කඳුබෑවුමකට පිට දී ඇති කාඩැංග් (Kardang)
ග්‍රාමය සහ ආරාමය පිහිටියේ භාගා ගඟට එගොඩිනි. තාන්දී ආසන්නයේ ඇති
පටු යකඩ පාලමෙන් මාර්‍ගයට ප්‍රවේශවිය හැක. අප රළු බොරළු කඳු මඟේ
ඉහළට නගින්නෙමු. එක පොදියට පිහිටි මැටියෙන් හෝ කඵගලින් බැඳි දෙමහල් හෝ
තෙමහල් නිවාස කීපයකින් යුත් ඉපැරණි ගම්මානය පසුකල විට කෙත්බිම් අඩුය. තෘණ භූමියේ
තැනතැන පොප්ලර් සහ විලෝ ගස් ය. ඒ අතර තණ බුදින ගවරංචුය.
කාඩැංග් ග්‍රාමය කලක් ලොහෝල් හී
කේන්ද්‍රස්ථානය ලෙස පැවතින. ගොම්පාව පිහිටියේ ග්‍රාමයේ ඉහළින්මය. ඒ මුහුදු මට්ටමේ
සිට මීටර් 3500ක් ඉහළිනි. ඉන් ඉහළට කඳු බෑවුම නිරුවත්ය. මෝටර් රථයකට ගොම්පාව
ආසන්නයටම යාහැකි නිසා ගමන පහසුය.
දොළොස්වන ශතවර්ෂයේ ඉදිවූවායැයි සැලකෙන
කාඩැංග් ගොම්පාව රතු තොප්පි නිකායේ ප්‍රධාන පූජනීය ස්ථානයකි. ගොම්පාවට කිසිකලෙක
සතුරු උවදුරැ සිදුවී නොමැත. නමුත් කලකට ඉහත කඳු බෑවුමේ සිදු වූ නාය යෑමක් නිසා
ගොම්පාවේ ඉදිරි කොටසට දැඩි හානි සිදුවිය. මේ නිසා ඉදිරිපස කොටස කොන්ක්‍රීට් කණු සහ
ස්ලැබ් යොදා නැවත සකසා ඇත.
ආරාමයේ
බුදු මැදුර සහිත ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපසට පැමිණි විට ඊට පහළින් පුළුල් නිම්නයේ
පිහිටි කීලෝංග් Keylong නගරය ඉතා
සුන්දරව දිස්වේ.සරුසාර කෙත් බිම් සහ පොප්ලර් ගස් අතර පිහිටි නෙක පැහැ ගොඩනැගිලි
හරිත පසු බිමේ සැඳෑ හිරු රැසින් බැබලේ. නගරය අසලින්ම භාගා ගංඟාව ගලා බසී. පසුබිමේ
පිහිටි කඳුවැටිය ගහකොලෙන් තොරය. තැනතැන තෘණ වලින් වැසී ඇත. එහි ඇස පෙනෙන මානයේ
ගොම්පාවන් තුනක් දිස්වේ.
කීලෝංග්
හිමාචල් ප්‍රාන්තයේ වැඩිම ගොම්පා ප්‍රමාණයක් ඇති ප්‍රදේශයයි. ගොම්පා දේශය යන නම පට
බැඳී ඇත්තේ ඒ නිසාය.
අනෙක් පස කඳු වලල්ලේ ඇතැම් ශිඛරයන්
හිමෙන් වැසීගත් වනමය. ගොම්පාවට ඇතුළුවන ස්ථානයේ මකර තොරණකි. එහි හරස් බාල්කයේ දෙපස
මකරුන් දෙදෙනෙකි. මැද ඔටුන්නකි.
මුළු විහාරයේම පිටත සුදු තීන්ත
ආලේපිතය. බුද්ධ මන්දිරය පිහිටියේ තෙමහල් ගොඩනැගිල්ලේ බිම් මහලේය. එහි ප්‍රවේශ
දොරටුවේ උළු අස්සේ වර්ණ සිතුවම් සිත්තම් කර ඇත.
ගියාල්චෙන් ලාමාතුමා අපට විහාරයේ
විස්තර කියාදෙන්නට කාරුණික විය.
ප්‍රධාන පූජාසනයේ ගෞතම බුදුන්ගේ රන්
පැහැ ඉඳි පිළිමයකි. ගෞතම බුදුන්ගේ දකුණු පසින් ගුරු පද්මසම්භාවා සහ වජ්ජ්‍රතාරා ප්‍රතිමාත්
වම්පසින් අමිතාභය බුදුන්ගේ සහ ග්‍රීන්තාරා දෙවඟනගේ ප්‍රතිමා ඇත.
පූජාසනය පිටිපස බිත්තියේ ඉහළ සහ දෙපස
බිත්තිවල කුටීර රැසකින් යුත් පුස්තක රැඳවුමකි. අතිපූජනීය තැංගූර් සහ කැන්ගූර්
පුස්තක එහි තැන්පත් කර ඇත. එය ආසියාවේ එවැනි විශාලතම පුස්තක එකතුවයි. මුළු පුස්තක
එකතුව 108ක් බව ගියාල්චෙන් ලාමාතුමා පැවසීය. ඉපැරණි තැංග්කා සිතුවම් කීපයක් ද
විහාරයේ ඇත.
බිත්තිවල වසර නවසියයක් පැරණි සිතුවම්
තැනින්තැන ඉතිරිවී ඇත. බුද්ධ චරිතයේ විවිධ අවස්ථා ඒවායේ නිරූපනය වේ. නාය යෑමෙන්
විහාරයට හානි සිදුවීමෙන් බිතුසිතුවම් බොහෝමයක් විනාශ වී ඇත. බොහෝමයක් චිත්‍ර
අළුතින් විහාරගේ ඉදිකළ පසු සිතුවම් කළ ඒවාය. පෞරාණික පිළිම රැසක් ද විනාශ වී ඇත.
වජ්‍රතාරා ප්‍රතිමාව සහ අවලෝකේතීශ්වර ප්‍රතිමා
කීපයක් සුරැකී ඇත.
ක්‍රමයෙන් අභාවයට යමින් තිබූ ආරාමය
1912 දී නොර්බූ ලාමා තුමන් විසින් මහත් වෙහෙසක් දරා ප්‍රතිසංස්කරණය කර අතීත
පෞඩත්වය පතිස්ඨාපනය කර ඇත.
ප්‍රධාන විහාරයට යාබදව දකුණු පසින්
තෙමහල් ගොඩනැගිල්ලේ ලාමාවරුන්ගේ ලැඟුම්හල් පිහිටා ඇත. විවිධ වයසේ ලාමාවරුන් මෙන්ම
ලාමාවරියන් රැසක් ආරාමයේ වාසය කරති. භාවනානුයෝගීව වැඩ සිටීම සඳහාම මෙහි පැමිණෙන
ලාමාවරුන් ද සිටිති.
“ශීත
සෘතුව ආරාම වාසී ලාමාවරුන්ට දුෂ්කරම කාලපරිච්ඡේදයකි. අධික ශීතලත්, ගොඩනැගිලිවල වහළ
මත අඩිගණනක් උසට එකතුවන හිම ඉවත්කිරීමත් ප්‍රධානම දුෂ්කරතාවයන්” ගියාල්චෙන්
ලාමාතුමා පැහැදිලි කරයි.
ප්‍රාර්ථනා චක්‍රය පිහිටියේ විහාරයේ
වම් පසිනි. ගියාල්චෙන් ලාමාතුමා අපට කොඩිවැලක් තෑගි දුනි.
“මේකට
කියන්නේ ‘ලුංග්තා’ කියලා” ඔහු විස්තර කරයි.
“ටිබෙට් බසින් ලුංග් කියන්නෙ පියාඹන
කියන අර්ථයට තා කියන්නෙ අශ්වයට”
එසේ නම් මේ පියාඹන අශ්වයා කොඩියයි.
ලුංග්තා කොඩිවැලක කහ, කොළ, රතු, සුදු සහ නිල් පැහැයෙන් කොඩි තිබේ. සෑම කොඩියකම මධ්‍යය්
පියාඹන අශ්වයාගේ රූපය ඇත.
“ආශිර්වාද කොඩි ලෙසද මේවා හඳුන්වනවා
.මෙහි ගෞතම, අමිතාභය ආදී බුදුවරුන්ගේ සූත්‍ර මුද්‍රණය කරල තියෙනවා. යම් තැනක මෙම
කොඩි වැලින් සැරසීමෙන් නරක පලායන බවත්, හොඳ පැමිණෙන බවත් විශ්වාස කෙරෙනව”
හිමාල දේශයේ සෑම බෞද්ධ නිවසකම පැතලි
වහලයේ සිව්කොන කණු හතරක ලුංග්තා කොඩිවැල් ඇද ඇත. ගොම්පාවල ඉදිරිපස හා මැද මිදුලේ
ඇති උස් කොඩිගස වටා දසත ලුංග්තා කොඩිවැල් ඇද ඇත. තැනතැන ඇති ස්ථූප වටාද කොඩිවලින්
සරසා ඇත. තංග් ලැංග් ලා, බරාචාලා, කාදුංග් ලා, වරිල්ලා ආදී කපොලු වලද ලුංග්තා
කොඩිවැලින් සරසා ඇත. නගරයේ වීදිවල, ව්‍යාපාරික ස්ථානවල මේ කොතැනක් ලුංග්තා
කොඩිවැල් දැකිය හැක.
අඳුරත් සමඟ දසතින් ශීත සුළං හමා එනුයේ
සමුගැන්මට පාර කියන්නට මෙනි. නමුත් ගියාල්චෙන් ලාමාතුමා අපට නිකම්ම සමුදුන්නේ නැත.
පැණි වලලු වැනි දේශීය රසකැවිල්ලකින් සහ උණුසුම් තේ කෝප්පයකින් අපට සංග්‍රහ ලැබුණි.
ගතත් සිතත් උණුසුම්ව අප සමුගත්තෙමු.
Dr Asela Perera
MBBS, MSc (Medical Admin)
Member of International Association for Ladakh Studies
No comments:
Post a Comment