Wednesday, October 5, 2016

හිමාලයේ ශිත හිමේ


            හිම වැටෙනව බලන්න කුඩා කළ සිට තිබූ නොනිමි ආශාව ඉටුකර ගන්නට ඉටා උදෑසනම අවදි වුණෙමි. සීත දුරුත්තේ හිමාලයේ සීතල ඇට මස් ලේ නහර තෙක් කිඳා බසී. අද 2006 දෙසැම්බර් 26දාය. අප සිටිනුයේ ශිම්ලා හී හොලිඩේ හෝම් හෝටලයේය. මෙය හිමාචල් ප්‍රාන්ත සංචාරක මණ්ඩලය යටතේ පාලනය ‍වේ.
 “ශිම්ලාවල නම් තාම හිම වැටිලා නෑ. කුෆ්රී (Kufri) වලට නම් ඊයේ රාත්‍රියේත් හිම වැටිලා තියෙනවා.” නිවාඩු නිකේතනයේ පිළිගැනීමේ කවුන්ටරයේ සිටි මහතෙකුගෙන් විස්තර දැනගතිමි.
            “උදේම කුෆ්රි ගියානම් හිම බලන්න පුළුවන්” ඔහු මා දිරිමත් කළේය.
            කුෆ්රි වලට දුර කිලෝ මීටර් 21කි. රුපියල් හයසිය පනහකට කුලී රථයක් සොයා දිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.
            ඒක නරක ගණුදෙනුවක් නොවේ. නමුත් පොදු ප්‍රවාහන සේවයේ ගියාම සංචාරක රසය වැඩිය.
            අප මුලින්ම සංජෝලි වෙත ගියෙමු. බස් ගාස්තුව රුපියල් හයකි. සංජෝලි කුඩා සුන්දර කඳුකර නගරයකි. පුංචි කෝච්චියේ හමු වූ මිතුරු පවුල බාලාජ් සිං ගේ බිරිඳගේ ගම සංජෝලි ය. ඔවුන් දී තිබූ දුරකථන අංකයට ඇමතුමක් දුනිමි. “ඔයගොල්ලො ඉන්න තැනම ඉන්න. අපේ මස්සිනා එනවා ඔයගොල්ලො එක්කගෙන එන්න.” ඔහු පිළිතුරු දුනි.
            මිනිත්තු කීපයකින් තරුණයෙකු පැමිණියේය. ඔහු ඉක්බාල් සිංය. බාලාජී සිං ගේ බිරිඳගේ මලණුවන් ය. ඔහු අප නිවසට කැඳවාගෙන ගියේය.
            සිං පවුල අප සාදරයෙන් පිළිගත්තෝ ය. බිරිඳගේ මව, ඇයගේ නැඟනිය, සියළු දෙනා සතුටු සාමිචියේය. ඒ අතර රසකැවිලි සමඟ තේ පැන් සංග්‍රහයකි. සිනහව සතුට දෝරේ ගලයි.
            “අපිත් එනව හිම බලන්න යන්න.” බාලාජී සිං පැවසූවේ අපේ සතුට තවත් වඩවමිනි.
            “අපේ දුවල දෙන්නත් තවම හිම දැකල නෑ.” සෑම නිවාඩුවකටම ශිම්ලා පැමිණියද ඔවුනට හිම වැටෙන අවස්ථාවක ශිම්ලා වල සිටීමට වාසානාවන්ත වී නොමැත.


            වැඩිමහල් දියණිය දහතුන් වියැතිය. ඉතා රූමත් ඇය, හර්යානා හී උසස් පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබයි. ඇයට චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කථා කළ හැක. බාල දියණිය නව හැවිදිරිය. මදක් කුලෑටිය.
            බාලාජී සිං උසට සරිලන මහතක් ඇති පාංශු දේහධාරියෙකි. දීප්තිමත් නෙත් සඟලකි. දිගට වැඩුන රැවුල කිසිදු දිනක කපා නැත. ඒ සීක් ආගමික නීතියට අනුවය. එය මනාව ගොතා බැඳ ඇත. වැඩිය කථාබහ නොකරන තරමක් ලජ්ජාශීලි අයකු වන ඔහු ගුණවත් මනුෂ්‍යයෙකි. බාලාජී සිං පන්ජාබ් රංගනයේ දක්ෂකයෙකු බව ඔහුගේ බිරිඳ අප සමඟ පැවසුවාය.

            ඉක්බාල් සිං ද අප සමඟ එකතුවිය. දැන් හිම බලන්න යන නඩය හත් දෙනෙකි. අප කුෆ්රි දක්වා වූ කිලෝමීටර නමයක දුර බසයෙන් ගමන් කළෙමු. බස් ගාස්තුව එක් අයෙකුට රුපියල් පහකි.
            කුෆ්රි, ශිම්ලාවලට කිලෝ මීටර 16ක් නැගෙනහිරින් මුහුදු මට්ටමේ සිට ම්ටර් 2620ක් උසින් පිහිටා ඇත. සෞම්‍ය දේශගුණය, හිමෙන් වැසුණු කඳු මුදුන්, ශිත සමයේ නිරන්තර සිදුවන හිම පතනය, ඉන්දිරා ගාන්ධි හිමාල ජාතික උද්‍යානය, යැක් ගව සවාරි හා කඳු තරණය ආදී මෙකී නොකී බොහෝ දේ නිසා කුෆ්රි බොහෝ දෙස් විදෙස් සංචාරකයින් අතර ආකර්ශණීය ස්ථානයකි.
            ඈතින් හිමෙන් වැසී ගිය සුදු පැහැති කඳු වැටිය. ඒ චීන දේශ සීමාව දෙසින් ය. බස්රි
ය වෙරදරමින් හැල්මේ කන්ද තරණය කරයි. ශීතල තව තවත් වැඩිවේ. පාර දෙපස ෆයිනස් ගස් මතට, නිවෙස් වල වහල මත පෙරදින රාත්‍රියේ පතිත වූ හිම ක්‍රමයෙන් දිය වෙමින් වතුර බිංදු ලෙස රූරා වැටෙන දර්ශනය සිත් අලවන සුළුය.





            විනාඩි 45ක පමණ ගමනකින් පසු අප කුෆ්රි වෙත ලඟා වුණෙමු. කුෆ්රි කුඩා කඩමංඩියකි. වෙළඳසැල් බොහොමයක් සංචාරකයින්ට අවශ්‍ය බූට් සපත්තු, කබා ආදිය කුලියට දෙන තැන්ය. නැතහොත් යැක් ගවයන් පිටේ හෝ පෝනින් පිටේ කඳු තරණයට පහසුකම් සපයන ස්ථානයන්ය. රස කැවිලි, සිහිවටන, අත්කම් නිර්මාණ සහ නොයෙක් තොරම්බල් අලෙවිකරන කඩපිල් මඟ දෙපස බොහෝය.
            අප ප්‍රවේශ පත්‍ර ගෙන ඉන්දිරා ගාන්ධී ජාතික උද්‍යානයේ පා මඟ ඔස්සේ කන්ද තරණය කරමු. මඟ ලිස්සන සුළුය. ඇතැම් තැනෙක එක යායට හිමය. ළමෝ, වැඩිහිටියෝ කවුරුත් පොඩිවුන් සේ ඇතිවන තුරු හිම සෙල්ලම් කළෝය. හිම බෝල සාදා අත් පුපුරු ගසන්නට පටන් ගති.



 Dr Asela Perera
MBBS, MSc (Medical Admin)
Member of International Association for Ladakh Studies



No comments:

Post a Comment