Friday, December 30, 2016

වැඩිය නොයන යන්න වටින දේදුගල


දේදුගල කියන්නෙ කෑගලු දිස්ත්‍රික්කයේ දොලොස්බාගේ කදුවැටියෙ පිහිටි කුඩා ගම්මානයක්. මේ ගම්මානය පිහිටියේ මුහුදු මට්ටමේ සිට අඩි දෙදහසක් පමන ඉහළින්. ජනප්‍රිය සංචාරක ආකර්ශන ලේඛනයට අයත් නොවුවත් දේදුගල කියන්නේ සැබෑ සංචාරකයකුට රසදුනක්. නෙත් සිත් වශීකරන භූවිශමතාවයත් සදාහරිත වැසි වනාන්තර වැස්මෙන් ඇතිකරන ස්වභාව සෞන්දර්යත් සැබෑ සංචාරකයකුගේ මනසට රසාලිප්තයක්මය.
කොළඹ සිට පැමිණෙන කෙනකු අවිස්සාවේල්ලට පැමින අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ දෙහිඕවිට, කරවනැල්ල, රුවන්වැල්ල ඔස්සේ පැමිණ  අගුරුවැල්ල නගරය පසුකර මද දුරක් කෑගල්ල දෙසට ගමන් කරන විට ගුරුගොඩ ඔය හරහා ඇති අළුත් පාලමත් පරණ පාලමත් හමුවේ. මද ඉසිඹුවක්ගෙන මේ පරණ පාලම අනිවාර්යෙන්ම නරඹා යායුතුය. රජයේ වැඩබිමේදී මූලික කොටස් නිමවා මෙම යකඩ පාලම නිර්මාණය කර ඇත්තේ ඊ. සී. ඩේවිස් ඉංජිනේරු තැන විසින් වර්ෂ 1897දීය. මෙවැනිම පාලමක් මෑතක් වනතුරුම ගුරුගොඩ ඔය හරහා රුවන්වැල්ල නිට්ටඹුව මාර්ගයේ ද තිබූ අතර අදවන විට ඵය නව පාලමකින් විස්ථාපනය වී ඇත.  ලංකා ඉතිහාසයේ ඵක් යුගයක කථාන්තරය කියන මෙවැනි සිහිවටන අනාගතයේදී වටිනා සංචාරක ආකර්ශන වනවා නොඅනුමානය. ඉතින් සංවර්ධන වැඩසටහන් සැලසුම් කරන දේශපාලකයින් මෙන්ම නිලධාරීන්ද ශතවර්ෂ ගනනක් පැරණි මෙවැනි පාලම්වල ඇති යකඩවලට ලොල් බදිනවාට වඩා ඵ්වා සංරක්ෂණයට කටයුතුකරන්නට සිත්ලනවානම් ඵය ජාතියේ වාසනවකි.




දැන් අප ගමන්කරන්නේ බුලත්කොහුපිටිය හරහා ඇති කෑගල්ල මාර්ගයේය. මාර්ගය අසලින්ම කෙලිදෙළින් අපේ තනිනොතනියට ගමන්ගන්නා රිටිගහ ඔය දොලොස්බාගේ කදුවැටියේ සිට සිය පණ මෙන් සුරැකිව රැගෙන ආ ජලය නැමති වස්තුව ගුරුගොඩ ඹයට භාරකරනුයේ කැළණි ගංකොමළිය පෝෂණය සදහාය. බුලත්කොහුපිටිය දීර්ඝ ඉතිහාසයක් ඇති නගරයක් වුවද සැලකිය යුතු දියුණුවකට ලක්ව නැති බව පෙනේ. රිටිගහ ඔය හරහා නව පාලමක් ඉදිවෙමින් ඇත. බුලත්කොහුපිටිය සිට කෑගල්ලට ඇති දුර කි. මීටර 25කි. සුන්දර දේදුගල මාර්ගය ඇරඹෙනුයේ මෙහි සිටය. තාර අතුරා ඇති කඩතොළු සහිත පටු මාර්ඝය දොලෙස්බාගේ කදුවැටිය දෙසට කදු හෙල් ගිරි දුර්ඝ ඔස්සේ ගමන්කරයි. දේදුගලට ඇති දුර කි. මීටර් 12.5කි. කි. මීටර් දෙකක් පමන පැමිනිපසු අම්පාගල ආසන්නයේදී කිරිපෝරුව රබර් කර්මානත ශාලාව පසුවේ. අම්පාගල හන්දියේදී පාරේ දකුණු දෙසට ලංකාවේ තවත් සුන්දර මාර්ගයක ආරම්භය සනිටුහන් වේ. ඵ් පරුස්සැල්ල හරහා යටියන්තොටට දිවෙන අති දුෂ්කර මාර්ඝයයි.
රිටිගහ ඔය අපේ තනිනොතනියට අප සමගම ගමන්කරනුයේ මග දෙපස සුන්දරත්වය තවත් වැඩි කරමින. මග පසෙක පටු බිම්කඩවල් වල තැනින් තැන ඵක පොදියට ඇහිරුණු ලොකු කුඩා ගෙවල් පොකුරුය. විටෙක ඉපැරණි කඩමණ්ඩියකි. අප දූල්ගල කඩමණ්ඩියේ දී හමුවන තෝසෙ කඩේට ගොඩ වී උණු උණු තෝසෙ, උදු වඩේ, පරිප්පු වඩේ සප්පායම් වී විඩාව සන්සිදවා ගත්තෙමු. කළුබෝවිළ ප්‍රදේහයේ සිට මීට වසර පහලොවකට පමණ පෙර මෙහි පැමිණ පදිංචිවූ මැදිවියේ යුවළක් විසින් මෙය පවත්වාගෙන යයි. නියම දමිළ උරුවේ තෝසෙ වඩේ මෙහි ඇත. නගරයේ රුපියල් 40යේ තෝසයක් මෙහි රුපියල් 20කි.
“ කඩේ සියළු වැඩ කරන්නේ මමයි බිරිදයි. අපි උදේට ඵක වඩියකුත් හවසට ඵක පවඩියකුත් තෝසෙ වඩේ හදනව. හවස හය හත වෙනකොට සේරම ඉවරවෙනව. ඉතින් අපි පොඩි ලාබෙට වෙළදාම කරනව.” මුදලාලි අප සමග දොඩමඵ විය. වෙළදාම සරු බව අපට වැටහුනේ මිනිස්සු පැමිණ පිස්සුවෙන් මෙන් තෝසෙ වඩේ ගන්නා අයුරු දැකීමෙනි. සමහරු රැගෙන යති. සමහරු ඵහිම අනුභව කරති. සාම්බාරුවත් සම්බෝලෙත් ඉස්තරම්ය. අප නැවත ඵන අතරෙ සවස හයහමාරට පමණ කඩේට ගොඩවැදුනේ තවත් තෝසයක් අනුභව කරන ආශාවෙනි. නමුත් මුදලාලිගෙ කියුම්බස් සත්තක් කරමින් තෝසෙ වඩේ සියල්ල අවසන්ය.
“ මහත්තයලට කහට ඵකක්වත් හදල දෙන්නද?” මුදලාලිගෙ ලෙන්ගතුකම වෙළදාම ඉක්මවයන්නේ නාගරිකයා අව්‍යාජ ගැමියෙකු බවට පත්ව ඇතිබව සනාථ කරමිනි.
වැලමිටි වංගු ගනිමින් තිව්‍ර නැග්මක් අවසන උඩපොතට පිවිසෙන විට දෙනෙතට සොබා දහමේ ත්‍යාගයක් ලෙස කන්ද මුදුනේ ගල්තලාවේ සිට කඩාවැටෙන දිය ඇල්ලකි. මේ රිකිළි ඇල්ලයි. නමුත් මේ දිනවල පවතින නියංසාය නිසා රිකිලි ඇල්ල ස්වභාදහමේ කදුලක් බවට පත්ව ඇත. අඩි 270ක් උසැති ඇල්ල සිහින් දිය කදුලක්ව ගල දිගේ ගලා වැටේ. නමුත් වැසිසමේ රිකිලි ඇල්ල මහා දිය කදක්ව කඩා වැටෙනුයේ අවට පරිසරයම පිණි මීදුමකින් වසාලමින් බව ගම්මු පවසයි. එදසුන මනසින් සිතුවම් කල විට නිතැතින්ම මා මතක පොතේ පෙරළුනේ බඹරකන්ද දිය ඇල්ලේ දසුනයි.

තචත් වැලමිටි වංගු කීපයක් දොලොස්බාගේ කදුවැටියේ ඉහලට ඇදෙන විට එක්පසෙක ඈත යටියන්තොට දෙසට වන්නට පිහිටි ස්වාධීන රූපවාහිනී සේවයේ සම්ප්‍රේෂණ කුළුණු සහිත කදුපතිය දිස්වේ. මේ වනවිට අපේ තනිනොතනියට සිටි රිටිගහ ඔය නිම්නය දෙසට ගමන්ගන්නව. අපේ ගමන කන්ද දෙසටයි.
උඩුව ගම්මානයට ලගා වනවිට සෙරන්ඩිබ් ජලවිදුලි බලාගොරයට සහ නළගන ඇල්ලට ප්‍රවේශ මාර්ගය හමුවෙනව. ග්‍රැරැවල් මර්ගය ඇත්තේ කැළෑව අතරින් කදු බෑවුම දෙසටය. අපගේ ස්කූටරය ඇල්ලදෙසට යන අතර එහි සිට මෝටර් බයිසිකල් තුනක පැමිනෙන තරුණයින් පිරිසකි. දැන් ඉරගල වැටෙන්න ඔන්න මෙන්නය.
“ අය්යේ, බලාගෙන යන්න. බීපු කට්ටිය ඉන්නව මග දිගටම.” ඉන් එක  තරුණයකු මා හට අනතුරු ඇගවීය. කාරණය ඇත්තය. ත්‍රීවිලර් වල, ගල් තලා වල තරුණයෝ පෝදා සවස මදුවිත සප්පායම් වෙති. ඇතැම්හු ගී ගයති. ඇතැම්හූ කෑකෝ ගසති. යනඑන තරුණ තරුණියන්ට තිත්ත කුණුහරප කියති. සියල්ලෝම අහල පහළ ගම්වල තරුණයින් බව පෙනේ. පෝ දා සවසට ගමේ සුන්දර දියඇලි අද්දර අසෝබන දසුන් එලෙසය.



කැලෑමග අවසන් වන්නේ ගල් මතින් ජලය කඩිමුඩියේ ගලනා දොල අද්දර ඇති ඉපැරණි ජල පොම්පාගාරයක් අසලනි. මීට ශතවර්ෂයකටත් ප්‍රථම බ්‍රිතාන්‍ය සමයේ ඉදිකරඇති එහි යන්ත්‍ර සූත්‍ර තවමත් ඇත. දොලේ ගල් මතින් පරිස්සමට පා තබමින් මදක් ඉහළට යන විට ඇල්ල දර්ශණය වීමට පටන් ගනී. දොල හරහට ඇති විශාල කලුගල නළගන කොමළියගේ රැගුමන් නැරඹීමටම තැනූ පීඨිකාවක් වැනිය. ඇල්ලට ජීවය දුන් ජල කද අප දෙපසින් ගලා ගොස් පහළ නිම්නයේදී රිටිගහ ඔය පෝෂණය කරයි. එතැන සිට නළගන කොමළියගේ රූ සිරු සිත් සේවිදගත හැකි නමුදු බමන මතින් රගනා ගැටවුන් නිසා සිත කලබලය. එනිසා අප දේදුගල දෙසට නැවතත් ගමන් ආරම්භ කලෙමු.

විටින් විට මග දෙපස මහ වනයත් ගම්මානත් පසුවේ. සුන්සහල්දෙණිය ගම්මානය අසලදී මාර්ගය අසලම රුක්මල් ඇල්ල දැකගත හැක. මෙහිද බමන මතින් අසැඹිව හැසිරෙන කාලකන්නින් රැළක් නිසා ඇල්ල අසල නොනවත්වාම යාමට අපට සිදුවිය. නමුත් වාසනාවට ආපසු ගමනේදී ඔවුන් නොසිටි නිසා සුළු මොහොතකට හෝ රුක්මල් ඇල්ලේ අසිරිය විදගැනීමට අපට හැකිවිය. අඩි හැටක පමණ උසින් යුතු වුවද ඇල්ල පළලින් වැඩිය.එම නිසා සැඩ ජලපහර ගලනුයේ කන්කළු ගෝෂාවක්ද සමගිනි. රුක්මල් ඇල්ල දෝතළු ඔය කුස ඉපිද එයම පෝෂණය කරමින් සීඝ්‍ර බෑවුමේ ප්‍රචන්ඩව ගලාබසී.

           
            මග වැරදීමෙන් අප කළුපහන වතුයාය මැදින් කෑගල්ල දෙසට ඇති මාර්ගයට පිවිස සිටියෙමු. දොතළු කන්දේ මුදුන දෙසට තියුණු වැලමිටි වංගු සමගින් මාර්ගය ඉදිරියට ඇදේ. ගිනිකොණ දෙසින් දිස්වන වන වදුලෙන් සැරසුන සබරගමු කදුපංතියද, බටහිර අහසේ ඉර බැසයන දසුනද මවන මනස්කාන්ත සිතුවමට වශීව අප ඉහළටම යන්නෙමු. මර්ගය කාපට් අතුරා ඇත. මග දෙපස ඇත්තේ කළුපහන වතුයායේ තේ වගාවත්, ඒ අතර ඇති තුරුගොමු සහ වන වදුලුය. දළුකිරන මඩුවක් හැරෙන්නට කිසිම ගෙයක් දොරක් නොමැත. මගතොටේ කිසිම මිනිස් පුළුටක් හමුනොවිනි. අදුර වැටීමටද ආසන්නය. තවත් ඉදිරියට යාම අනාරක්ෂිත නිසාත් මේ දේදුගල දක්වා වන මගනොවන බව සක්සුදක්සේ පැහැදිලි නිසාත් මා නැවත හැරීමට තීරණය කලෙමි. මේවනවිට අප කිලෝමීටර තුනකට වඩා පැමින තිබිණ.
නැවත අප ආමග ඔස්සේ ඉදිරියට යනවිට නැවත ගම්මානයක් හමුවිය. මදක් ඉදිරියට යනවිට හමුවන වයි හන්දියෙන් වමට පැලම්පිටිය දක්වා වන මාර්ගයයි. එහිඇති බස්නැවතුමේ පිරිස රැදීසිටියේ පැලම්පිටිය දක්වායන බසයට ගොඩ වීමටය. දකුණට ඇති මාර්ගයේ කිලෝමීටරයක් ගියවිට එක්වනම කළුගල් ප්‍රාකාරයකින් මග අවසන්වේ. මෙය දේදුගල සමූපාකාර ගොඩනැගිල්ලේ පාදමය. වීදිය දෙපස එක පොදියට කඩපිලකි. මේ දේදුගල කඩමන්ඩියයි. දශක ගනනාවකින් මෙපිට කිසිදු වෙනසක් වී නොමැති බව පෙනේ. දේදුගල තැපැල්හල එහිඇති ප්‍රධානතම රජයේ ආයතනයයි. දේදුගල දෙස බලාසිටින මට සිතුනේ මෙය බ්‍රිතාන්‍ය සමයේ චිත්‍රපටයකට පසුබිම් දර්ශණ තලයක් ලෙස කදිමට ගැලපෙන බවය.         





 Dr Asela Perera
MBBS, MSc
Member of International Association of Ladakh Studies





3 comments:

  1. දේදුගල කඩමන්ඩියේ කෙලවරින් ඇතුලට මීටර් 50 විතර යද්දි ඔයේ නාන්න තැනක් තියනව. මිනිස්සු හරිම සුහදශීලී අය. අපි නානකම් වයසක අම්ම කෙනෙක් පොඩි ළමයින්ට අනතුරක් වෙයි කියල එයාලව බලාගත්ත ,වගේම අපිට කරාඹු නැටි, එනසාල්, වගේම පලතුරු වගයකුත් ගෙනත් දුන්න.
    මම තුන් හතර පාරක් ගියා ඇත්තටම බීල පාරෙ හිටපු කල්ලි හම්බවුනේම නෑ වගේම පරිසරය අපවිත්‍ර කරන අයගෙ අවධානයට දේදුගල අසුවෙලා තිබ්බෙ නෑ. දැන් තත්වය වෙනස් වෙලා වගේ.
    පල්ලම්පිටියෙන් දිගටම දොලොස්බාගෙ දක්වා යන්න තිබ්බෙ , ඒ හරිය තමයි ගොඩක් ලස්සන.

    ReplyDelete

  2. පරිසරයේ සුන්දත්වය එලසම තිබුනත් ජන ජීවිතය නම් වෙනස් වෙලා වගේ. බීමත්ව හැසිරෙන්නේ දේදුගල වැසියන්ට වඩා අවට ගම්වල තරුණයින්.ඔබගේ අදහස් හා යෝජනා වලට බොහොම ස්තූතියි.නිරතුරුවම මගේ බොලොග් අඩවිය හා රැදී සිටින්න.

    ReplyDelete
  3. චාරිකා කදිමයි. ෙඩාක්ටර් සමඟ කතා කිරීමට කැමතියි kusumsiriw@gmail.com

    ReplyDelete