Sunday, October 30, 2016

ලෙහ් සිට ශ්‍රීනගර් දක්වා


            ලඩාකයෙන් අපට සමුගැනීමට කාලය ලංවෙමින් ඇත. දිල්ලියේ දින කීපයක් ගතකිරීමටත් ආග්‍රා ගොස් දිවියේ දෙවන වරටත් ටජ්මහල නැරඹීමටත් සැලසුම් කර සිටිමු. ලෙහ් සිට නැවත දිල්ලියට යාමට ක්‍රම දෙකක් ඇත. පළමුවැන්න බකුලා ගුවන්තොටුපළින් දිල්ලිය බලා ගුවනින් යාමය. නමුත් මේ දිනවල ලඩාක් වෙත ඇති අසීමිත සංචාරක තදබදය නිසා ගුවන් ටිකට්පත්වල මිල ගිනිගණන්ය. ඉන්දීය රුපියල් දොලොස්දහසකට අඩුවෙන් මිල පහත නොවැටේ. එනිසා ඒ අදහස අත්හළෙමු.
            දෙවැන්න ගොඩබිමින් යාමය. ඒ සඳහා විකල්ප මාර්ග දෙකකි. අප ආ මඟ ඔස්සේ නැවත කිලෝ මීටර 470ක් දුර ගෙවා මනාලී වෙත ගොස් මනාලී සිට දිල්ලියට යා හැක. මනාලි සිට දිල්ලිය දක්වා දුර කිලෝ මීටර 450 කි.



            ලෙහ් සිට ශ්‍රී නගර් දක්වා ගොස් එතැන් සිට දිල්ලිය බලා යෑම අනෙක් විකල්පයයි. ලෙහ් ශ්‍රී නගර් අතර දුර කිලෝ මීටර 430කි. මා සැලසුම්කර සිටියේ අළුයමින්ම පිටත්ව ලිකීර්, අල්චි, ලාමායුරු සහ මුල්බෙක් නරඹා රාත්‍රීය කාර්ගිල් වල ගත කර පහුදා ශ්‍රී නගර් දක්වා පිටත්වීමටය. එමඟින් මේ සුන්දර මාර්ගය හොඳින් දැකබලාගත හැක. නමුත් ශ්‍රී නගර් බලා යන ටැක්සි රථ බොහෝමයකට ලිකීර් සහ අල්චි වෙත සංචාරකයින් රැගෙන යාමට බලපත්‍ර නොමැත. සොනාම් ලේ ශ්‍රී නගර් හී වෙසෙන සිය මිතුරකු මඟින් එහි තත්ත්වය විපරම්කර බැලුවේය. ශ්‍රී නගර් ඉතා සාමකාමී බවත් සංචාරකයින් සඳහා සුරක්ෂිත බවත් ඔහු විසින් දන්වන ලදි. ශ්‍රී නගර් සිට දිල්ලි දක්වා වන කිලෝ මීටර 900ක දුර සුඛෝපභෝගී වොල්වෝ බස් රථයක යාමට සම්පූර්ණ දිනක් ගතවේ. ශ්‍රී නගර් සිට ජම්මු දක්වා ටැක්සියක ගොස් ජම්මු තාවී දුම්රියපලේ සිට දිල්ලිය දක්වා දුම්රියෙන් යාමට ද හැකිය. නමුත් ඒ සඳහා කලින් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කර ගත යුතුය.
ඩොක්ටර්ට පහසු විදිහ ශ්‍රී නගර් ඉඳලා දිල්ලි වලට ෆ්ලයි කරන එකආචාර්ය සොනාම්ගේ යෝජනාව විය.
එමඟින් ශ්‍රී නගර් වල වැඩිපුර දිනක් ගතකිරීමට ලැබෙන නිසාත් වෙහෙසකර ගමනක් මඟහැරෙන නිසාත් ඒ ගැන උනන්දු වූයෙමු. ඒ අනුව අප ගුවන් ටිකට්පත් නියෝජිත ආයතන වෙත ගොස් ශ්‍රී නගර් දිල්ලි ගුවන් ටිකට්පත් මිල සෝදිසි කළෙමු. ‘ගෝ එයාර්’ ගුවන් සේවයේ ඉන්දීය රුපියල් 4500ක මුදල අපට ලැබුණ හොඳම මිල විය. ගුවන් යානය සවස හතරට ශ්‍රී නගර් ගුවන් තොටුපළින් පිටත්ව පැයකුත් මිනිත්තු විසිපහකට පසු දිල්ලි ගුවන් තොටුපළට ලඟා වීමට නියමිතය.
සමුගැන්මට පෙර දින රාත්‍රී භෝජනය සඳහා අප එකතුවූයේ ආචාර්ය සොනාම්ගේ ප්‍රියතම පෙන්ගුවින් භෝජනාගාරයටය. ඒ 2014 අගෝස්තු 11වන දිනය.


 අපගේ ගමනේ අවසාන සැලසුම සැකසුනේ එහිදී ය. ඒ අනුව අප ලෙහ් සංචාරක කුලි රථයකින් ලිකීර් සහ අල්චි නරඹා පනස් දෙවන සැතපුම් කණුව අසල දී
ලෙහ් සිට ශ්‍රී නගර් බලා යන කුලී රථයට ගොඩවනු ඇත. ශ්‍රී නගර් සිට  සංචාරකයින් රැගෙන ආ ඉනෝවා රථයක් අල්ලා ගතහොත් ආපසු ගමනට අයකරනුයේ අඩු මුදලකි. ඒ අනුව ආචාර්ය සොනාම් රාත්‍රී භෝජනය අවසන ලෙහ් කුලී රථ ගාල වෙත ගියේ ඉනෝවා රථයක් ගැන තොරතුරු විපරම් කරන්නටය.
            අප සියළු දෙනාටම ඉන්දීය රුපියල් හත්දහසකට ශ්‍රී නගර් බලා යාමට ඉනෝවා රථයක් සොයා ගැනීමට ඔහු සමත් විය. අප වෙනත් කුලී රථයක ගොස් ලිකීර් අල්චි නරඹා 52වන සැතපුම් කණුව අසලට වී සිටියේ ශ්‍රී නගර් බලා යාමට නියමිත ඉනෝවා රථය පැමිණෙන තුරුය. එය පැමිණියේ නියමිත වේලාවට පැයක් ප්‍රමාදවය. ඒ අතරතුර ඉන්දු නදිය අසබඩ සිටි අප කුඩා ගල් කැබලි එක්කොට සැමරුමක් නිර්මාණය කළෙමු. ලඩාකයේ අපේ සිහිවටනය. මා ලඩාකයේ දී භාවිතා කළ ආචාර්ය සොනාම්ගේ සිම්පත ලෙහ් ටැක්සි රියදුරු මහතා අත නැවත ඔහුවෙත ලබා දීමට භාරදුනිමි. ජම්මු කාශ්මීර ප්‍රාන්ථයේ දි වෙනත් රටක හෝ ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තයකින් ලබා ගත් සිම්පතක් හෝ  ක්‍රියාත්මක කළ නොහැක. ඒ ආරක්ෂක හේතු නිසාය. අපගේ රෝමිං පහසුකම් ඉතිං කුමකට ද‍? ශ්‍රී නගර් යන තුරු ලඩාක් මිතුරන් සමඟ තිබූ සියළු සබඳතා ඒ අනුව බිඳ වැටෙනු ඇත.                                                                                                                            

අපගේ ඉනෝවා රියදුරු වසර 35ක පමණ මුස්ලිම් තරුණයෙකි. දීප්තිමත් බළල් ඇස් යුගල සහ මුහුණ පුරා මද වශයෙන් වැඩුණු රැවුල ඔහුට ගෙන ආවේ කපටි ආඩම්බරකාරයෙකුගේ පෙනුමකි. වැඩි කථා බහක් නොමැති ඔහු මළහිරු බසිනා සැඳෑයාමයේ කාශ්මිර දේශයේ සොඳුරු දසුන් අතරින් සිය රථය පදවයි.ලෙහ්-ශ්‍රී නගර්  අතර බස් සේවාවක් නොමැත. පොදු ප්‍රවාහන පහසුකමක් ලෙස ඇත්තේ ‘ෂෙයාර්ඩ් ටැක්සි’ ලෙස හඳුන්වන ටෙම්පෝ ට්‍රැවලර් වැනි වෑන් රථය. මිල ගණන් නියම කරනුයේ ආසනයකටය. සියළු ආසන පිරෙන තුරු ගමන් ආරම්භ නොවේ. මෙවැනි බෙදාහදාගෙන යන ටැක්සියක ආසනයක මිල ඉන්දියන් රුපියල් 1500 සිට 2000 අතර වේ.
 අප සමඟ ඉනෝවා රථයේ ගමන් කිරීමට නියමිතව සිටි ලඩාක් යුවල පොරොන්දු ප්‍රකාරව පැමිණ නැත. දැන් මුළු රථයටම සිටිනුයේ අප කණ්ඩායමේ හත්දෙනා පමණි. ඉඩ පහසුවේ ගමන් කරන්නට අපට පින පෑදුනේ එලෙසය.
සැඳෑ  ඉරුරැස සඳ බිම මත පතිතව තැඹිලි පැහැයෙන් දිලේ. විශේෂිත පාෂාණ සහිත මෙම පදෙසට සඳබිම යැයි කියනුයේ එහි ඇති භූවිෂමතාවයත්, පෙනුමත් සඳට සමාන නිසාය. සඳ බිම වඩාත් ලස්සනට පෙනෙනුයේ ලාමායුරු ආශ්‍රමයේ සිට බලන විටය.

 අප ලාමායුරු වලට ලඟාවන විට සැඳෑ හිරු සංස්කාර් කඳුවැටියේ සැඟ වෙන්නට ආසන්නය. සවස පහට ආශ්‍රමයේ බොහෝ විහාර හා ප්‍රතිමාල වල දොරගුළු වසනු ලැබේ. ඉනෝවා ටැක්සි රියදුරුගේ පැයේ ප්‍රමාදයට දඬුවම් විඳීමට සිදුවූයේ අපටමය. අප මුල්බෙක් පැමිණෙන විට රාත්‍රී හත පසුවී තිබුණි. මුල්බෙක් ශෛලමය බුද්ධ ප්‍රතිමාව නැරඹුවේ එහි ඇති විදුලි ආලෝකයෙනි.

ලඩාකයට බුදු දහම හඳුන්වා දුන් ප්‍රධාන ධාරා දෙකක් විය. ඉන් පළමුවැන්න ඉන්දියාවේ ගාන්ධාර දේශයේ සිට සේද මාවත ඔස්සේ ලඩාක් දේශයට ව්‍යාප්ත වූ ථෙරවාද බුදු දහමයි. කාලයකත් සමඟ මෙම බුදුදහම ලඩාකයෙන් අතුරුදහන් වූ අතර පසුව ගුරු පද්ම සම්භාවා විසින් ටිබටයේ සිට වජ්‍රයාන බුදුදහම හඳුන්වා දෙනු ලැබිණි. අදටත් ලඩාකයේ පවතිනුයේ මෙම වජ්‍රයාන බුදු දහමයි. මුල්බෙක් ගාන්ධාර ලක්ෂණ සහිත බුද්ධ ප්‍රතිමාවකි. ලඩාකයේ මුල් බුදු සමයේ ශේෂ වූ නිර්මාණ අතලොස්සෙන් එකකි, මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමාව.


මුල්බෙක් ලෙහ් - ශ්‍රී නගර් මාර්ගයේ අවසාන බෞද්ධ ග්‍රාමයයි. ඉන්පසු ඇරඹෙනුයේ මුස්ලිම් ගම්මානය.
ආචාර්ය සොනාම් අපට ශ්‍රී නගර් වලදී නවාතැන් ගැනීමට සුදුසු හෝටලයක් සොයා දෙන ලෙස ටැක්සි රියදුරාට පවසා ඇත. ඔහු වඩාත් ඇළුම් කළේ බෝට්ටු නිවාස වලටය. ඒ නිසා ඒ ගැන සොයා බලන ලෙස ද රියදුරාට දැනුම් දී ඇත.
ඉනෝවා ටැක්සි රියදුරු මුල්වරට මා සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළේ මුල්බෙක් පසුවූ පසුය. බෝට්ටු නිවාස වල මිල ඉතා අධික බවත් රාත්‍රීයේ ඒවා සොයා යාම අපහසු බැවින් තමා දන්නා හඳුනන හෝටලයක් අඩු මුදලකට සොයා දිය හැකි බවත් ඔහු පැවසීය. මා වැඩි උනන්දුවක් නොදක්වාම කාමර කුලිය විමසීමි. සිය ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගත් ඔහු සුවපහසු කාමරයක් ඉන්දියන් රුපියල් 1500කට ලබාගත හැකි බව පැවසීය.
රටේ ලෝකේ කරක්ගසා නේක මිනිසුන් ඇසුරු කර තෙම්පරාදු වී ඇති මා හට හිවලා ක්‍රමයෙන් බැටළු සම තුලින් මතුවන බව තේරුම් ගැනීමට අපහසු නොවිණි.
මිල බොහෝම සැරයිමා පැවසුවෙමි.
කමක් නෑ, මගේ හිතවත්ම තැනක් නිසා රු.1300 කට කථා කරන්නම්හිවලා ප්‍රතිචාර දක්වන්නට විය.
අපෝ වැඩියිමා ගත් කටටම කීවෙමි.
මේ මහ රෑ ඔයිට අඩුවෙන් කාමර සොයන්න බැහැ.ඔහු ක්‍රමයෙන් රැස්පොට් පෙන්නන්නට විය.
ශ්‍රී නගර් වල ඩැල් විල ආසන්නයේ හොඳ කාමරයක් රු. 800කට පහසුවෙන් ලබාගත හැකි බව මා අන්තර්ජාලයේ සෝදිසිකර දැනුවත්ව සිටියෙමි.
මගේ යාළුවෙක් ඉන්නව ශ්‍රී නගර්වල. මම එයාට කියලා හෝටල් කාමරයක් සොයා ගන්නම්. අපිව ශ්‍රී නගර් ඕල්ඩ් ටවුන් බස් ස්ටෑන්ඩ් එකෙන් දාන්න.මා එසේ පැවසුවද මා දන්නා ඕල්ඩ් ටවුමක් හෝ මා හඳුනන කිසිවකුත් ශ්‍රී නගර් වල නොමැත.
ඉනෝවා රියදුරු හිවලාගේ මුහුණ රතුවනු මා දුටුවේ ඉදිරිපසින් පැමිණි වාහනයක විදුලි ආලෝකයෙනි. ඔහු අප සමඟ කෝපයෙන් පසුවන බව පෙනේ. මහා ඝණ කළුවරත් දැඩි සීතලත් හාත්පස පරිසරය වෙලාගෙන ඇත. එක් පසක කන්දත් අනෙක් පස මහා ප්‍රපාතයත් අතර දඟර ම‍ඟ‍හි රථය විටෙක කන්දක් නඟී, නැතිනම් පල්ලමක් බසී. පාර පුළුල් කිරීම සදහා කදු කපා දමා ඇති බැවින් දුහුවිල්ලෙන් පාර නිරන්තරයෙන් වැසී ඇත.
            කුසගිනි නිසා රාත්‍රී ආහාරයට සුදුසු ස්ථානයක රථය නතර කරන ලෙස කීවත් අපේ කපටි හිවලාට ඒ ගැන වගක්වත් නැත.මේ අතරතුර ඩ්‍රාස් Drass ගම්මානයද පසුවිනි.ඩ්‍රාස් ස්ථිර මිනිස් ජනාවසයක් ඇති ලොව සීතලෙන් දෙවන ස්ථානය යැයි මා අසා ඇත.ශීත සෘතුවේදී මෙහි උෂ්නත්වය සෙල්සියස් අංශක සෘණ 50ට වඩා අඩුවේ.
            අවසානයේ රාත්‍රී ආහාරය සදහා ඔහු නතර කරනු ලැබුයේ කාර්ගිල් Kargil වල කුඩා භෝජනාගාරයක් ඉදිරිපිටය. ලඩාකයේ මුස්ලිම් බහුතරයක් ඇති කාර්ගිල් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය මෙයයි. කාර්ගීල් එතරම් පිරිසිදු නගරයක් නොවේ.මඟතොට, කඩපිල්, නිවාස කිසිවක කිසි කලඑළියක් නොමැත.නමුත් අපගේ වාසනාවට භෝජනාගාරයේ උණු උණු බත් සහ කුකුළුමස් ව්‍යාංජන තිබිණි.සියළු දෙනාම කුස පුරා බත් සහ කුකුළුමස්  අනුභව කළෝය. රසත් හොදය. මිලත් සාධාරණය. කපටි ඉනෝවා රියදුරාගේ බිලද මා විසින් ගෙවා දැමිණි. කුලී රථයක දුර ගමනක් යනවිට රියදුරාට කෑමෙන් බීමෙන් සංග්‍රහ කිරීම සිංහල අ‍පේ සිරිතයි.
            නැවත ගමන් අරඹා මද දුරක් ගිය පසු රියදුරා හඩ අවධි කරන්නට විය. රාත්‍රියේ ශ්‍රී නගර්වල ගැවසීම අනාරක්ෂිත බවත් ඒ නිසා ඔහු සොයා දුන් හෝටලයට කෙලින්ම ගොස් නවාතැන් ගන්නා ලෙසත් රුපියල් දහසකට කාමරයක් ලබාදිය හැකි බවත් පවසන්නට විය. සත්‍ය වශයෙන්ම විදේශික අපට පමණක් නොව ජම්මු කාශ්මීර වැසියන්ට පවා ශ්‍රී නගර් රාත්‍රියේදි අනාරක්ෂිත තැනකි. අප මුහුණදී ඇති තත්වයද සැලකිල්ලට ගෙන රුපියල් අටසීයකට කැමති බව මා කීවෙමි. අවසන මුදල තීන්දු විය.මා සිතට මද අස්වැසිල්ලක් දැනෙන්නට විය.
            රථයේ රියදුරු අසුනට යාබද අසුනේ සිටින මාගේ දෑස ගමන් වෙහෙස නිසා විටෙන් විට පියවේ.නමුත් ක්ෂණයකින් නැවත ඇහැරනුයේ රියදුරුට නින්දයාදෝයි බියෙනි.මේ මාර්ගයේ කෙස්ගසක ප්‍රමාදය අප සියළුදෙන අඩි දහස් ගනනක ප්‍රපාතයට අසුරු සැනින් රැගෙන යනු ඇත. නමුත් කපටි ඉනෝවා රියදුරු පුරුදු කාරයෙකි. ගමන සීරුවටය. මේ අතරතුර මාර්ගය ඉදිරිපස විශාල බැටළු රෑනක් නිසා ගමනට බාධා මතුවිය. මේ මහරෑ සිරුරු ගල්වෙන සීතලේ කම්බිලියකින් සිරුර වසාගත් ගොපල්ලන් දෙදෙනකු දහස් ගනනක බැටළුරෑනක් ඉදිරියට දක්කති. මේ මා ජීවිතයේ දුටු විශාලම සත්ත්ව සමූහයයි. බැටළු රෑන අතරින් අමාරුවෙන් ඉඩකඩ පාදාගෙන රථය ඉදිරියට ඇදේ. මෙලස අප කළු,දුඹුරු,සුදු ලෝම පිරුණු  පුෂ්ටිමත් බැටළුවන් අතරින් පැමිණි දුර කිලෝ මීටරයකට ආසන්නය. පහල නිම්නයේ තණ බිම්වල සිට වෙනත් තණ බිම් කරා ඉක්මනින් ගමන් කිරීමට රාත්‍රීකාලයේ ගොපල්ලන් මහ මඟ භාවිතා කරති. සංචාරක අත්පොත්වල මෙය හදුන්වනුයේ ‘ට්‍රැෆික් ජෑම්’ ලෙසය. ලෙහ් ශ්‍රී නගර් මාර්ගයේ සංචාරකයන් නිරන්තර මෙම ‘ට්‍රැෆික් ජෑම්’වලට හසුවන බව ඒවායේ සදහන්ය.
            අප අළුයම තුනට පමණ ශ්‍රී නගර් වෙත ලඟාවුනෙමු. අතරමඟ කීප පලකම රථය පරීක්ෂාවට ලක්කෙරිනි. නගරයේ තැනින්තැන වීදි ලාම්පු දල්වා ඇත. නගරය පාළුය. පුළුල් මාවත් දිග  රථය වේගයෙන් ඉදිරියට ඇදේ. නමුදු කුලී රථයක් හැරුනු විටවෙනත් වාහනයක් මුණගැහුනේ කලාතුරකිනි. අප නගරයේ එක් අන්තයක සිට අනෙක් අන්තයට තෙක් ගමන් කරණු දැනේ.කපටි රියදුරු කථාවක් බහක් නැත. අවසන නගර කෙලවරක හෝටලයක් ඉදිරිපිට රථය නතර කෙරිණි. අප නගර මධ්‍යයෙන් බොහෝ ඈත බව වැටහේ. නමුත් මේ කිසිවක් කිරීමට වෙලාව නොවේ.අප අපගේ බඩු මළුත් රැගෙන කපටියාට සමුදී හෝටල් සේවකයා -කපටියගේ මිතුරකු- සමග හෝටලයට ගියෙමු. කාමරය පුරා කාශ්මීර බුමුතුරුණු අතුරා ඇත. සුවපහසු ඇදන්, යාබද නාන කාමර, උණුවතුර... කාමරවල වල වරදක් නැත. අප සුව නින්දකට වැටුනෙමු.

            පසුදින උදෑසන අවට සෝදිසි කලෙමි. තේ කඩයක්වත් ලඟපාතක නැත. අප සිටිනුයේ නගර මධ්‍යයේ සිට කිලෝ මීටර හයක් පමණ ඈතින් බව දැනගතිමි.මෙහි සිටියොත් ශ්‍රී නගර් වල සිටින අපගේ දින දෙක අපතේ යනු ඇත. මා ලෙහ් වලදී මිලදිගත් ජම්මු කාශ්මීර සහ ලඩාක් සංචාරක අත් පොත පරීක්ෂා කලෙමි. ශ්‍රී නගර් සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ඩැල් ද්වාරය අසල පිහිටා ඇත. වහාම එහි ගොස් ඔහුන්ගේ උපකාර ලබාගෙන පහසු හෝටයක් සොයා ගත යුතුය. බෝට්ටු නිවාසයක් සොයාගැනීමටද බැරිවනු නැත. වහාම හෝටල් කාමරවලට දිනක කුලිය ගෙවා දැමූ අප බඩුමළුත් කරපින්නාගෙන පාරට වැටුනෙමු. මඟතොටේ යන අයගේ උපකාරයෙන් පළමුව මධ්‍යම බස් නැවතුමට යන බසයකට ගොඩ වුනෙමු. එතැන් සිට රෙසිඩෙන්සි පාරේ නැගෙනහිර කෙලවර පිහිටි සංචාරක මධ්‍යස්ථානය තෙක් පා ගමනින්ම ගමන් කළෙමු. එය පිහිටියේ නගරයේ කුලී රථගාල අසල නිසා සොයා ගැනීම පහසුවිය.
Dr Asela Perera
MBBS, MSc (Medical Admin)
Member of International Association for Ladakh Studies


No comments:

Post a Comment