Sunday, July 31, 2016

ලඩාක් දේශය: අවාරයේ පැංගොංග් විල නරඔන්නට ගියෙමු.



  ටිබෙටය ලඩාකයේ සංස්කෘතික තිඹිරිගය ලෙස සැලකේ. බුදුදහම, භාෂාව, ටිබෙට් වෛද්‍ය කර්මය ආදිය අධ්‍යනය කිරීමටත්, සංචාරය උදෙසාත් ලඩාකයේ සිට ලාමාවරු ටිබෙට් වෙත යාම් ඊම් සිදු කෙරිණි. බොහො විට මෙම ගමන් සිදු කෙරුනේ චංග්තංග් සානුව ඔස්සේය. අද මෙන් රථ වාහන ගමන් කළ හැකි මාර්ග නොමැති එකල ඒ සඳහා තුන්හාර මාසයක් ගත විය. දේශගුණය අයහපත් නම් කාලය තවත් දීර්ඝ වේ. නමුත් 1959 න් පසු මේ ගමන් සියල්ල නැවතිණි. ඒ චීනය ටිබෙටය ඈදා ගැනීමත් සමඟය.
            ලඩාකායේ ඊසාන දෙසින් පිහිටි චංග්තංග් සානුව ටිබෙට් සානුවේ බටහිර කොටස ලෙස සැලකේ. මුහුදු මට්ටමේ සිට අඩි දස දහසත් දාහතර දහසත් අතර උස්මට්ටම් වල විසීරී ඇත.මෙය ශීත කාන්තර දේශගුණික කලාපයක් ලෙස සැලකේ. හිමාචල් ප්‍රාන්තයේ ස්පීටි ප්‍රදේශය සමඟ දේශගුණික සහ භූවිෂමතාමය සමානකමක් දක්වයි. චංග්තංග් කුමන සුරංගනා ලෝකයක් දැයි සිතින් මවා ගැනීමට බොහෝ කල් සිට මා උත්සාහ කලෙමි. ලොව උසම කරදිය විල පැං‍ගොංග් විල, සුන්දර සුමො-රි විල සිතින් මවා ගැනීමට උත්සාහ කලෙමි. සෙසු ලෝකයත් සමඟ අවම ගණුදෙණු කරන චංග්පා එඩේර ගෝත්‍රිකයින් සිතින් මවා ගැනීමට උත්සාහ කලෙමි.
            පැංගොංග් ට්සෝ වෙත යාමට ලබා ගත් අපගේ අභ්‍යන්තර දේශසීමා බලපත්‍රය දෙසැම්බර් 28 දා අවසන් වේ. ට්සෝ යනු ලඩාක් බසින් විල යන අරුත දේ. ඒ අනුව විලේ නම පැංගොංග් ය. අවාරයේ සිරිපා වඳින්න යාමට මා බොහෝ ආශා කලෙමි. කලබලකාරි මිනිස් සමූහයාගෙන් තොරව නිසංසලේ පලාබද්දල ඔස්සේ සිරිපා නැඟීම මොනතරම් ආශ්වාද ජනකදැයි මා නොයෙක් වර කල්පනා කර ඇත්තෙමි.එවැනි සිතකට අවාරයේ චංග්තංග් සානුව ඔස්සේ පැංගොංග් විල බලන්න යාමට ඇතිවන ආශාව අරුමයක්ද ?
            “පැං‍ගොංග් වල නතර වෙන්න මේ කාලේ කිසිම තැනක් නෑ. ඒ නිසා අපිට උදේම පිටත්වුනාම රෑ වෙනකොට ගෙදර එන්න පුළුවන් . අපි පාන්දර 5ට පිටත්වෙමු.” ආචාර්ය සොනාම් කියන විටත් ඇඟකිලිපොලා යනු දැනුනි. වෙනදේකට නම් මා මෙතරම් සීතලේ පාන්දර පහට අවදිව පිටත්වීමක් සිතන්නේවත් නැත. නමුත් ශීත සමයේ චංග්තංග් සානුව ඔස්සේ පැංගොංග් විල බලන්නට යාම සෙල්සියස් අංශක සෘණ විස්සකට ආසන්න සීතල නිසා අත්හැරිය හැකිද ? 
            ලෙහ් සිට පැංගොංග් විලට ඇතිදුර කිලෝමීටර් 160 කි. චොග්ලම්සාර් හී පිහිටි සොනාම්ගේ නිවසින් පිටත්ව කාරු දෙසට අප ගමන් ගන්නා විට ෂී Shey මාළිගය හා තික්සිThiksey ආරාමය අඳුරේ ගිලී තිබිණ. කාරු වලදී ලෙහ් - මනාලී මාර්ගයෙන් හැරී ශක්ති ග්‍රාමයට ඇති මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ පැමිණි පසු ඇති පොලිස් මුරපොලේදි අභ්‍යන්තර දේශසීමා බලපත්‍ර පරීක්ෂාව හා ලියාපදිංචිය සිදුකෙරේ. එහි රාජකාරියේ යෙදී සිටි නිළධාරි මහතාව නින්දෙන් අවදි කරවා ගැනීමට ආචාර්ය සොනාම්ට සිදු විය.
“ කොහෙද යන‍්නෙ ? ” ඔහු විමසීය .
“ පැංගොංග් විලට ” ආචාර්ය සොනාම් පවසද්දී ඔහු පුදුමයෙන් බලයි.
“ කොහෙ ඉඳලද මේ කට්ටිය ”
“ ශ්‍රී ලංකාවේ ඉඳල ” ඔහු තවත් පුදුමයට පත්වේ. පැංගොංග් විලට මීට පෙර ශ්‍රී ලාංකිකයින් ගමන් කර නැතිවාට සැක නැත.
“ මොකක්ද යන වාහනය ”
“ අල්ටෝ කාරෙකෙන් ” නිලධාරි මහතා පුදුමෙනුත් පුදුමයට පත්වූයේ මෙහෙමත් පිස්සෝ ඉන්නවානේ යන සිතුවිල්ලෙන් බව නිසැකය.
            මුහුදු මට්ටමේ සිට අඩි 14747 ඉහළ ඉන්දු චීන දේශ සීමාවේ තුනෙන් දෙපංගුවක් ටිබෙට් භූමියෙත් එක් පංගුවක් ඉන්දියානු භූමියෙත් පැතිර ඇති ආසියාවේ විශාලතම කරදිය විල දුරුත්ත අද්දරදි අඩක්වත් මීදී ඇතී බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ලෙහ් වල ඇතැමුන් කීවේ විල සම්පූර්ණයෙන්ම මීදී ඇති බවයි. මිදුන විල මත වාහන පවා ධාවනය කළහැකි බව සංචාරක පොත් පත් වල  දැක තිබුණි.
            ශක්ති ග්‍රාමයේ දී මාර්ගය වරිල්ලා දුර්ගය හරහා නුබ්රා නිම්නය වෙතටත්, චංග්ලා දුර්ගය හරහා පැංගොංග් විලටත් වශයෙන් දෙකට බෙදේ. පැං‍ගොංග් විලට යන මඟ ලඩාක් කඳු පන්තිය ඔස්සේ ක්‍රමයෙන් ඉහළට නැ‍‍‍‍‍ඟේ. හතර වටින් යන්තමින් හිමිදිරි අරුණළු පතිත වෙමින් පවතී. ශක්ති ග්‍රාමයේ ගෙමිදුල් හා නිවෙස් මතට හිම පතිත වී සුදෝ සුදු වස්ත්‍රයකින් වැසූ කෑම මේසයක් සිහි ගන්වයි. ඒ අතරින් තැනින් තැන ඉහළට නැගෙන පොප්ලර් ගස්වල කොළ රහිත අතු ඉපල් නිසා සිතුවම තවත් විචිත්‍රවත් වේ. පසුගිය වසත් සමයක හරිත වර්ණයෙන් බැබළෙන පොපිලර්, විලෝ, ඇපල්, ඇප්‍රිකෝට් ගස් අතරින් කරලින් බර සරුසාර බාර්ලි තේතබිම් අතරින් අප ශක්ති ග්‍රාමය මැදින් නුබ්රා ගිය ගමන සිහිවිණි.

           
 අප පැංගොංග් විල නරඹා ආපසු එන ගමනේදී දුර්ග මගේ සිට රාස්සිගේ අව්ව වැටී ඇති ශක්ති ග්‍රාමය දුටුවේ සිත්තරකුගේ සිතුවමක් ලෙසිනි. දෙමහල්, තෙමහල් නිවෙස් ඒ අවට ගෙමිදුලේ ගාල් කර ඇති යැක් ගව රංචු, අස්වනු ‍නෙලු කෙත්බිමින් සපිරි, නිම්නයේ බොහෝ දුර යනතුරු පැතිර ඇති ශක්ති ග්‍රාමයේ සිතුවම නෙත්සිත් වසඟ කර ගනී. මෙහි ඇති නිවාස බොහෝමයක් සාම්ප්‍රදායික ලඩාක් නිවාස වේ. ඒ අතරින් වසර සියයකට වඩා පැරණි ජාතික උරුමයන් ලෙස සාම්ප්‍රදායික ලඩාක් නිවාස ලේඛනයට ඇතුළත් නිවාස කිහිපයක්ම ඇත. චෙම්රි Chemrey ගොම්පාව පිහිටියේ ගමේ කෙළවර කඳුගැටයක් මුදුනේය. විශාල පත්මසම්භාව පිළිරුවක්, ඉපැරණි මියුරල් චිත්‍ර හා තැංග්කා සිතුවම් නිසා චෙම්රි ගොම්පාව ප්‍රසිද්ධියට පත්ව ඇත.
            හිමිදිරියේත් ගොම්මනේත් දුටු ශක්ති ග්‍රාමයේ සිතුවම එය නොදුටූ නෙතකට කෙසේ නම් විස්තර කරන්නද?  ඒ නිසා ඇස් මානයේ ඇති සොදුරු සිත්තම සිත්සේ කැමරා කාචයේ සටහන් කර ගත්තෙමි.
            මොහොතින් මොහොත වෙනස් වන නැවුම් දසුන් සමගින් අප ක්‍රමයෙන් චංග්ලා දුර්ගය තරණය කරන්නෙමු. සට සට ගාමින් රථයේ වීදුරු මතට මුතු කැට වැටෙන්නා සේ හිම වැටෙන්නට විය. සුදු පලසක් ඇතුරු ලෙස නෙත් මානයම හිමෙන් වැසි ඇත. අඩි 17998 ක් උස චංග්ලා දුර්ගය  වාහන ගමන් කළ හැකි ලොව තෙවන උසම දුර්ගයයි. දැන් අප තවත් වාර්තාවකට හිමිකම් කියන්නෙමු. රථ වාහන ගමන් කළ හැකි ලොව උසම දුර්ගයන් තුනම තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයින් අප වන්නෙමු. මේ අභිමානයත් සමඟ අප දැඩි සීතල හෝ  තීව්‍ර ශිඛර රෝගයHigh altitude sickness පිළිබදව වගක්වත් නොමැතිව මොටර් රථයෙන් පිටත පැමිණ චංග්ලා දුර්ගයේ අසිරිය විඳ ගත්තෙමු. අඩි දෙකක පමණ හිම තට්ටුවකින් දුර්ගය වැසී ඇත. දිනකරගේ සේයාවක් වත් දක්නට නොමැත. නොකඩවා පතිත වන හිම මොහොතකින් උණුසුම් කබායන් වසා ගන්නට විය. ලඩාක් කඳු පන්තියේ චංග්ලා දුර්ගයේ සිට චංග්තංග් සානුව වෙත අප පල්ලම් බසින්නට වීමු. මාර්ගයේ එක් පසෙක කන්දෙත් අනෙක් පස බෑවුමෙත් සොබාදහමේ උපායෙන් පැතලි සහ සුමට බවට පත් කර ඇති ලක්ෂගණන් වූ ලොකු කුඩා ශෛල ඛණ්ඩ මතට හිම පතිත වී මවන රටාව බතික් සේලයක ඇති රටා සිහිගන්වයි.

අඩි 17000 ක් උසැති ටොල්ටැක් Taltak හිදී චංග්තංග් සිට ලෙහ් බලා යන අල්ටෝ මෝ‍ටර් රථයක රෝද වලට පිරිසක් දම්වැල් යොදති. හිම මත අහස් ගව්ව තරණයේ දී  රෝද ලිස්සීම වැළැක්වීමට බොහෝ දෙනා මෙලෙස දම්වැල් යොදති.  සීරුවට රථය හසුරුවාගෙන  දම්වැල් රහිතව හිම මතින් පල්ලම් බැස අප දැන් චංග්තංග් සානුවට පිවිස සිටින්නෙමු. තැනිතලාව ඔස්සේ ඇති මඟ පහසුය. හාත්පස උස් කඳුවලින් ‍තොරය. ශීත කාන්තාර දේශගුණය නිසා තුරුගොමු වලින් තොරය. තෘණ භූමිය පුරාම හිම පතිත වී සුදෝ සුදු හිම යායක සරන්නෙමු.
            චංග්තංග් සානුවේ කුරුලු කූජන නොඇසේ. නොයෙක් කුරුල්ලන් සිටිය ද ඔවුන් මේ මහා විවෘත අවකාශයේ සැනින් පෙනී නොපෙනී යයි. රෑන් වශයෙන් සිටින විහඟ වර්ග කිහිපයක්ම අප දුටුවෙමු. ඔවුන් වේගයෙන් පියඹා ගොස් හුදලකලා පඳුරක ඉපල්වල  ලැඟුම් ගනී. බ්‍රහ්මණකුස්සා මේ ප්‍රදේශයේ  බහුලව දැකිය හැකි කුරුල්ලෙකි. නමුත් බොහෝ කුරුලු වර්ග සේම බ්‍රහ්මණකුස්සා ද ශීතකාලය ඇරඹුමත් සමග පර්යටනයේ යෙදෙන නිසා මේ කාලයේ දැකීම අසීරුය. මේ කා‍ලයේ හිමාලයේ විහඟුන් ලංකාවේය. ලංකාවේ අපි හිමාලයේය.
දුර්පුල් Durpul  බොහෝ දුරක් ගිය පසු චංග්තංග් සැනුවේ අපට හමු වූ මුල්ම ග්‍රාමයයි. ගමේ නිවාස තිහහතළිහකට වඩා නොමැත. තවමත් නොකඩවා හිම පතිත වේ. ගමේ කඩමණ්ඩියේ නතර කර උණුසුම් තේ කෝප්පයක පහස ලැබීමට තැනැක් ඇත්දැයි  සොයා බැලුවෙමු. සංචාරකයින් නොපැමිණෙන මේ අවාරයේ කිසිදු තේ කඩයක් විවෘතව නොමැත. මේ ශීත හිමිදිරියේ  උණුසුම් තේ කෝප්පයක පහස මොන තරම් සැපයක්දැයි මට එවේලේ දැනුණි. “ පැංගොංග් කි. මීටර් 41, චුසුල් කි.මී.80 ” ලෙස සටහන් වූ මාර්ග පුවරුවක් පාර අද්දර විය. චුසුල්, චීන දේශසීමාව අසල පිහිටි අවසාන  ග්‍රාමයයි. එහි පිවිසිය හැක්කේ ස්වදේශිකයන්ට පමණි. දුර්පූල් හි පිහිටි විශාල ඉන්දීය හමුදා කදවුර නිසා ප්‍රදේශයේ හමුදා රථ සහ භට කණ්ඩ නිතරම සැරිසරති.
අප චංග්තංග් සානුව ඔස්සේ ඉදිරියට අදෙන්නෙමු. මේ ඉසව්වේ හිම පතනය නෙමැත. තැන්න පුරා ඇති තෘණ පඳුරු හිරුගේ ප්‍රභාස්වරය අඩුකමත්, කර්කශ සීතලත් විටින් විට පතිත වන හිමත් නිසා කහ පැහැගැන්වී ඇත. ඒ අතරින් ගලනා දිය කඩිති අයිස් බවට පත්ව මැදින් පමණක් ජල ධාරාවක් ගලා බසී. මේ චිත්‍රය මනසේ සිතුවම් කරගෙන ඒ අතරට තැනින් තැන තෘණ බුදින සුදු, දුඹුරු සහ කළු පැහැති මධ්‍යම ප්‍රමාණයේ තුරඟුන් රෑනක් එක් කළ විට එහි සුන්දරත්වය කොපමණදැයි ඔබට සිතා ගත හැකිද? මා දැන් චංග්තංග් සානුවේ දකින්නේ එම සිතුවමයි. මේ ස්වභාව සෞන්දර්යේ සිතුවම හාත්පස ඇති මන්දාලෝකයත් සමඟ මුසුව මා සුරංගනා ලොවකට කැඳවා ගෙන යයි.

“මේ හැම අශ්වයෙකුටම හිමිකරුවෙක් ඉන්නව. උන්ට මෙලෙස නිදැල්ලේ සැරිසරන්නට ලැබෙනුයේ ශීත සමයේ පමණි. සංචාරක සමය ඇරඹුමත් සමඟ චංග්තංග් වෙත පැමිණෙන සංචාරකයින්ට කඳුතරණයට, ඈත එපිට ගම්මාන කරා අසු පිටින් යන්නට මෙම අශ්වයින්ට ඇති වන්නේ ඉහළ ඉල්ලුමකි. එකලට උන්ගේ හිමිකරුවන්ගේ අතමිට සරුවෙනව.” සොනාම් පහදයි.
කළුගල් කැබලි එක්කොට සෑදු හුදකලා කුඩා නිවසක් අද්දර ගාල් කර ඇති පෂ්මිනා එළුවන් රෑනකි. උන්ගේ සිරුර පුරා ඇති ලෝම හිමිකරුවන්ට අනගි වස්තුවකි. සීත සමයේ අවසානයත් සමඟ මෙම ලෝම මිල අධික පෂ්මිනා දෙවුර වසනයක් නිෂ්පාදනයට පුදදීමට එම රෑනට සිදුවනනේ  අවාසනාවන්ත ඉරණමකට උරුමකම් කියමිනි. බූසියක් සේ ඇති කළු,සුදු ලෝම වැස්මෙන් යුත් පුෂ්ඨිමත් පෂ්ම්නා එළුවන් දකින විට තායිලන්තයේ චියංග්මායි සත්ව උද්‍යානයේ පැන්ඩා උයනේ සිටි පැන්ඩාවන් සිහියට නැගේ.
            මෙලෙස තැනින් තැන දක්නට ලැබෙන තාවකාලික නිවාස සහ කූඩාරම්වල වාසය කරනුයේ චංග්පාවරුය. ඔවුහු සිය එළු, බැටළු සහ යැක් ගව රංචු සමඟ වර්ග කිලෝ මීටර් හාරදහසකට වඩා වැඩි විශාලත්වයකින් යුත් චංග්තංග් සානුවේ තෘණ භූමි පුරා සංචාරය කරති. සංචාරක එඩේරුන් ලෙස ජීවත් වන ඔවුන්ගේ ජීවිත මෙම සත්තවයින් හා උන්ගේ නිෂ්පාදන කේන්ද්‍ර කොටගෙන ගොඩනැඟී ඇත. ඉදුණු ජම්බු ගෙඩියක් සේ රෝස පැහැ ගැන්වුණු දෙකොපුල් සහිත චංග්පා දරුවෙකුගේ දෑතට ටොපි චොකලට් අහුරක් දුන් විට මුහුණ පුරා මතු වූ සතුටු සිනහව මේ සියළු සොදුරු දසුන් පරයා මා මතක ගබඩාවේ තැන්පත් වී ඇත. දැඩි සීත නොතකා කෙළිදෙළින් ඔවුන් සිය ජීවත ගත කරති. ඇතැම් චංග්පා කූඩාරම් අසල මහේන්ද්‍ර ජීප් රථ නතර කර තිබෙනු අයුරු දැකගත හැක. ඔවුන්ගේ අතමිට සරුය. වෙනස් වන ලෝකයත් සමඟ චංග්පාවරුන‍්ගේ ජීවන රටාව ද වෙනස් වෙමින් පවතී. එය පොදු ‍ලෝක ධර්මතාවයකි.මතුයම් දිනෙක ඔවුනගේ සංචාරක ජීවිතය නතර වී ස්ථීර වාසස්ථානයක ජීවත්වනු ඇත.


     චංග්තංග් සානුවේ තවත් ජනකොටසක් ජීවත් වෙති. ඒ රංග්පාවරුය. ඔවුහූ සානුවේ තැනින් තැන විසිර ඇති ගම්මානවල ජීවත්වෙති. ඔවුන්ගේ ප්‍රධාන ජීවිකාව ගොවිතැනයි. අප දැන් පිවිසෙන්නේ එවැනි රංග්පා ගම්මානයකටය. ටැංග්ස්තේ Tangste ගම්මානයේ නමයි. රජයේ ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයත්, ඉන්දීය හමුදා කඳවුරත් ඇතුළු රජයේ ගොඩනැගිලි කීපයක්ම එහි පිහිටා ඇත. කෙත්වතු මැද පිහිටි ලොකු කුඩා නිවාස රැසකි. රන් පැහැ ලියකගේ ගෙල බැඳි රිදී පටක් සේ ගම මැදින් ගලා බසින දිය පහර මුළුමනින්ම මිදී ඇත. කුඩා පාලමෙන් එගොඩව අපි ගමේ කඩමංඩිය වෙත ගියෙමු. කුඩා සිල්ලර කඩ කීපයක් හා භෝජනාගාර දෙකක් එහි ඇත. අපේ වාසනාවට ‘පීස් රෙස්ටෝරන්ට්’ ලෙස බිත්තියේ තීන්තෙන් ලියා ඇති භෝජනාගාරය විවෘත කළා පමණි. කිරි උණු කරනතෙක් අප ලිප අසලට ගොස් ඇඟ උණුසුම්කර ගත්තෙමු. උණු උණු කිරි තේ වීදුරු මේසය මත තැබුවා මතකය. මොහොතින් හිස් වීදුරු පමණක් දක්නට ලැබුණි.
            නැවත පැමිණෙන අතරේ අප දහවල් ආහාරයට ද ගොඩවැදුනේ ‘පීස් රෙස්ටෝරන්ට්’ එකටමය. එහි සිටින තරුණයින් දෙපළ සහ වයසක තෙමේ කඩිනමින් අපේ පාතරසය පිළියෙල කර දුන්හ. උණු උණුවේ පිළිගැන්වෙන එළුමස් මෝමෝ, තුක්පා සුප් සහ චවුමෙන් නූඩ්ල්ස් බඳුන් කීපයක්ම හිස් වූයේ අධික කුසගින්නත් සීතලත් තරමකට මේච්චල් කරමිනි. දහවලදීත් හරිහැටි නොවැටෙන හිරු රැස් නිසා අඳුරු පරිසරය දැඩි ශීතලින් යුක්තය. මේ නිසා කඩමණ්ඩියේ හෝ ගංගොඩැල්ලේ නිවසින් බැහැර මිනිසුන් ගැවසෙනවා අඩුය. සියල්ලෝම උණුසුම අවැසි නිසා නිවෙස් වලටම වී සිටිති.
ටැංග්ස්තේ සිට පැංගොංග් විල දක්වා අපට තවත් පැයකට වැඩි ගමනක් ඇත. අප ක්‍රමයෙන් පටු නිම්නයක් දෙසට ගමන් කරන්නෙමු. උතුරු දිසාවේ පැංගොංග් කඳු පංතියේ උස් කඳු මුදුන් නැවත දැකිය හැක. ඊසාන දෙසින් එකයායට කිසිදු ගහ කොළක් නොමැති ශිකරයන් මන්දාලෝකයෙන් නැහැවී ඇත. මෑත කඳු බෑවුමක අතරින් පතර ඇති තෘණ පඳුරු බුදිමින් සැරිසරන යැක් ගව රංචුවක් තැන තැන විසිර ඇති කළු ගල් ‍ගොඩක් සේ දිස්වේ. අප කුඩා කඳුගැටයක් මුදුනට නගිත්ම කඳුයාය අතරින් අපගේ සිහින විල, පැංගොංග් විල දුටුවෙමි.මෙය ඵෙතිහාසික මොහතකි.පැංගොංග් විල සියැසින් දුටු ප්‍රථම ශ්‍රී ලාංකිකයා  මා නොවේද?
අප විලේ නිරිත දිග කෙළවර පිහිටි ලුකුංග් Lukung වෙත පැමිණියෙමු. එහි ඇති සංචාරක නිවාස හා කූඩාරම් පාළුවට ගොසිනි. ඇතැම් නිවසක ඒවා රැකබලා ගන්නා අයකු සිටී. ලුකුංග් හි දී මාර්ගය දෙපසට බෙදී එක් මඟක් විලේ උතුරු ඉවුර දිගේ පැංගොංග් කඳු පංතිය දෙසට ගමන් කරයි. එම පෙදෙස් වසන්ත හා ගිම්හාන සමයේ චංග්පාවරුන්ගේ සරු තෘණ භූමි බවට පත්වේ. අප දකුණු ඉවුර ඔස්සේ ස්පැංග්මික් දක්වා පැමිණ විල්තෙරට ගොඩවැදුනෙමු. මේ මාර්ගය චුසුල් දක්වා ගමන් කරයි.
ස්පැංග්මික් හී සංචාරක නිවාස සියල්ල වසා දමා ඇත. විල්තෙර සිටින එකම පිරිස අප හතරදෙනා පමණක්ම වීමු. පසුපසින් ඇති ලඩාක් කඳු පංතිය මුළුමනින්ම හිමෙන් වැසී ඇත. ඒ පසුබිමේ ලීයෙන් තනා ඇති කුඩා සංචාරක ලැඟුම් කුටි වල පල දෙකේ බෑවුම් වහල මත හිම පතිත වී ඇල්ප්ස් කඳුකරයේ නිවාඩු නිකේතනයක් සිහිගන්වයි.
අමීර්ඛාන් රඟපෑ ත්‍රී ඉඩියට් Three Idiot චිත්‍රපටයේ රූගත කිරීම් කළ ස්ථානයකට අප ගියෙමු. ලඩාක් දේශය හා පැංගොංග් විල ගැන ඉන්දියානුවන් තුල පවා අවබෝධයක් නොතිබුණ සමයක නිපදවූ මෙම චිත්‍රපටය නිසා  සෙසු ලෝකය අතර ද අවධානයට ලක්විණි.


කිලොමීටර 134ක් දිග විලේ පුළුල්ම ස්ථානය කිලෝමීටර පහක් පමණ පළලය. මුහුදු මට්ටමේ සිට අඩි 14764 ක් උසින් පිහිටි විල වටා ඇති කඳුවල ගැලැසියර් දිය වී විල පෝෂණය ලබයි. වසර දහස් ගණනක පටන් සිදුවන මෙම ක්‍රියාවලියත් සමඟ විලට එකතුවන ඛනිජ ලවණ හේතුකොටගෙන මිරිදිය ක්‍රමයෙන් කරදිය බවට පත්ව ඇත. මා විල් ජලය මදක් තොල ගෑවෙමි. එය මුහුදු ජලය මෙන ලුණු රසය.
නිල් සේලයකට සුදු වාටියක් දැමුවා සේ විල් ඉවුරේ අඩි පහක් හයක් ජලය මිදී ඇත. දිනිඳුගේ අකාරුණිකභාවය නිසා ඇති මන්දාලෝකය පැංගොංග් විලටම ආවේනික දීප්තිමත් නීල වර්ණයෙන් විල් ජලය දැක ගැනීමට අපට නොහැකි විය. විල වටා ඇති කඳු මුදුන් වල පාෂාණ සප්තවර්ණයෙන් දිස්නොවේ. ඈත ටිබෙටි දේශය දැකගත හැකිය. අඩි 234ක් ගැඹුරු යැයි අනුමාන කරන විල පිහිටියේ ටිබෙට් සානුවේ දකුණු දෙසට වන්නටය. දැඩි සීතලක් ගැඹුරත් නිසා විලේ කිසිදු ජීවියෙකු වාසය නොකරයි. ඉන්දීය හමුදාවට අයත් බෝට්ටු වලට හැර විලට කිසිදු බෝට්ටුවක් ඇතුළු කිරීම තහනම්ය.
වසත් සමයේ විල් තෙර සංචාරකයින්ගෙන් පිරී යයි. බොහෝ දෙනා මෙහි රාත්‍රීය ගත කරති. වසන්තයේ සඳ ඇති රැයක පැංගොංග් විල්තෙර රැයක් ගත කිරීමට ඇත්නම් යැයි මට සිතුණි. ටිබෙට් දේශය දෙසින් ඇති තුමුල කඳු පෙලට ඉහළින් උලිඳු නැගෙන මනරම් දසුන මා මනසේ සිතුවම් කරගතිමි. සිසිකැළුමින් නැහැවෙන විල මොනතරම් ලස්සනට තියේවි ද?
ටිබෙට් දේශයේ සිට විල ඔස්සේ හමා එන සීත මාරුතය රිසිසේ විල් අසිරිය විඳින්නට අවසර නොදේ. මතක පටයෙත් සේයා පටයෙත් සනිටුහන් වූ සුන්දර දසුන් පෙළක් සමඟ පැංගොංග් විලෙන් සමුගත්තේ රෑ බෝවීමට පෙර නැවත ලෙහ් වෙත යාමට අවැසි නිසාය.
“චංග්ලා දුර්ගයට දිගටම හිම වැටිලනම් අපිට ඉන්නවෙන්නෙ මඟ තමයි.” සොනාම්ලේ පැවසූ විට ඇඟ කීරිගැසෙන්නට විය. නමුත් දුර්ගයට අධිගෘහිත චංග්ලා බාබා දේවිය අපට අකාරුණික නොවූ නිසා කිසිදු උපද්‍රවයකින් තොරව අප ආචාර්ය සොනාම්ගේ නිවසට පැමිණියෙමු.

(අවාරයේ පැංගොංග්  විල  නැරඹු ගමන් සගයෝ- ආචාර්ය සොනාම් වංග්චොක්, සුජීවා කරුණානායක සහ පසස් පෙරේරා)

වෛද්‍ය අසේල පෙරේරා
MBBS, MSc (Medical Admin)
 Member of International Association for Ladakh Studies  

4 comments:

  1. ලෝකයේ බොහෝ සංචාරකයගේ නෙත නොගැටුනු සුන්න්දරම ස්ථානයකට ගිය ත්‍රාසජනක ගමන රසවත්ව හා අකර්ශනීය ලෙස ලියු ඔබට මගෙන් උණුසුම් සුභ පුතුම්.....

    ReplyDelete
  2. ඔබ ඉතා වාසනාවන්තයෙක් මේ වගේ තැන් වල සංචරය කරන්න ලැබුණු. මේ සටහන් නිසා අපිටත් සංචාරය නොකරම සුන්දරත්වය විඳින්න සැලසු ඔබට පිං. තවත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔබගේ දිරිමත් කිරීම මට ශක්තියක් හා අප්‍රමාන සතුටක්. ඉදිරියේදිත් ඔබ දුටු නොදුටු තැන්වල මගේ බො‍ලොග් අඩවියෙන් රැගෙන යාමට අදිටන් කර සිටිමි.

      Delete
  3. Sorry to disappoint you, you are not the first Sri Lankan to visit Pangong Lake or Nubra Valley as mentioned. I visited both towards the end of 1990's, I think it was 1999 summer. I would be the first Sri Lankan to visit Nubra valley and Khardung La pass, as it was the first time it was opened to public. I was an Educational Tour Leader for Ikarus Studienreisen in Germany and I used to do at least one tour to Ladakh/Zanskar every year during the summer, from around 1988 to 2002, for around 15 years. Definitely, one of the most remarkable places, including Tibet, that I have visited and it was like second home to me.

    ReplyDelete