ශිම්ලා හි සුදු ජාතිකයකු මුලින්ම
නිවසක් තැනුයේ වර්ෂ 1822 දී ය. චාල්ස් කෙනඩි මහතා විසින් තැනූ නිසා එය “කෙනඩි නිවස”
ලෙස හැඳින්වේ. ඉන්දීය යටත් විජිතයේ වසන්ත අගනුවර ලෙස ශිම්ලා නිල වශයෙන් බ්‍රිතාන්‍යන්
විසින් නම්කරනු ලැබුවේ වර්ෂ 1864 දී ය.
සෞම්‍ය දේශගුණයත්,
ස්වාභාවික සුන්දරත්වයත් දශක හතරක් වැනි කෙටි කාලයක් තුල අග නගරය ලෙස කිරුළු
පැලඳීමට ශිම්ලාවට මඟ පෑදීය. ඒ සඳහා මූලික පිඹුරුපත් සැකසුයේ ශ්‍රීමත් ජෝන් ලෝරන්ස්
ය.
ශිම්ලා නුවර කේන්ද්‍ර
කර ගනිමින් බ්‍රිතාන්‍යයන් විසින් ඇතිකල ගොඩනැගිලි සංස්කෘතිය අදටත් එහි අනන්‍යතාව
සුරකිමින් විරාජමානව වැජබේ. වරක් පැමිණියකු නැවත නැවතත් තමන් වෙත ආකර්ශනය කරගැනීමට
මේ නිසල ගොඩනැගිලි වලට හැකිය. මේ ඇතැම් ගොඩනැගිලි අද යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට
ද ඇතුලත් ය.
මා වසර අටකට පෙර
මෙහි පැමිණි අවස්ථාවේ එයින් නික්මුනේ නැවතත් ශිම්ලා වෙත එන්නෙමියි යන අදිටනෙනි.
මෝල් වීදිය සැඳෑවත්
සමඟ බොහෝ කඩිසර වේ. සංචාරකයින්, සැඳෑසුව විඳින්නන්, එකිනෙකා හමු වී ඕපාදූප කථාබහ
කිරීමට රැස්වන නුවර වැසියන්, ව්‍යාපාර , රාජකාරි කටයුතු ආදී නෙක උවමනාවන් වෙනුවෙන්
වීදියේ සැරිසරන්නන්ගෙන් අඩුවක් නොමැත.
රිජ් Ridge හී සිට මෝල් Mall වීදිය ඔස්සේ සුප්‍රකට ක්‍රිස්තුදේව
පල්ලිය පසුකරමින් කඩපිල් අතරින් පහළට යනවිට කළුගලින් බැඳි විශාල ගොඩනැගිල්ලකි. මා
සොයමින් යන ගෙයිටී Gaitee රඟහල මෙයයි. ගෙයිටී රඟහලේ
වේදිකා නළුවක් නැරඹීමට තිබුණේ ලොකු ආශාවකි.
“මේ සතියේ කිසිදු
නාට්‍ය දර්ශණයක් නෑ”ප්‍රවේශයේ සිටි නිලධරුවා පැවසීය.
“නමුත් ඔබට පුළුවන්
රුපියල් විසිපහක ප්‍රවේශ පතක් අරගෙන රඟහල නරඹන්න. මම සියල්ල විස්තර කර දෙන්නම්”
ඔහුගේ වදනින් මා හිසේ මලක් පිපුණි.මේකට කියන්නේ “මඟපෙන්වන්නා සමඟ ගෙයිටි චාරිකාව”
කියලා.
ඉංග්‍රීසි සමාජය ව්‍යාප්තවීමත්
සමඟ කලා රසාස්වාදයේ අවශ්‍යතාවය දැනෙන්නට විය. 1840 දී ශිම්ලා හී මුල්ම නාට්‍ය
සමාජය බිහිවන්නේ එවන් පසුබිමක ය. ඒ වන විටත් අරඹා තිබූ ගෙයිටී රඟහල ඊට තෝතැන්නක්
විය. ඒ 1840 දීය. ගෙයිටී රඟහලේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් අද අප පිවිසෙන
ස්ථානයට රැගෙන ඒමට ලයීටන් ආර්යාව මුල් විය.
රඟහලේ ඉදිකිරීම්
අරඹනුයේ වර්ෂ 1867 දී ය. ඒ ගොතික් ගෘහ නිර්මාණ කලාවේ ස්වරණමය යුගයයි. ඒ නිසාමදෝ
ගෙයිටී රඟහලට ද වික්ටෝරියානු ගොතික් ආභාෂය නොමද ව ලැබී ඇත. ගෘහ නිර්මාණ සැලැස්ම
හෙන්රි අර්වින්ගේ ය.
අප
මුලින්ම ප්‍රවේශ වූයේ අර්ධ ඕවලාකාර ප්‍රේක්ෂකාගාරයටයි. “ග්ලාස්ගොව්, බාසිලෝනා හා
වර්සෝ යන නගරවල මේ හා සමාන රංග ශාලා තුනක් තියෙනවා. නමුත් මේ අතරින් අදටත් නාට්‍ය
රඟ දක්වන්නෙත් එලෙසින්ම සුරැකි ඇත්තෙත් ශිම්ලාවල ගෙයිටී රංග ශාලාව පමණයි.” ඔහු
ආඩම්බරයෙන් පවසයි.
“ආසියාවේ ඇති වික්ටෝරියානු ගොතික් ශෛලයට ඉදිවුන එකම රඟහල
මෙයයි.” අපි ප්‍රේක්ෂක අසුන් වල සිට සවන් දෙන්නෙමු. තෙමහල් ප්‍රේක්ෂකාගාරයේ ආසන 350 ක පහසුකම් ඇත.
අර්ධ ඕවලාකර ප්‍රේක්ෂකාගාරයේ මැද චතුරසශ්‍රාකාර කොටසේ ආසන මදක් කවාකාර ලෙස
පෙළගස්වා ඇත. ඉදිරිපස සිට පසුපසට ක්‍රමාණුකූලව ප්‍රේක්ෂකාකාරයේ උස වැඩිවන ලෙස සකසා
ඇති බැවින් පසුපෙළටද හොඳින් වේදිකාව දර්ශණය වේ. ඒ වටා යූ හැඩයට ඇති උස් පීඨිකාවේ
සැකසූ යුගල ආසන බැල්කනිය නැතිනම් දෙවන මහල ලෙස සැලකේ. බැල්කනියේ පසුපස ආසන විශේෂ
කුටි තුනක් ලෙස සකසා ඇත.
ඒ නිරන්තර මෙහි පැමිණි කලා රසකාමීන් වූ යටත් විජිත හමුදා ප්‍රධානී
හා ආණ්ඩුකාරතුමාගේ ප්‍රයෝජනය උදෙසාය.
ශිම්ලා ආධුනික නාට්‍ය සමාජය මුල් යුගයේ ගෙයිටී වේදීකාව සරසා
ඇත. “ද ලෑම්ප්” වේදිකා නාට්‍යෙයන් ඇරඹි රංග චාරිකාවේ දී බර්නාඩ් ෂෝ, විලියම්
ෂේක්ස්පියර් ඇතුළු සම්භාව්‍ය නාට්‍යකරුවන්ගේ බොහෝමයක් නාට්‍ය රඟ දක්වා ඇත. රාජේෂ්
කපූර්, සන්ජේ කපූර්, ජෙනීෂර් ස්කැනියල් සිට අද දක්වා බොහෝ භාරත තාරකාවෝ මෙම
වේදිකාව ඔපවත් කර ඇත.
බැල්කනියට ඉහළින් එලෙසම යූ හැඩයට තෙවන මහල පිහිටා ඇත.ප්‍රේක්ෂකාගාරයේ
ඉදිරිපස තෙවන මහලේ සිට දෙපසින්ම වේදිකාව දෙසට යොමුවන සේ සැකසු ත්‍රිකෝණාකාර කුටීර
දෙකක ලාම්පු දෙකකි. “මේ තමයි එදා රඟහලේ භාවිතා කෙරුණු භූමිතෙල් පහන් ආලෝක කදම්භ ප්‍රභව”
“ශිම්ලා නගරයට මුලින්ම විදුලි බලය ලැබුනේ 1896 දී . රංග
ශාලාව නිර්මාණය කෙරුනෙ විදුලි බලය නොමැති යුගයක” රඟහල චාරිකා මඟපෙන්වන්නා විස්තර
කරයි.
මොනතරම් අපූරු ලෙස පවතින සම්පත් උපයෝගී කරගෙන උසස් කලා
නිර්මාණයන් එළි දක්වන්නට වේදිකාව සකසා ඇත් ද?
හඬ…? මා සිත
නැඟුනු පැනය දැනුන නිසාදෝ ප්‍රේක්ෂකාගාරයේ බැල්කනියේ බිත්තිවල සියුම් කැටයමින් කල
චිත්‍රවලින් සමන්විත රන්වන් පාට පත්‍ර වලින් කළ සැරසිල්ල දෙස අපේ අවධානය යොමුකළ
ඔහු “මේ සැරසිලි යොදාගෙන තියෙන්නෙ අලංකාරය සඳහා පමණක් ම නොවෙයි. මේ පත්‍ර සකසා
තියෙන්නේ විශේෂිත පල්පයකින්. වේදිකාවේ කෙරෙන කෙඳිරීමක් පවා ප්‍රේක්ෂකාගාරයේ සෑම
කොනකටම ඇසෙන්න උපකාර වෙනවා මෙන්ම රඟහල තුල දෝංකාරය ද නැති කරනවා.” හඬ පාලනය සිදුවූ
අයුරු පැහැදිලි කරයි.
රඟහලට මුලින් ම තාක්ෂණික හඬ පාලන ක්‍රම හඳුන්වා දී ඇත්තේ
වර්ෂ 1938 දීය. එතෙක් අඩසිය වසක් හඬ පාලනය සඳහා භාවිතා කෙරුනේ මෙවැනි නිර්මාණශීලී
උපක්‍රමය.
වේදිකාවේ ද නොයෙක් ඇස්බැන්දුම් සඳහා උපක්‍රම භාවිතා කෙරේ.
නළු නිළියන් හැඩගැන්වීම සඳහා මෙන්ම පෙර පුහුණුවීම් සඳහා ද සපයා ඇති පහසුකම් නූතන
රංග ශාලාවකට නොදෙවෙනිය. පෙර පුහුණුව සඳහා වෙනමම වේදිකාවක් ඉහළ මාලයේ ඇත. ඊට යාබදව
ඇති ඡායාරූප සහ චිත්‍ර සමුච්ඡය නොවරදවාම නැරඹිය යුතුය. ගෙයිටී රඟහලේ පමණක් නොව
ශිම්ලා නුවර ඵෙතිහාසික සිදුවීම් රැසක ඡායාරූප හා චිත්‍ර එහි ප්‍රදර්ශනය කෙරේ. 1921
දී මහත්මා ගාන්ධි තුමාගේ ශිම්ලා ගමන, ජවහර්ලාල් නේරු තුමන්ගේ ශිම්ලා පැමිණි
අවස්ථාවන්, ගෙයිටී රඟහලේ රඟදක්වන ලද නාට්‍යවල අවස්ථාවන් ඒ අතර කැපී පෙනේ.
හෙන්රි අර්වින් ගේ මුල් නිර්මාණයට හානි නොවන ලෙස රඟහලේ
අළුත්වැඩියාවන් සිදු කර ඇත. කලා, සංස්කෘතික හා සම්ප්‍රදායික උරුමයන් පිළිබඳ
දෙපාර්තමේන්තුව ගෙයිටී රඟහල වර්තමානයේ ද ඉතා හොඳින් රැකබලා ගැනීම කලා රසික දනමන
තුටු කරන කරුණකි.
ගෙයිටී රඟහල් චාරිකාවේ අප සැමට වේදිකාවට ප්‍රවේශ වීමට මොහොත
උදාවිණි. නූතන විදුලි ආලෝක කදම්භයන්ගෙන් අප වේදිකාව ආලෝකමත් කරගත්තෙමු. ප්‍රේක්ෂකාගාරයේ
විදුලි බුබුළු නිවා දැමුණි.
“රඟහල දැන් ඇත අඩ අඳුරේ..........” අපි වේදිකාවේ රංගනයේ
යෙදෙමු.
Dr Asela Perera
MBBS, MSc (Medical Admin)
Member of International Association for Ladakh Studies
No comments:
Post a Comment