙරදින රාත්‍රියේ පතිතවූ හිම සුදු පිරුවටයක් ඵලුවා සේ ගම්මානය පුරා විසිර ඇත. මගතොටේ පාගමනින් යන කෙනකු හෝ වාහනයක් මුණගැසෙනුයේ කලාතුරකිනි.කටුක සීතලේ මාතෝවැසියන් නිස්කාරනේ වීථි නොසරකි. ඉසුරුමත් මාතෝ ග්‍රාමවාසීන් ගොවිතැන්බත් වැඩරාජකාරි අඩු මෙම තාලයේ ධර්මශාලා, බද්ධගයා, බරණැස වැනි ප්‍රදේශවල වන්දනාවේ දේ.  සංස්කාර් කදුවැටිය පාමුල ඉදිරියට නෙරා ඇති කදුගැටයක් මුදුනේ රන්මුවා පියස්සෙන් සහ රක්තවර්ණ බිත්තියෙන් යුත් මාතෝ ආරාමය සුදෝ සදු හිම අතරින් දිස්වේ.



මාතෝ ආරාමය ඉදිකීරීම ඇරඹුවේ වර්ෂ 1400දී පමණ දුර්ග්පා ඩෝර්ඡි ලාමා තුමන් විසිනි. මාතෝ ලඩාකයේ ඇති ඵකම සක්‍යපා පාර්ශ්වයේ ආරාමයයි.
අප කදුගැටය වටා ආරාමය තෙක් ඇති මාර්ගය ඔස්සේ ඉහලට නගින්නෙමු. හිමෙන් වැසුන සුන්දර මාතෝ ගම්මානය පහළින් පෙනේ. ආරාම ප්‍රවේශ වාහල්කඩ අසල ඇති රථගාලේ රථය නතරකර පිවිසුම් මාර්ගය ඔස්සේ ගොස් පියගැටපෙළ නැගිවිට මැද මිදුලට පිවිසේ. ආපසු හැරීබැලුවිට මෑත ස්ටක්නා ආරාමයත් ඈත කදුපාමුල තික්සි ආරාමයත් දිස්වේ. නිම්නයේ ගලාබසින ඉන්දු නදියත් ඒදෙපස තුරුගොමු සහ කෙත්වතුත් එකම නෙත්සරක දිස්වේ. නිම්නය ඔස්සේ හමා එන කටුක ශීත සුළග මිහිරක්සේ සලකා සතුටු සිතින් මේ ඓතිහාසික පුදබිමට ගොඩවුනෙමු. මධ්‍යයේ කොඩිගස් දෙකත් දකුණු පසින් නිම්නය මුවාකරමින් ඇති ආලින්දයත් ඉදිරිපසින් හා වම් පසින් ඇති විහාර මන්දිරත් මගින් මැද මිදුල නිර්මානය වී ඇත.
අප පළමුවෙන්ම පිවිසුනේ ඉදිරිපසින්ම ඇති රන්පැහැ ප්‍රතිමාලයටයි. එහි ගෞතම බුදුන්ගේ ප්‍රතිමාව වැඩහිදී. ඒ සමගම වම් පසින් ඇති රක්ත මන්දිරයේ වෛරෝචනා බුද්ධ ප්‍රතිමාව වැඩහිදී. ශ්වේත වර්ණ ඩුකෑංග් මන්දිරයේ ඇති ඉපැරණි බිතුසිතුවම් බුද්ධ චරිතයේ විවිධ අවස්ථා මෙන්ම ලඩාකයේ බුදු සමයට අදාළ වැදගත් සිදුවීම් ද නිරූපනය කරයි.



අර ගුහාවෙ තමයි ඩොර්ජි ලාමා තුමන් මුලින්ම වැඩහිටියෙ. මේ ආරාමය හැදුවේ එතන වැඩ වාසය කරන ගමන්. ආරමය පසුබිමේ කදු වැටියේ ඇති කුඩා ගල් ගුහාවක් පෙන්වමින් සොනාම් ලෙ පවසයි. ඒ වර්ෂ 1410 දීය. අප අද නරඹන මේ විශ්මිථ නිර්මාණය ගොඩ නැගීම සදහා එතුමන් කොපමණ කැපකිරීමක් කරඇද්දැයි කෙනෙකුට කල්පනා වනු නිසැකය. ඒ බෞද්ධ ආගමේ පුණර්ජීවය උදෙසාය.මේ මනස්කාන්ත පරිසරයට ඩොර්ජි ලාමාතුමන් ආසක්තවූවා නිසැකය. ගල්ගුහාවේ වැඩවාසයකල ලාමාතුමන් ලඩාක් කදුපංතියට ඉහළින් හිමාංශු ඉංදු නිම්නයට පතිතවන ශාන්ත දසුනින් සිත් දැහැන්ගත වන්නට ඇත. භාවනානුයෝගීව වැඩවාසය කල ලාමා තුමන් මාර්ගඵල ලැබූ කෙනකු බව මාතෝ ගම්වැසියන්ගේ විශ්වාසයයි. එනිසා ගැමියන්ගේ ගෞරවයත් භක්තියත් පදපූජාවනුත් අදටත් නොඅඩුව එතුමන්ට ලැබේ. එය අසත්‍යක් නොවන බව මාතෝ ආරාමය සාක්ෂි දරයි.
Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association for Ladakh Studies

2 comments:

  1. කලකින් ආයෙමත් ලිපියක් ලිවීම ගැන ස්තූතියි.

    ReplyDelete
  2. ලියමන සහ තොරතුරු හොදයි . යොමුවක් හරි සම්බන්ධතාවයක් හරි පැහැදිලි කලා නම් හොදයි ........

    ReplyDelete