Saturday, November 5, 2016

සුමූර් චුචික්


ලඩාකයට දෙසැම්බර් 21 දින සෑම වසරකම කෙටිම දිවා කාලයත් දීර්ඝතම රාත්‍රී කාලයත් ඇති දිනයයි. ඒ හිරුගේ ගමන් මඟ නිසාය. අද දින දිවා කාලයේ උෂ්ණත්වයද ඉතා අඩුවේ. නමුත් සුමූර් ගමට දෙසැම්බර් 21වඩාත් වැදගත් වනුයේ ප්‍රධාන  ලොසාර් Losar උත්සවය වන සුමූර් චුචික් Sumoor Chuchik  උත්සවය පැවැත්වෙන දිනය නිසාය. ටිබෙට් දින දර්ශනය අනුව අද දින එකොලොස් වන මස එකොලොස්වන දිනයි.

සුන්දර සුමූර් ග්‍රාමය
මෙවර සුමූර් චුචික් උත්සවයේ ප්‍රධාන දායකයින් වන්නේ තෝජී තොල්ඩාන් පවුල සහ ඔහුගේ සොයුරියගේ පවුලයි. උත්සවය ඇරඹෙන්නේ ඇගේ නිවසේ සිටය. පෙර දින සවස සිටම තෝජි තොල්ඩාන් සහ ඩිස්කිට් ඩොල්මා යුවලටත් දියණිය සෙරින්ජ් ස්කල්ටත් රාජකාරි බහුලය. පසුගිය දහවල් උත්සවය සදහා සොයුරිගේ නිවසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහය සදහා එළවළු මෝමෝ සාදන ලදී. මෝමෝ රසවත් ටිබෙට් ආහාරයකි. 

උදෑසන සියළු දෙනා ගමේ ගොම්පාවට එකතු වෙති. එහි සිදුවන චාරිත්‍ර වලින් පසු පිරිස විසිර යති. නැවත දහවල ප්‍රධාන උත්සවය ඇරඹේ. උත්සවය පැවත්වෙනුයේ සාම්ප්‍රදායක ලඩාක් විවාහ මංගල්‍යයක් ලෙසය. මනාලිය ලෙස රඟපානුයේ කුඩා පිරිමි දරුවෙකි. මනාලිය නැටුම් ගැයුම් වැයුම් පෙරටු කොටගෙන නිවසේ සිට ප්‍රධාන උත්සවය පැවැත්වෙන ගමේ ප්‍රජා මධ්‍යස්ථානයට කැදවාගෙන යති. සාම්ප්‍රධායික මංගල ඇදුමින් සැරසුන මනාලිය පෙරාත් හිස් වැස්ම පලදා ඇත. එමගින් ඇගේ වත මුළුමනින්ම වැසී ඇත. ගමේ තරුණ මහළු බොහෝ දෙනා උත්සවයට සහභාගීවනුයේ සාම්ප්‍රධායික ගොන්චා ඇදුමින් සැරසීය. මනාලයාගේ පාර්ශවය පැමිණෙනුයේ මංගල උත්සව භූමියටයි. උත්සවය ලඩාක් ජන ගී ගායනා නැටුම් සහ වැයුමෙන් අලංකාරවෙයි. ජන ගීත නැටුම් සහ වාදන ලඩාක් සමාජයේ සියළු වැදගත් සමාජ හා සංස්කෘතික අවස්ථාවන් සමග බද්ධ වී ඇත. උපත, විවාහය සහ මරණය ඒ අතර වැදගත් වේ.


උත්සව භූමිය ගොම්පාවක මැද මිදුල හා සමානය‍. මධ්‍යයේ කොඩි ගසකි. මනාල යුවල ඔහුන්ට  විශේෂ වූ ස්ථානයක අසුන් ගෙන ඇත. ඔහුන් දෙපස ගමේ උසස් සහ ප්‍රභූ අය වෙනුවෙන් අසුන් පනවා ඇත. සෙසු ප්‍රේක්ෂකයින් කොඩි ගස වටා ඇති නැරඹුම් පීඨිකාවේ අසුන් ගෙන සිටී. සංගීත කන්ඩායම පසකින් සිටී. නැටුම් කණ්ඩායම පිරිමි හත් දෙනෙකුගෙන් සමන්විතය. ලෝහිත පැහැ ගොන්චා ඇදුමත් එම පැහැයේම සාම්ප්‍රදායික හිස් වැසුමත් සුදු පැහැ සාටකයත් ඔහුන්ගේ  ඇදුම් ආයිත්තම්ය. දෑතින් ධවල සාටක ලෙලවමින් ඔවුහු කොඩි ගස වටා රංගනයේ යෙදෙති.
ලඩාක් ජන නැටුම් සරලය, මන්දගාමීය.බොහෝ වේලාවක් ශිල්පීන් රංගනයේ යෙදිති. අඩව් කස්තිරම් නොමැත. ප්‍රේක්ෂකයින් ඉතා ඉවසීමෙන් රසවිදින අයුරු අපූරුය. නරඹන්න්ට විටින් විට තොල ගෑමට චංග් දේශීය බීර සැපයේ. බීර සපයනුයේ චංග්මා ලෙස හදුන්වන බීර නිෂ්පාදනයේ යෙදෙන ජන කොටස් වලනි.
සෑම නැටුමක්ම අරඹනුයේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබාගෙනය. ජන නැටුම් වර්ග රාශියක් ඇත. පිරිමි නැටුම්, ගැහැණු නැටුම්, පියවර තුනේ නැටුම්, ලාහ්සොන්, ජොග්ගු නැටුම්, ඩ්‍රොග්පා නැටුම් ආදී වශයෙනි. විවාහ උත්සව වල රඟදදැක්වෙන නැටුම් වලට කියනුයේ නෙසොපා රංගන කියාය.
සංගීත කණ්ඩායම වාදනය අරඹයි. වාද්‍ය කණ්ඩායමේ සමාජිකයින් තිදෙනෙකි. දමන් Daman සහ සූර්ණා Surna ලෙස හැදින්වෙන බෙර වාදකයන් දෙදෙනෙකි. දමන් බෙරය තම්මැට්ටමකට සමාන ඊට වඩා මදක් විශාල බෙර දෙකකින් යුක්තය. තෙවෙනියා නලාව වාදනය කරයි.



රැගුම අරඹනුයේ සෙමිනි. පියවර තැබීම මන්දගාමීය. රංගන ශිල්පීන් රංගනයේ යෙදෙමින් කොඩිගස වටා ගමන් කෙරේ. පෙරමුනේ ශිල්පියා අත සුදු කොඩියකි. ක්‍රමයෙන් බෙර වාදනය වේගවත්වේ. ඊට අනුරූපව නැටුමද වේගවත්වේ. පියවර තැබීම මදක් කඩිසරවේ. රංගන ශිල්පීන් විටින් විට සේ......ඕ....සේ....ෂා....... ලෙස හඩ නගමින් ශිල්පීන්ගේ සිරුරේ හා පාදවල රිද්මය පවත්වා ගැනීමත් රුගුමේ ඒකාග්‍රතාව පවත්වා ගැනීමත් සිදු කරයි.



සාම්ප්‍රදායික ජන නැටුම්වල යෙදෙන වෘත්තිය නර්ථන ශිල්පීන් ලෙස පිරිසක් ලඩාකයේ නොමැත. බොහෝ ගැමියන්ට හා ගැමිලියන්ට නර්ථන හැකියාව ඇත.  
මෑතක් වනතුරු හුදකලා දේශයක්ව පැවති ලඩාකයේ ඊටම ආවේනික වූ සිරිත් විරිත් බොහොමයක් ඇත. මෙම විවාහ උත්සවයේද එවැනි සිරිත් විරිත් රැසක් දැකිය හැක. රංගන ශිල්පීන් හත් දෙනෙකු සිට දහතුන් දෙනෙකු සහභාගී වේ. ඔහුන්ට කියෙනුයේ න්‍යවෝපාවරු ලෙසය. විවාහයට නීත්‍යානුකූලභාවය ලබා දෙන සාක්කිකරුවන්ද ඔහුන්ය. නෙසෝපා රංගනය අතරේ චංමාවරු පැමිණ නරඹන්නන්ට හාස්‍ය රසය ගෙන දෙන කෙටි රංගන ඉදිරිපත් කරයි. අවසන මනාල යුවල න්‍යවෝපා රංගන ශිල්පීන් විසින් දෙපාර්ශවයේ වැඩිහියන්ට භාරදීමෙන් මංගල්‍ය අවසන්වේ.   
කාන්තාවන් හා පිරිමින්ගේ සාමූහික රංගනය ඇරඹෙනුයේ ඉන් පසුවය. එයට ශිල්පීන් බොහෝ දෙනෙකු සහභාගීවේ. පුරැෂ පාර්ශවයේ බොහෝ දෙනෙකු මේ වන විට චංග් බීර පානය කර පදමට මත් වී සිටී. නැටුමේ තාලය මදක් වැරදුනද කිසිදු අනිසි හැසිරීමක් ඔහුනගෙන් සිදු නොවේ. ලඩාක් සංස්කෘතියේ විශේෂත්වය එයයි. නැටුමට එක්වන කාන්තාවන් සාම්ප්‍රදායික ගොන්චා ඇදුමට උඩින් ලොහෝර් ලෙස හදුන්වන වර්ණවත් වූල් දෙවුර වසනයකින් සැරසී ඇත. මන්දගාමීව ඇරබෙන රංගනය ක්‍රමයෙන් වේගවත් වේ.



කෙටි දිවා කාලයට සමුදෙමින් දීර්ඝ රාත්‍රිය ඉක්මනින්ම ලඟාවේ. දැඩි සීතල උණුසුම් ඇදුම් අතරින් ඇට මිදුළු තෙක් දිවයයි. ක්‍රමයෙන් උත්සවය අවසන් අංගයට එලබේ. විවාහ වු මනාලිය දැන් ගැබ්බරය. දරැවා ප්‍රසූත කිරීමට සැරසේ. නාට්‍යානු සාරයෙන් රංගනය සිදුවේ. එහි ඇති හාස්‍යමය ජවනිකා නිසා ප්‍රේක්ෂකාගාරය සිනහවෙන් පිරේ. ඔල්වරසන් අත්පොලසන් නොවඩුව ලැබේ. අවසානයේ දරු ප්‍රසූතිය සිදුවේ. මෙලස බිහි කරන බිළිදා සංකේතවත් කරනුයේ සෞභ්‍යයය සහ යහපතේ ආගමනයයි. සියළු නරක, අභාග්‍යය සහ සතුරු කරදර පලා යනු ඇත. සුමූර් ග්‍රාමයට එලඹි නව වසර සදහා ගම්භාර දෙවියන්ගේ පිහිට ආශීර්වාදය නොවඩුව ලැබෙනු ඇත. මේ සුමූර් චුචික් උත්සවයේ නිමාවයි.   
Dr Asela Perera
MBBS, MSc (Medical Admin)

Member of International Association for Ladakh Studies

No comments:

Post a Comment