Wednesday, October 12, 2016

පැන්ඩා කැදැල්ල


සතුන් කූඩුකර ප්‍රදර්ශනය කිරීම පිළිබද සත්ත්ව ලෝලීන් හා පරිසර වේදීන් අතර විවිධ මත පවතී. සතුන්ගේ නිදහස අහිමි කිරිමට මිනිසුන් වශයෙන් අපට ඇති අයිතිය කුමක්ද? මීට විසදුම් ලෙස ලෝකයේ බොහෝ දියුණු සත්වෝද්‍යාන හැකිතාක් ස්වභාවික පරිසරයක් සත්වෝද්‍යානය තුල නිර්මාණය කිරීමට කටයුතු කරයි. තායිලන්තයේ චියංග් මායි සත්වෝද්‍යානයද ස්වභාවික පරිසරය රැකගත් හරිත සත්වෝද්‍යානයක් ලෙස සැලකේ.




            චියංග් මායි  නගරයේ සිට හුආය් කාඕ Huai Kaeo පාරේ කිලෝ මීටර දහයක් ගිය තැන සුදීප් කන්ද පා මුල Doi Suthep සත්වෝද්‍යානය පිහිටා ඇත. පන්දහසකට අධික සතුනට සෙවන සදන මෙය අක්කර 21 ක විශාල ත්වයකින් යුක්තය . හිම අරණ, මින් මැදුර හා පැන්ඩා නිවස සත්වෝද්‍යානයේ වඩාත්ම ආකර්ශණීය ස්ථාන අතර ප්‍රමුක වේ. පෙන්ගුයින් උයන, කුරුළු උයන, උරග උයනද උද්‍යානයට පැමිනෙණ බොහෝ දෙනා අතර ජනප්‍රිය වේ.
පැන්ඩා පවුල වෙසෙන පැන්ඩා නිවසට ඇතුළු වීමට වැඩිහිටියෙකුට බාත් සියයක්ද ළමයෙකුට බාත් පනහක්ද බැගින් වෙනමම ප්‍රවේශපත්‍ර ලබාගත යුතුය. චුවාන්ග්  චුවාන්ග් Chuang Chuang සහ ලින් හුයි Lin Hui පැන්ඩා යුවල මෙහි වාසයට ආවේ වර්ෂ 2003 දෙසැම්බර් දීය. ඒ චීනයේ ශිචුආන් පළාතේ සිටය. මෙම යුවලට දාව 2009 දී මෙලව එලිය දුටු ලින් පිංග් පැන්ඩා පැටවා නිසා පැන්ඩා නිවසට සංචාරක ආකර්ශණය තවත් වැඩිවිය. දැන් මෙම නිවසේ පැන්ඩා පවුලම සතුටින් කල්ගත කරති.
ලින් පිංග් තාමත් හුරුබුහුටි කෙළිලොල් පැටවෙකි. විටක උණ දළු මිටක් ගෙන අනුභව කරන ඌ මෙහොතකින් මව් පැන්ඩා තුරුලට පැන කෙළිදෙලෙන් පසුවේ. නැතිනම් ගල් තලාවක් මතට වැද කුකුළු නින්දකට වැටේ. චුවාන්ග් චුවාන්ග් පිය පැන්ඩා විශාලය. වලසකු මෙන් ගමන් ලතාව තිබුනද පෙනුම ඉතා අහින්සකය.  හුදකලාව ප්‍රිය කරයි. කොපමණවත් නින්දේය.

 

ලින් හූයි පැන්ඩා මව සිටිනුයේ ලින් පිංග් කෙරෙහි ඇස ගසා ගෙනය. ඇය පිය පැන්ඩාට වඩා තරමක් කුඩාය. සුන්දර ගමන් ලතාවත් තැන්පත් මදක් ආඩම්බර විලාසයත් නිසා ඇය පැන්ඩා පවුල නරඹන කාගේත් සිත්ගනී.
මෙම පැන්ඩා පවුල දැන් තායිලන්තයේ ජාතික වස්තුවක් ලෙස සැලකේ. පැන්ඩා පවුලේ ආරක්ෂාව පැන්ඩා නිවසේ මූලිකම පරමාර්ථයයි. උන්ට සැපදායී උෂ්ණත්වයක් ගෘහය පුරාම පවත්වා ගනී. පැන්ඩා යුවලගෙන් තව තවත් පැටවුන් බෝකිරීමට අවශ්‍ය විද්‍යාගාර පහසුකම් පවා පැන්ඩා නිවසේ ස්ථාපනය කර ඇත. මේ මගින් වදවී යාමට මුහුණ පා ඇති පැන්ඩාවන් මතු පරපුර උදෙසා රැකගැනීමද එක් අරමුණකි.
මා කලින් සිතා සිටියේ කොතෙක් බැලුවත් ඇති නොවන බැලිල්ල අලි බැලිල්ල කියාය. බලාගෙන ගියවිට පැන්ඩා බැලිල්ලත් එසේමය. නමුත් ප්‍රේක්ෂකයන්ට ලැබෙනුයේ සීමත කාලයකි.

මක් නිසාදයත් වරකට පැන්ඩා නිවසට ඇතුළු කරනු ලබනුයේ සුළු පිරිසක් බැවින් තවත් බොහෝ දෙනා පැන්ඩා පවුල දැකගැනීමේ රිසින් පැන්ඩා නිවස ඉදිරිපිට දිගු පොලිමේය. ඉතින් අකමැත්තෙන් වුවද පැන්ඩා පවුලට සමු දුන්නෙමු.   


Dr Asela Perera
MBBS, MSc (Medical Admin)

Member of International Association for Ladakh Studies

   

No comments:

Post a Comment