ශ්‍රී නගර්, මෞගල් රාජ පරම්පරාවේ නිබඳ අවධානයට ලක්වු නගරයකි. සාහිත්‍යයට,සෞන්දර්යට හා ස්වභාව සුන්දරත්වයට තදින් ඇළුම්
කල මෞගල්වරු කාශ්මීරයේ ස්වභාව සුන්දරත්වයෙන් වශීකෘත වීම අරුමයක් නොවේ. මේ නිසා
මෞගල් රාජ වංශිකයන් ඉදිකල නිර්මාණ රාශියක් ශ්‍රි නගර් හා ඒ අවට පිහිටා ඇත. මේවා
අතරින් ඩැල් විලේ දකුණ ඉවුර ඔස්සේ ඩැල් ද්වාරයේ සිට ෂන්කාරචායා කන්ද පසු කරමින්
දිවෙන බුලෙවාර්ඩ් පාරේ පිහිටා ඇති මෞගල් උයන් අනිවාර්යෙන්ම නැරඹිය යුතු ස්ථානවේ.
මේ සියළු උයන් ඉදිකර ඇත්තේ පර්සියානු නැතිනම්
ඉස්ලාම් උද්‍යාන කලාවට අනුවය. දියඇලි,
ජල තටාක, දියමං මෞගල් උද්‍යානවල පොදු ලක්ෂණයකි. මෙවැනි උද්‍යාන ඉන්දියාවේ අග්‍රා,
දිල්ලි, පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ දක්නට ඇත. ටජ් මහලද මෙවැනිම වූ සුන්දර
මෞගල් උද්‍යනයකින් අලංකරනය වී ඇත.
ශ්‍රී නගර් මෞගල් උද්‍යාන යුනෙස්කෝ ලෝක උරුමයක්
ලෙසද නම් කර ඇත.
අප නවාතැන් ගත් හෝටලයේ හිමිකරු මුස්ලිම්
ජාතිකයෙකි. ඉස්ලාම් දහමට අනුව සාධාරණලෙස ව්‍යාපාර කිරීම ඔහුගේ දර්ශනයයි. ක්‍රිකට්
ලෝලියෙකු වන ඔහු අපගෙන් සනත්, අර්ජුන, සංගක්කාර වැනි ක්‍රිකට් විරුවන් පිළිබද විමසා සිටියේය. කාශ්මීරයේ
පවතින සාමකාමී වාතාවරණය අගයන ඔහු ඒ නිසා තම හෝටලයටද දැන් වසර පුරාම අමුතන්ගේ
අඩුවක් නොමැති බව පවසයි. ඉන්දියාවේ අනෙක් ප්‍රාන්ථවල වැසියන් කාශ්මීරයේ සංචාරයේ
යෙදෙන්නේ නවමු අත්දැකීමක් ලෙසය. ඔහු කැමති බෙදී වෙන්වන්නට නොව එක්ව නැගීසිටීමටය.
පසු දින අප දිල්ලිය බලා යාමට නියමිත දිනයයි. ගුවන් යානය ඇත්තේ සවස හතරයි
තිහටය. ෂීක් අල් අලාම් ගුවන් තොටුපලට පැයක ගමනක් ඇත. නගරයේ සිට ගුවන් තොටුපලට
කුලීරථ ගාස්තුව රුපියල් හත්සියයකි. ඒ බව නගරයේ බොහෝ ස්ථානවල, කුලීරථගාලේ විශාල පුවරුවල ප්‍රදර්ශනය කෙරේ.
පසු දිනට ඉන්දීය ජාතික දිනය යෙදී ඇත. ශ්‍රී
නගර් වල හර්තාල් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවත්, පාරවල් වසාදැමීම මෙන්ම වාහන පරීක්ෂාවන් ආදිය නිසා කල්වේලා ඇතුව ගුවන්
තොටුපලට යාම නුවණට හුරු බව හෝටලයේ හිමිකරු පැවසීය. අපට කෙසේ හෝ මෞගල් උද්‍යාන
නැරඹිය යුතුය. හර්වන් උද්‍යානය දැක බලා ගැනීමේ ආශාවද අත. අපට පිහිටට ආවේ හෝටලයේ
හිමිකරුය. මේ සියල්ල නරඹා අපව ගුවන් තොටුපලට ඇරලවීමට රුපියල් එක් දහස් පන්සීයකට ට්‍රැවේරා
ජීප් රියක් ඔහු සපයා දුනි. ට්‍රැවේරා රියදුරුද කාරුණික මැදිවියේ මුස්ලිම්
ජාතිකයෙකි. සුහදශීලිය. ආචාරශීලිය.
අප මුලින්ම යන්නේ චෂ්මා ෂාහී Chasma
Shahi උද්‍යානයටය. අක්කරයක විශාලත්වය ඇති
චෂ්මා ෂාහී කුඩාම මෞගල් උද්‍යානයයි. බුලෙවාඩ් පාරෙන් ශර්වන් කන්ද දෙසට හැරුනු රථය
විසල් තුරු ගොමු අතරින් ඉහලට නගී. උද්‍යානය පිහිටියේ රාජ් භවන් හෙවත් ජම්මු
කාශ්මීර ආණ්ඩුකාරවරයාගේ මන්දිරයට යාබදවය. උයන නිර්මාණය කර ඇත්තේ වර්ෂ 1642 දී ෂා ජහන් රජුගේ කාශ්මීර ආණ්ඩුකාරවරයාව සිටි
අලි මාධන් ඛාන් විසිනි.
උයන පිහිටියේ ඩැල් විලට මුහුණලාය. පසුබිමේ කදුවැටිය පාමුලින් උයන
ඇරඹේ. කන්ද දෙසට ස්ථර හතරක් වන පරිදි එය නිර්මාණය කර ඇත. මධ්‍ය රේඛාව ඔස්සේ
ඉද්දගැසුවා සේ ඇති දියමඟ එක් ස්ථරයක සිට අනෙකට කඩා වැටෙනුයේ කුඩා දිය ඇල්ලක්
පරිද්දෙනි. උයන් කෙලවර ඇති කුඩා ගෘහය මාබල් වලින් සහ ටෙරාකොටා වලින් නිමවා ඇත.
දියමඟ ඇරඹනුයේ එහි සිටය. ජලය අවසන ඩැල් විලට එකතුවනුයේ අතර මඟ ඇති වතුර මල් සහ
පොකුණු වලට අලංකාරය ලබාදීමෙන් පසුවය. නේකවිධ මල් වර්‍ග, බොන්සායි ක්‍රමයට සැකසුණු තුරුලතා ඒ අතර ඇති තෘණ පලස් උයනේ අසිරිය
තවත් වැඩිකරයි.
මෞගල් උද්‍යාන අතරින් විශාලතම උද්‍යානය ශාලිමා
උද්‍යානයයි.හෙක්ටයාර 31 ක වපසරිය පැතිරී ඇති මෙම උයන නියම
රාජකීය මෞගල් උද්‍යානයයි. ෂා ජහන් රජු විසින් අත්‍යාලන්කාරයට පත්කරන ලද මෙම උයන
මෞගල් වරුන්ගෙන් පසු කාශ්මීරය පාලනය කල පතන් සහ සීක් පාලකයින්ගෙන්ද නිති අවධානයට
පාත්‍රවිය. කාශ්මීරය පාලනය කල රංජිත් සිං වරෙක කාශ්මීරයට පැමිණි බ්‍රිතාන්‍ය
අධිරාජ්‍යයා පිළිගනු ලැබයේද ශාලිමා උද්‍යානයේදීය.
ස්ථර හතරකින් සැදි උද්‍යානයේ මධ්‍ය රේඛාවේ දිවෙන
දියමඟ ෂානාර් Sharnar ලෙස හැදින්වේ. එහි සිට දෙපසට උද්‍යානය
පුරා පැතිරුණු පරිවාර දියමං සහ පොකුණු, දියමල්
මුලික පර්සියානු උද්‍යාන ආකෘතිය විදහා දක්වයි. උයන් කෙලවර බවදාරී Bavadari රාජකීය වසන්ත මාළිගයයි. එහි කුළුණු සාදා ඇත්තේ
කළු මාබල් වලිනි. සිවිලිම විචිත්‍ර සිතුවමින් අලංකාර කර ඇත. පසු බිමේ සුන්දර කදු
වැටියත් ඒ මතින් ගලා හැලෙන උදා හිරුකිරණත් උයනේ සැරිසරන්නන්ට කොපමනවත් වූ කවි
සිතිවිලි පහල කරයි. ඇස පෙනෙන මානයේ පිපී සැලෙන නෙක නෙක වර්ගයේ විචිත්‍ර වර්නයේ
නෙත්කළු වූ පුෂ්පයෙන් උයන මල් උයනක් කරයි. උයනේ ඉහලම ස්ථරයේ සිට පහළ ස්ථරයට දියමඟ
කඩා හැලෙන ස්ථානයේ අති පීඨිකාවේ සිට බැලූවිට මුළු උයනම එකම නෙත් සරකට දර්ශනයවේ.
ඩැල් විලේ සිට හමා එන සීත පවන් රැළි පිපී සැලෙන පියුමන් පිසදා විත් සිතගත වෙලාගනී.
මෙලෙස සුපසන් සිතින් උයන් සිරි නරඹන අතර
මුණගැසෙන වංචාකරුවන්ගෙන්ද ප්‍රවේසම් වීමට සිහිතබාගත යුතුය. උයනේ තැනින් තැන කැමරා
එල්ලාගෙන සාම්ප්‍රදියික ඇදුම් ආයිත්තම් තබාගෙන ඡායාරූප ගන්නා සොරමුල් සිටිති. එම
ඇදුමින් සැරසී උයන තුල ඡායාරූපයකට පෙනී සිටින සංචාරකයින්ට ක්ෂණිකව ඡායාරූපය
ලබාදෙනවායැයි කියා රුපියල් පන්සියක මුදලක් අයකර ගනී. ඡායාරූපය ගේට්ටුවෙන් පිටත ඇති
කවුන්ටයකින් ලබාගත හැකි බව පවසා රිසිට්පතක් ලබාදේ. නමුත් හතර මායිමක ඡායාරූප මුද්‍රණය
කිරීමට තබා ෆොටෝ කොපියක් ගැසීමටවත් තැනක් නොමැතිබව සිහිතබාගත යුතුය.
සියළු මෞගල් උද්‍යාන අතරින් වඩාත් මා සිත්ගත් උද්‍යානය නිෂාත් බාග් Nishat
Bagh. ස්ථර දොළහකින් යුත් බිම් සැකැස්මක්
සහිතය. හත්වන තලයේදී මධ්‍ය අක්ෂ දියමඟ හයවන තලයට වැටීමේදී සෑදෙන දිය ඇල්ලත් ඉහළින්
ඇති නැරඹුම් පීඨිකාවත් උයන් අසිරියට ආභරණය. උයනට ජලය සැපයෙනුයේ ශාලිමා උයන සිටය.
ඉහළම තලය හඳුන්වනුයේ සොනානා උයන ලෙසය. එහි සිට බැලූවිට මහළින් මහළ ඩැල්විල දෙසට
විහිදෙන උයන එකම නෙත්සරකින් රසවිඳිය හැක.
නිශාත්
උයන අසිෆ් ඛාන් සහ ෂා ජහන් අතර විරසකයටත් මුල්විය. 1633 දී උයන නිර්මාණය කලේ අසිෆ් ඛාන්ය. උයනට පෙම්බැඳි ෂා ජහන් අශිෆ්
ඛාන් එය තමාට ත්‍යාග කරනු ඇතැයි බලාපොරොත්තුව සිටියේය. එය ඉටු නොවුනු තැන ෂා ජහන්
ශාලිමා උයනේ සිට නිශාත් උයනට ජලසැපයුම නතර කරලීය.මෞගල්වරු උයන්වලට පෙම් බැන්දේ
එලෙසය.
Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association for Ladakh Studies
No comments:
Post a Comment