Tuesday, September 20, 2016

පොප්ලර් සහ විලෝ නගරය


             ආචාර්ය සොනාම් වංග්චොක් මහතා අපව පිළිගත්තේ කොටුව වීදියේදී ය. අපගේ නවාතැන, ජම්ස්පාල් සංචාරක නිවාසය පිහිටියේ එහිය. මැදිවිය ඉක්ම වූ ලඩාක් යුවලක් එය පවත්වාගෙන යයි. සංචාරක නිවස මායිමේ වටේට ම පොප්ලර් ගස්ය. හිස් බිම් වලත් පොප්ලර් ය. ප්‍රධාන මාර්ග වල මෙන්ම අතුරු මාර්ග වලද දෙපස එක්කෝ පොප්ලර් ය. නැතිනම් විලෝ ගස්ය. ගෙමිදුල් වල ඇපල් හෝ ඇප්‍රිකෝට් ය. නැතිනම් එළවළු වගා කර ඇත.







            අප කීලෝංග් වලින් පිටත් වූයේ අළුයම හයටය. කිලෝ මීටර් 366 ක් දුරකතර ගෙවා පැමිණි දැන් වේලාව සවස පහය. මනාලී සිට දින දෙකක් පුරාවට හිමාල දේශයේ ගිරි දුර්ග, කපොළු, තණබිම්, ඇල දොළ අතරින් සුරැකිව අප රැගෙන ආ සෝනු ලෙහ් වලදී අපෙන් සමුගෙන නැවත මනාලී බලා යෑමට පිටත් විණි.
            මුහුදු මට්ටමේ සිට අඩි 11500ක් ඉහළින් පිහිටි ලෙහ් ලඩාක් හී අගනුවරයි. ලඩාක්, ශීත කාන්තාර දේශය මධ්‍යට වන්නට පිහිටා ඇත. පොප්ලර් සහ විලෝ ගසින් සපිරි ත්‍රිකෝණාකාර නිම්නයක ලෙහ් නගරය පිහිටා ඇත. ත්‍රිකෝණයේ පාදම දකුණෙන් ගලා බසින ඉංදු ගංඟාවයි. උතුරේදී එකිනෙක ලංවන සංස්කාර් සහ ලඩාක් කඳු පංති දෙපසින් පිහිටා ඇත.
            යුද්ධය නරක දෙයක් නමුත් ඇතැම් යහපත් ප්‍රතිඵල ද ඉතිරි වේ. 1960 ට කලින්, ලෙහ් බාහිර ලෝකයෙන් හුදකලාව පැවැති නගරයකි. එම වකවානුවේ හටගත් ඉන්දු චීන දේශසීමා අර්බුදයත් සමඟම ඉන්දීය හමුදා ලෙහ් වෙත පැමිණුනි. ඒ නිකම්ම නොවේ, අන්තර් හිමාලදේශ මාර්ගයත් පාදාගෙනය.
            කිලෝ මීටර් 473ක් දුරැති මනාලී-ලෙහ් මාර්ගයෙනුත් කිලෝමීටර් 467 ක් දුරැති ලෙහ්-ශ්‍රී නගර් මාර්ගයෙනුත් නගරය, ගොඩබිමින් බාහිර ලෝකය හා සම්බන්ධ විණි. නමුත් මේ සම්බන්ධතාවයද පවතිනුයේ වසරේ ජූනි සිට ඔක්තෝබර් දක්වා මාස පහක පමණ කාලයකි. ඉතිරි කාලය පුරාවට හිමෙන් වැසෙන මෙම මාර්ග ගමනාගමනයට වසා තැබේ.
            අතීතයේදී ලෙහ් තවලම් මාර්ග ඔස්සේ කාසා, කාර්ගීල්, ශ්‍රී නගර් හා ටිබෙටය සමඟ ද සබඳතා පවත්වා ඇත. සේද මාවතින් මධ්‍යම ආසියාව හා චීනය සමඟ යා කෙරිණි.
            ලෙහ්, බකුලා ගුවන් තොටුපළ ඉන්දියාවේ උසම ගුවන් තොටුපළයි. වසර පුරාවටම බාහිර ලෝකය සමඟ ලෙහ් අදටත් සබඳතා පවත්වනුයේ මෙම ගුවන් තොටුපළ මඟිනි.




            “සංචාරකයින් සඳහා ලෙහ් විවෘත කළේ 1974 දී. 2013 වසරෙදි පමණක් සංචාරකයින් ලක්ෂ දෙකක් ලෙහ් වෙත පැමිණ තිබෙනවා” ආචාර්ය සොනාම් පවසයි. “සෑම නිවසක්ම පාහේ සංචාරක නවාතැනක් බවට පත්වෙලා. ගොවිතැන, සත්ත්ව පාලනය අතහැරල මිනිස්සු සංචාරක ව්‍යාපාරයට යොමුවෙලා.”
            ඉහළ ආදායමත්, පහසු ජීවන මාර්ගයක් නිසාත් බොහෝ තරුණ තරුණියන් සංචාරක ව්‍යාපාරයට යොමු වීමට පෙළඹි ඇත. “නගරය වටා ඇති ඉන්දු ගඟ දෑල, සරුසාර බාර්ලි කෙත් බිම් ඉදිරියේදී, කවුරු අස්වද්දන්නද මන්ද‍?” මට සිතේ.
            මුහුණ කට සෝදා ගත් පසු අප නැවතත් සුපුරුදු උද්යෝගයෙනි. ඇඳිරියත් සමඟ සොනාම් ලේ අප කැටුව යාමට සූදානම් වන්නේ ඔහුගේ නිවසටය. ඒ ආගන්තුක සත්කාරයටය. ලඩාකීයන් ද ලාංකිකයින් මෙන්ම ආගන්තුක සත්කාරයට ලැදිය.
            සොනාම් ලේ ගේ නිවස පිහිටියේ කිලෝමීටර එකහමාරක් පමණ දුරින් ‘සම්කාර්’ ප්‍රදේශයේ ය. රාත්‍රියේ සංචාරක සිරියෙන් පිබිදෙන වීදි ඔස්සේ අප දෙපසින් ම පිටත් වුණෙමු.
            “ලෙහ් වෙත ගුවනින් පැමිණෙන ඔබ අවම වශයෙන් දිනක්වත් හෝටල් කාමරය තුල රැඳෙන්න. ස්නානය, වේගයෙන් ඇවිදීම, මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් වලකින්න.” මේ උපදෙස් මා කියවූයේ ලඩාක් පිළිබඳ වූ සංචාරක අත්පොතකය. ඒ තීව්‍ර ශිඛර රෝගය නොහොත් හයි ඇල්ටිටියුඩ් සික්නස් මඟහැරීම සඳහාය.
            අඩි 12000 කට ආසන්න උසකින් පිහිටි ලඩාක් හී වායු ගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉතා අඩුය. මේ නිසා සිරුරේ පටක සහ ඉන්ද්‍රීන් වෙත ඔක්සිජන් සැපයුම හීනවේ. එබැවින් සිරුර වෙහෙසට ලක් කළහොත් ඔක්සිජන් ඌණතාවය නිසා සිහිසුන් වීමට පවා පුළුවන. නැතහොත් වමනය, කරකැවිල්ල, අධික හිසරදය, හෝන්දුමාන්දු ගතිය වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.
            මෙවැනි උස්බිම් වල වාසය කරන අයගේ සිරුර ඒ සඳහා ස්වභාවයෙන්ම හැඩගැසී ඇත. රුධිරයේ රතු ශෛල ප්‍රමාණය නැතිනම් රුධිර ඝණත්වය වැඩිය. එමඟින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් පටක සහ ඉන්ද්‍රීන් වෙත ප්‍රවාහනය කෙරේ.
            දින ගණනක සිට හිමාල දේශයේ සැරිසරන අපද දැන් තීව්‍ර ශිඛර රෝගයට හොඳින්  ඔරොත්තු දෙයි. එබැවින් දෙපා ගමනට බාධාවක් නොමැත.

            වීදී වල හරිහරියට නොයෙක් රටවලින් පැමිණි සංචාරකයින් ය. බහුතරය බටහිර රටවලිනි. ඇතැම් සංචාරකයින් දිනගණන් පුරා මනාලී සිට ලෙහ් දක්වා පැපැදි වලින් පැමිණෙති. කඳු නැගීම, දුර්ග මංපෙත් ඔස්සේ ගමින් ගමට සංචාරය කිරීම, සංස්කාර් නදියේ ජල තරණය වැනි සංචාරක අත්දැකීම් ලඩාකයේ ඕනෑතරම් ය.
            “මේ භෝජනාගාරයේ කෑම හරිම රසයි. ඉන්දියන්, චීන, ටිබෙට් ඕනෑම කෑම වර්ගයක් තියෙනවා.” සොනාම් ලේ පවසයි. භොජනාගාරයේ නම ‘ලාමායුරු’ ය. රාත්‍රී භෝජනය සඳහා පැමිණි දෙස් විදෙස් සංචාරකයින්ගෙන් භෝජනාගාරය අතුරු සිදුරු නැත. නමුත් අප සොනාම් ලේ සහ පවුලේ උදවිය සමඟ රාත්‍රී භෝජනය සඳහා කීප දිනක් ම ගියේ ‘පෙන්ගුවින්’ උද්‍යාන භෝජනාගාරයටය. එහි ප්‍රනීත ආහාර, කුස මෙන්ම මනදොල ද පුරවාලයි. මෙම භෝජනාගාරය පවත්වාගෙන යනුයේ නේපාල ජාතිකයින් පිරිසකි. වසන්තයේ දී පැමිණෙන ඔවුහු නැවත ශීත සෘතුවේදී නේපාලය බලා පිටත්ව යයි.
            සම්කාර් ප්‍රදේශයේ ඇති සොනාම්ලේ ගේ නිවසට එන විට හොඳටම ඇඳිරි වැටී ඇත. ඈතින් කඳු ගැටයක් මුදුනේ ශාන්ති ස්ථූපය විදුලි ආලෝකයෙන් බබලයි.
            ආචාර්ය සොනම් ගේ ගම නූබ්රා නිම්නයේය. බිරිඳ මනාලී වලය. ඇය රජයේ පාසැලට ගුරුවරියකි. කුඩා පුතු සමඟ සොනාම් මෙම කුඩා කුලී නිවසේ වසයි. වැඩිමහල්  දියණිය ලෙහ් රජයේ උසස් පාසලේ නේවාසිකව අධ්‍යාපනය ලබයි.
            “ලෙහ් ඉඩම්, නිවාස ඉතාම මිල අධිකයි.” ඔහු පවසයි. “දැන් ‘හිල් කවුන්සිල්’ එක නිවාස සෑදිය හැකි ඉඩම් හඳුනාගෙන පුද්ගලික සමාගම් මඟින් ඒවා කට්ටිකර අලෙවි කරනවා”
            සොනාම් ලේ ද එවැනි ඉඩම් කට්ටියක් මිලදී ගෙන නිවසක් තැනීමට අඩිතාලම දමා ඇත. පසු දිනයක ඔහු අප එහි කැඳවාගෙන ගියේය.
“ඊලඟ වතාවේ ආවම ඩොක්ටර්ට අපේ ගෙදර නතර වෙන්න පුළුවන්” ඔහුගෙන් ආරාධනයකි. ඉතින් නෑවිත් කොහොම ද?
            ලඩාක් කඳුකර සංවර්ධන සභාව පිහිටවනු ලැබූයේ 1995 දීය. ‘හිල් කවුන්සිලය’ කියා කෙටියෙන් වහරනුයේ එයයි. ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ ප්‍රධාන කලාප තුනකි. හින්දු බහුතරය ඇති ජම්මු, මුස්ලිම් බහුතරය ඇති කාශ්මිරය සහ බෞද්ධ බහුතරය ඇති ලඩාක් එම කලාප තුනයි. තමන්ගේ සමාජ, සංස්කෘතික හා ආගමික අනන්‍යතාවය රැකගෙන යම් ස්වාධීනත්වයක් සහිතව ප්‍රාන්තය තුල සහජීවනයෙන් රැදී සිටීමට කඳුකර සංවර්ධන සභාව ස්ථාපනය කෙරිණි. කලාපය තුල අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒවා ක්‍රියාවට නැංවීමටත්, අරමුදල් රැස්කිරීමට හා වියදම් කිරීමටත් ලඩාකීයන්ට අවස්ථාව සැලසී ඇත. ඒකීය රාමුවක් තුල බලය විමධ්‍යගත කර ඇති අපූරුව!
“ලෙහ් වල තියෙන අනෙක් ප්‍රධානම ගැටළුව ජල ප්‍රශ්ණයයි.” සොනාම් ලේ තවත් පැති කඩක් නිරාවරණය කරයි. ‘ඉන්දියාවේ ඇති ප්‍රධාන නගර වලින් සංවිධිත ජල සැපයුමක් නොමැති එකම නගරය ලෙහ් නගරයයි.’ මා ලඩාක් පිළිබඳ ලියවී ඇති පොතක කියවූවා මතකය.
            ‘සංචාරක කර්මාන්තය නිසා ලෙහ් නගරයේ ජල මූලාශ්‍ර වලට සිදුවන බලපෑම’ මැයෙන් බොන් සරසවියේ ඇඩ්‍රිස් අක්තාර් සහ ඔෆෙනි ගොන්ඩ් ගෙලෙනෝර් පර්යේෂණයක් සිදු කළෝය. ලෙහ් ප්‍රධාන ජලමූලාශ්‍ර  දෙකකි. භූගත ජලය සහ භූමත ජලය ඒවාය. දියවන ග්ලැසියර් භූමත ජල සැපයුමේ ප්‍රධාන  කොටස්කරුය. කෘෂි කර්මාන්තයට යොදාගැනෙනුයේ එම ජලයයි. භූගත ජලය ඇත්තේ නගරයේ දකුණු ප්‍රදේශයේය. එම ජලය මතු පිටට පොම්පකර නළ මඟින් නිවාස සහ සංචාරක හෝටල් වෙත බෙදා හැරේ. ඒ විභව ශක්තියේ ආධාරයෙනි. සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ ඉහළ නඟින ජල පරිභෝජනය සැපයීම ලෙහ් මේ වන විට මුහුණ දී ඇති අර්බුදයයි. එම පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි.
            ශීත සෘතුවේදී අයිස් හොකී ක්‍රීඩාව ලෙහ් හි ජනප්‍රිය ක්‍රීඩාවකි.ලෙහ් මාළිගාව ආසන්නයේ Karzoo කාසූවල පිහිටා ඇති අයිස් හොකී ක්‍රීඩාංගනයේ නිතන්රයෙන් පැවැත්වෙන අයිස් හොකී තරග නැරඹීමට බොහෝ දෙනා එක් රොක් වෙති.මේ සමයේ දී ක්‍රීඩාංගනය වටා ඇති පත්‍ර හැළුනු විලෝ ගස් නගරයේ අලංකාරය තවත් වැඩි කරයි.







Dr Asela Pererra
 MBBS MSc (Medical Admin)
              Member of International Association for Ladakh Studies
                                                       traveldrasela@gmail.com




No comments:

Post a Comment