Friday, June 2, 2017

දිල්ලියේ ෂහජාන්බාද් නරඹමු

ඉන්දියාවේ සංචාරය කරන බොහෝ ශ්‍රී ලිංකීකයින්ගේ සමීපතම නගර වන්නේ චෙන්නායි සහ දිල්ලියයි. ඉන්දියාවට පැමිනෙන බොහෝ විදේශික සංචාරකයින්ගේ කේන්ද්‍රස්ථානය වන්නේද දිල්ලියයි. විශේෂයෙන්ම සාප්පු සවාරි සදහා දිල්ලිය චිරප්‍රසිද්ධය. තවද නැරඹිය යුතු සංස්කෘතික, ඓතිහාසික හා සංචාරක ආකර්ශන ස්ථාන බොහෝමයකි. එවන් දිල්ලියේ වීදි අතර ජන දිවිය, කලාව, සංස්කෘතිය, වෙළද ලෝකය සහ ඉතිහාසය සොයමින් එහි රසය විදිමින් කරන සංචාරයන් අපූරුය. නැවුම්ය.
ඉන්දියාවේ පරිපාලන කේන්ද්‍රස්ථානය වන දිල්ලිය අයත් වනුයේ Indian National Territory යනුවෙන් හැදින්වෙන වෙනමම පරිපාලන ඒකකයකටය. දිල්ලිය ප්‍රධාන වශයෙන් නව දීල්ලිය හා පැරණි දිල්ලිය වශයෙන් කොටස් දෙකකින් යුක්තය. සුන්දර යමුනාවේ බටහිර ඉවුරේ ගොඩනැගීඇති දිල්ලිය වානිජ්‍ය හා දේශපාලන කේන්ද්‍රස්ථානයක් වශයෙන් දියුණුවීම පටන්ගන්නේ මෞගල් අධිරාජ්‍ය සමයේ සිටය. විශේෂයෙන්ම ෂා ජහන් රජු තම රාජ්‍යයේ අගනුවර අග්‍රා සිට දිල්ලියට මාරු කිරීමට උත්සහ ගත්බව පෙනේ. මෙම නගර දෙතම යමුනා නදී තෙර පිහිටීමම මෞගල්වරු සහ යමුනාව අතර සබදියාව මනාව පෙන්නුම් කරයි.
වර්ෂ 1956දී දිල්ලිය ප්‍රාදේශීය සංගම් ප්‍රාන්ථයක් Union Territory වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. නවදිල්ලිය New Delhi ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය පාලන සමයේදී ගොඩනගනලද ක්‍රමවත් නගරයක් ලෙස සැලකිය හැක. එය විසිවන සියවසේ සිටි ප්‍රමුඛ බ්‍රිතාන්‍ය ගෘහනිර්මාන ශිල්පියෙකු වන එඩ්වින් ලූටන් (Edwin Lutyens) විසින් සැලසුම් කරන ලද්දකි. නවදිල්ලිය ප්‍රධාන ස්ථාන දෙකක් කේන්ද්‍ර කොට ගොඩනගා ඇත. ඒ රාජ්පත්Rajpath සහ ජනපත්ය Janapath. රෙසීනා උස්භූමියේ Raisina Hill  පිහිටා ඇති රාෂ්ට්‍රපති භවන Rashtrapathi Bhavan සිට ඉන්දියා ගේට් දක්වා පදෙස රාජ්පත් කේන්ද්‍රයට අයත්ය. ජනපත් කේන්ද්‍රය කොනාට් චතුරශ්‍රයේ සිට ශාන්තී පාත් දක්වා විහිදේ. මේදෙක යාකරනුයේ සෙන්ට්‍රල් ඇවනියු නම් අධිවේගී පුළුල් මාර්ගය මගිනි.  
නවදිල්ලිය වර්‍ග කිලෝමීටර් 1483ක් පුරා විහිදෙන අතර මිලියන 15කට ආසන්න ජනගහනයක් වාසය කරයි. හින්දි, උර්දු, පන්ජාබී සහ ඉංග්‍රීසි ප්‍රධාන වශයෙන් භාවිතා වන භාෂාවේ. ගිම්හානයේ සෙල්සියෙස් අංශක 45 ක් පමණ වන දිවා රාත්‍රී දැඩි උණුසුමත් ශීත සෘතුවේ සෙල්සියෙස් අංශක 4ක් පපමණ වන දැඩි ශීතලත් නිසා වාර්ෂිකව සැලකිය යුතු පිරිසක් මියයති. මොවුන්ගෙන් බහුතරය වීදි වසන්නන්ය.නිරන්තරයෙන් පවතින ඝන මීදුම ශීත සමයේ සුලභ දසුනකි. මේනිසා ගුවන් ගමන් වලට මෙන්ම අධිවේගී මාර්‍ග වල ගමනා ගමනයට බාධා පැමිනේ. නමුත් සංචාරකයින්ටනම් මේ කාලය සුන්දර අත්දැකීමකි.
දිල්ලියේ ලියාපදිංචි වාහන ලක්ෂ 165කට වඩා ඇත. එමෙන්ම රියදුරන්ගේ මෙන්ම පදිකයින්ගේද විනය අවම නගරයකි. මේ නිසා දිල්ලියේ මාර්ග තදබදය ගැන අමුතුවෙන් කිවයුතු නැත. වාහනයක පැති කන්ණාඩි ඇතොත් එ ඉතාම කලාතුරකිනි. සියයට අනූ නමයකම වාහන වල කුමක් හෝ තැල්මක් සිරීමක් ඇත. කෙසේ නමුත් 1948දී අරඹන ලද දිල්ලි ට්‍රාන්ස්පොර්ට් කෝපරේෂන් රාජ්‍ය බස් සේවයත් 1998දී අරමන ලද දිල්ලි මෙට්‍රෝ සේවයත් කාර්‍යක්ෂම මගී ප්‍රවාහන සේවයක් සපයයි. මේ අතරින් මෙට්‍රො දුම්රිය කාරයක්ෂමම මගී ප්‍රවාහන මාධ්‍ය ලෙස දිල්ලිය පුරා විකාශය වී ඇත. 2006දී මා දිල්ලියට යන විට කි මීටර 65කට සීමාව තිබූ එය 2016දී කි මීටර 450ක දුරක් ආවරනය කර තිබිණි.  
2016 දෙසැම්බරයේ මා ඉන්දිරා ගාක්ධී ගුවන්තොටුපළේ සිට දිල්ලියටගියේ මෙට්‍රෝ දුම්රියෙනි. Airport Express මෙට්‍රෝ දුම්රිය අනෙකුත් මෙට්‍රෝ දුම්රිය ජාලය සමග සම්භන්ධ කරඇත. දැනට වර්ණ පහකින් මෙට්‍රෝ දුම්රිය ජාලය සමන්විතය. ටැක්සි සේවයද දිල්ලියේ සැලකියයුතු ප්‍රවාහන සේවයක් ඉටුකලද ඉහළ ගාස්තු හා දූෂණ අක්‍රමිකතා බහුල නිසා එතරම් ජනප්‍රිය නොවේ. රාජ්‍ය බලපත්‍ර සහිත ටැක්සි කළු සහ කහ වර්ණයෙන්ද පුද්ගලික ටැක්සි කොළ සහ කහ වර්ණයෙන් හදුනාගත හැක. ඔටො රික්ෂෝ ජනප්‍රියම මාධ්‍යකි. ඒ ත්‍රී විලර්ය. ඕනෑම වහන තදබදයක් අතරින් වෙට්ටු දමා රිංගා යන්න ලංකාවේ ත්‍රී විලර් කරුවන් මෙන් දිල්ලියේ අයද හපනුන්ය. නමුත් හෙට්ටු කරමින් ගාස්තු කතාකරන්න ගියාම දිල්ලියේ ඔටො රික්ෂෝ ගමන් එපාවෙනු නිසැකය.
මේ සියල්ලටම වඩා කෙටිදුර ප්‍රවාහන පහසුකම් උදෙසා සයිකල් රික්ෂෝ ලාභදායි මෙන්ම ජනප්‍රියද වේ. මිනිසුන් විසින් ඇදගෙන යන රික්ෂෝද දිල්ලියේ එමටය. දිල්ලිය පමණක් සැලකුවහොත් දුම්රිය මගී ප්‍රවාහන දායකත්වය මුළු ප්‍රවාහන සේවයෙන් 1% පමණි.
මෙට්‍රෝපොලිටන් නගරයක්වන දිල්ලිය ප්‍රධාන සංචාරක කේන්ද්‍රයකි. සුවිසල් බලකොටු, පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක, උද්‍යාන, ආගමික ස්ථාන සහ විවේක උද්‍යාන ආදියෙන් අනූනය. මෙම සියළු වැදගත්  ස්ථාන ආවරණය කරන එක්දින නගර සැරියන් සංචාරක නියෝජිත ආයථන මගින් සංවිධානය කෙරේ. රාජ්‍ය සංචාරක ආයථනය මගාන් සංවිධානය කරන චාරිකා වඩා විශ්වාසදායී වේ. ගාස්තුත් සාධාරණය. එක්දින නගර සැරිය උදේ නමයට පිටත්ව සවස පහට පැමිණේ. සියළු සංචාර ආරම්භ කරනුයේ Central Reservation Office, Coffee House, Baba KharakSing Marg (D-6) සිටය.  
2006 දෙසැම්බර් 30දා අප ෂහජහ්නාබාද් හී සංචාරය කිරීමට යොදා ගත්තෙමු.ෂහජහ්නාබාද් යනු ෂහ ජහ්න් රජු ගොඩනැගූ රතු බලකොටුව කේන්ද්‍ර කරගත් මෞගල් අගනගරයයි. අප නවාතැන්ගෙන සිටිනුයේ පහර්ගන්ජ් හී නවදිල්ලි දුම්රිය පල අසල චේතක් පැලස් හෝටලයේය. අප චේතක් පැලස් හෝටලයේ නවාතැන් ගැන්වූ කථාවද නොකියාම බැරිය.
නව දිල්ලියේදී නවාතැන් ගැනීම සදහා ශ්‍රී ලංකා බෞද්ධ ලැගුම්හලේ Sri Lanka Buddhist Pilgrimage  කාමරයක් වෙන්කර දෙනලෙස මා හිතවත් නිවිතිගල සුමිත්ත හිමි දිල්ලියේ වෙසෙන සිය මිතුරකුට දැනුම්දුනි. සුමිත්ත හිමි වසර දහයකට වඩා ඉන්දියාවේ වැඩවාසය කල හිමිනමකි. අදාල මිතුරාද උන්වහන්සේගෙන් බොහෝ සේ උදව් උපකාර ලත් කෙනෙකි. ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට පෙර අදාල පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී අපගේ පැමිනීම තහවුරු කලෙමු. අප දෙසැම්බර් මස 10වන දා දිල්ලියට ලගාවනවිට අළුයම තුන පසුවී තිබිණි. ඉන්දිරා ගාන්ධී ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කුලී රථයකින් පහර්ගන්ජ් හී පිහිටි බෞද්ධ ලැගුම්හලට පැමිණෙන විට දැරිය නොහැකි සීතලකින් දිල්ලිය වෙලාගෙන තිබිණි. ස්ථානය නිවරදිය. අප වෙනුවෙන් වෙන්වූ කාමරයක් එහි ඇත. ඉතින් අප ගේට්ටුව ඉදිරිපිටින් බඩුමළු ටික බාගෙන කුලී රථය පිටත් කලෙමු. අමාරුවෙන් කෑගසා මුරකරුව ඇහැරවාගත්තෙමු. නමුත් ඔහු පවසන්නේ කාමර සියල්ලම පිරී ඇති බවය. අප පවසන්නේ අප කලින් කාමර වෙන්කරවාගෙන ඇති බවය. දුර්වල ඉංග්‍රීසි දැනුමැති මුරකරු සමග අප කරන සංවාදයේ හඩ නිස්කලංක අළුයම තීව්‍රව ඇසුනාට සැකනැත. ඇතුලත සිට එතැනට පැමිණි අයකුට අප කථන්දරය නැවත සැකවින් පැවසිමු. කාමර සියල්ල අවසන් බැවින් අපට චේතක්පැලස් හෝටලයේ කාමරයක් වෙන්කර ඇති බවත්, අප දැන් එහි යායුතු බවය. මේ මහ පාන්දර වෙන විකල්පයක් නොමැති බව තේරුන අප ඔහු පිටුපසින් වැටුනෙමු. බඩුමළුද කරතබාගෙන මගේ මහළු මවද වත්තම් කරගෙන පටු වීදි අතරින් කිලෝ මීටරයක් පමණ ගොස් අප නතරවූයේ චේතක් පැලස් හෝටලයේය. නමුත් පසුදින දැනගත් පරිදි බෞද්ධ ලැගුම්හලේ ඕනෑතරම් කාමර තිබී ඇත. ලංකාවෙන් පැමිනෙන වන්දනා කරුවන් සංචාරකයින් අවට හෝටල් වෙත යොමු කෙරෙන මෙම මගඩිය මෙහි ජයටම කෙරෙන්නකි. අපේ උන් අපිට සලකන රගේ අපූරුව එලෙසය.
නවදිල්ලි දුම්රිය ස්ථානය ඉදිරි පිටට පැමිණි අප වැදගත් මහත්මයකු සේ පෙනුන අයෙකුගෙන් රතු බලකොටුවට යාමට උපදෙස් ඉල්ලා සිටිමු. එම මහත්මයා ඉතා පැහැදිලිව අපට අවශ්‍ය උපදෙස් ලබාදුන්නේ උදේම කඩිමුඩියේ යන සිය ගමනට වන ප්‍රමාදයද නොතකාය.
දුම්රියපල ඉදිරිපිට පාරේ මද දුරක් ගියවිට එම පාර හරහා ගුවන් පාලමක් සමග තවත් පාරක් ඇත. ඒ දේශබන්දු ගුප්තා පාරයි. එහිඇති පියගැටපෙළින් මාර්ගයට ප්‍රවේශවූ විට එම ස්ථානයේ සිට මාර්ග අංක 753 බස්රථය ආරම්භ කෙරේ. මෙම මෙට්‍රෝ බස්රථවල කොතනින් බැස්සත් අයෙකුට රුපියල් දහයකි.අශෝක් ලේලන්ඩ් වර්ගයේ බසයේ ගමන් කරනවිට මුළු රථයම ගඩගඩ ගා දෙදරුම්කයි. පැය කාලක පමණ ගමනකින් පසු රතුබලකොටුවේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට බස්නැවතුමෙන් අප බැසගත්තෙමු.  
දිල්ලි රතුබලකොටුව ෂා ජහන් රජු විසින් ක්‍රි. වර්ෂ 1639දී නිර්මාණය කරනලද්දකි. එදාපටන් සියවස් දෙකකට වඩා මෞගල්වරුන්ගේ නිවහනවූයේ මෙයයි. දිල්ලි රතුබලකොටුවද, අග්‍රා හී ටජ්මහල, අක්බාර් රතුබලකොටුව පිහිටි යමුනා නදී ඉවුරේම තනාඇත. ප්‍රධාන වශයෙන් ආරක්ෂිත පචුරකින් ආවරණය කරනලද අක්කර 250ක ප්‍රදේශයක්පුරා විසිරුණු ගොඩනැගිලි සංකීරණ හා මාළිගා සංකීරණ වලින් යුක්තය. රතු වැල්ලෙන් තැනූ ගලින් කල ආරක්ෂිත පවුර චීන මහාප්‍රාකාරයසේ රත් පැහැයෙන් බබලයි. රතු බලකොටුව ලෙස හැදින්වෙන්නේ මේ නිසාය. විදේශීකයකු සදහා ඇතුල්වීමේ ගාස්තුව වන ඇමරිකානු ඩොලර් දෙකක සහ කෞතුකාගාරය නැරඹීමට අවශ්‍ය රුපියල් එකොලහක ප්‍රවේශ පත්‍ර මිලදීගැනීමෙන් පසු ලාහොර් ද්වාරයෙන් බලකොටුවට ප්‍රවේශ වුනෙමු. රතුබලකොටුවේ මහජනතාව සදහා විවෘත්තව ඇත්තේ එක්කොටසක් පමණි. අනෙක් කොටස ආරක්ෂක හමුදා කදවුරක් ලෙස භාවිතාකෙරේ.
ප්‍රාකාරය අභ්‍යන්තරයට පිවිසි විට එතරම් විශාල නොවූ හුරුබුහුටි විවධ ප්‍රමාණයේ මාළිගා රැසක් බලකොටුව පරිශ්‍රය පූරා විසිර ඇත. අධිරාජ්‍යාගේ, බිසෝවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ මාළිගා, විවිධ ශාලා, නිල කාර්යාල හා පුද්ගලික ලැගුම් හා නැරඹුම් පීඨිකා ඒ අතරවේ.ඇතැම් මාළිගා කිරිගරුඩ පාෂාණයෙන් තනා අලංකාර කැටයමින් නිමවා ඇත. එම විසිතුරු කැටයම්වල තිබූ මුතු මැණික් රත්‍තරං ආදිය ආක්‍රමණවලදී විනාශවී ඇතත් මුලික ආකෘතිය නොනැසී පවතී. වතුර මල්, පොකුණු, දියඇලි ආදියෙන් පිරිපුන් උද්‍යානය එදා පැවති මනස්කාන්ත විචිත්‍රවත් පරිසරයේ තරම කියාපායි කෘතුකාගාරයේ ඇති එදා චිත්‍ර ශිල්පීන් විසින් චිත්‍රනය කරන ලද බලකොටුවේ රූප සහ නොයෙකුත් උත්සව අවස්ථාවල සිතුවම් මගින් ඒබව තහවුරුවේ. විශේෂයෙන් ෂා ජහන් රජු ජලයට විශාල කැමැත්තක් දැක්වූ අයකු බව මෙම උද්‍යාන හා මාළිගා සාක්ෂ්‍ය දරයි.
මෙහිඇති එක් කෘතුකාගාරයක් ඉන්දීය නිදහස් අරගලය විදහාපෑම සදහාම වෙන්කර ඇත. එය ඉන්දීය ජාතිකාභිමානය ඔප්නංවන තෝතැන්නක් බවට පත්කර ඇත. දිනපතා රාත්‍රී අටට නිදහස් අරගලය පිළිබදව සැකසූ චිත්‍රපට දර්ශණය පවත්වනුයේද මෙම පරිශ්‍රයේ ඇති විශේෂ පීඨිකාවකය.
දහවල් දොලහට පමණ රතු බලකොටුවෙන් නික්මුනේ ඒ අවට ඇති තවත් වැදගත් ස්ථාන රැසක්ම දැකබලාගැනීමේ අරමුණිනි. පාරේ අනෙක්පස පිහිටි ජෛන පන්සල වර්ෂ 1526දී ඉදිකරන ලද්දකි.මහල් හතරකින් යුත් ගොඩනැගිල්ල මුදුනේ චිශාල කහපැහැ ධජයක් ලෙළදේ. මෙහි ඇති වි‍ශේෂත්වය වන්නේ එතුල පිහිටා ඇති විහග ගිලන්හලයි. රෝගී සහ අනතුරුවලට ලක්වූ පක්ෂීන්ට දිනපතා මෙහිදී ප්‍රතිකාර කෙරේ. මෙම ජෛන පන්සල පිළිබදව මා මුල්වරට දැනගත්තේ ධර්මසිරි ගමගේ ශූරීන්ගේ භාරත චාරිකා කෘතියෙනි. අවාසනාවට ආගමික වතාවත් නිසා පන්සල මධ්‍යන 12 සිට සවස 6 දක්වා නරඹන්නන්ට වසාඇත.
ජෛන පන්සලට යාබද මාර්කට්ටුව පසුකරමින් අප ගමන් කරනුයේ ජිමා මස්ජිඩ් මුස්ලිම් දේවස්ථානය දෙසටය. වීදි ඉතා ජනාකීර්ණය. හැමවිටම අධික වාහන තදබදයක් පවතී. පදිකයෝ මහමගත් වාහන පදික මගෙත් ගමන්කරති. වීදිවල දෙපස ඇති දූලි බැදුන පැරණි ගොඩනැගිලිවල යටත් විජිත යුගයේ වැජඹුන නමුත් දැන් ගරාවැටෙමින් ඇති වෙළදසැල්, කොම්පැණිවල කාර්ය්‍යාල හා මුද්‍රණාල ආදිය ඇත. ඇතැම් වීදිවල මුළුමනින්ම පාහේ ඇත්තේසුවදවිලවුන් වර්ග සහ ඒවා නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසැල්ය. මෙහි වීදි පිටකොටුවේ දෙවන හරස් වීදිය, කෙළින් වීදිය, කුමාර වීදියේ කපිපු පළුය.
ජිමා මස්ජීඩ් මුස්ලිම් දේවස්ථානය පිහිටා ඇත්තේ රතු බලකොටුවට කිලෝ මීටරයක් පමණ දුරිනි. ටිබෙට් මාර්කට් එක පාරෙන් ගියවිට කෙලින්ම දේවස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත යා හැක. ජිමා මස්ජිඩ් දේවස්ථානය වර්ෂ 1656දී ෂා ජහන් රජු විසින් ඉදිකරන ලද්දකි. විසිපන්දහසක බැතිමතුනට එකවර අල්ලාහ් දෙවියන් නමස්කාර කලහැකි මෙය ඉන්දියාවේ විශාලතම මුස්ලිම් පල්ලියයි. ප්‍රධාන ගොඩනැගිලි පිහිටා ඇත්තේ උස් පීඨිකාවකය. සතරදෙසින් වූ ප්‍රවේශ දොරටුවල සිට ඇති පියගැටපෙලින් මෙම පීඨිකාවට පිවිසිය හැක. බිම කිරිගරුඩයෙනුත් බිත්ති රතු පාෂාණයෙන්ද තනා ඇත. පීඨිකාවේ මුළු සතරේ කුළුණු සතරකි. එකක උස අඩි 250 පමණ වේ. රුපියල් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමෙන් ඉන් එක කුළුණකට සංචාරකයිනට නැගියහැක. එහිඇති පටු පියගැට පෙළ ස්පයිරලාකාර ලෙස පටු කුළුණේ ඉහලට නැගේ. පියගැටපෙළ තරණය කලවිට කුළුණ මුදුනේ ඇති කුඩා කවාකාර නැරඹුම් මැදිරියට ප්‍රවේශවේ. එක්පසෙකින් හිරුරැසින් නැහැවෙන රතු බලකොටුවත් ඉන් එපිට නිසොල්මනේ ගලනා යමුනා නදියත් දිස්වේ. නදීතෙර ඔස්සේ ඇස් මානන කල රාජ් ගට් තොටමුණ හදුනාගත හැක. අනෙක් පස සතර දිග්බාගයේ පැතිර පොදිකන පැරණි දිල්ලියේ ලොකුකුඩා ගොඩනැගිලිද, ඒ අතර දිවෙන වීදි හා ඉසිඹුක් නොමැතිව ගමන්ගන්නා රථ වාහනත්, රත වාහන අතරින් ඉදිරියට ඇදීමට පොදිකන කුරා කහුඹු ජනී ජනයාත් මෙගා ටෙලි නළුවක් සේ අවසානයක් නොමැතිව දර්ශණය වේ. කුළුනේ ස්ථීර පදිංචිකරුවන් වන පරෙවියන් විටින්විට සට සට ගා තටුසලා පැමිණ සංචාරකයින්ගෙන් ලැබෙන සිය ආහාර සලාකය බුක්තිවිදී. යමුනාගංතෙර පිස හමනා දුරුත්තේ සීතමදනල ගත සතපත්දී තවත් නඩයක් පියගැටපෙළ තරණයකර වේදිකාවට ගොඩවුනේ අපට බැසයාමට කාළය බව සනිටුහන් කරමින. විදේශිකයින් විශාල පිරිසක් දිනපතා ජිමා මස්ජිඩ් මුස්ලිම් දේවස්ථානය නැරඹීමට පැමිණේ.
දේවස්ථානයෙන් පිටතට පැමිණෙන විට පදමට කුසගිනි මෝරා තිබුණි. කටට රහට කන්න පිරිසිදු තැනක් සොයාගැනීම ඉන්දියාවේදී ප්‍රවේශමෙන් කළයුතුය. පල්ලිය ඉදිරිපිට ආහාර අලෙවිසල් රාශියක් ඇත. ‍පල්ලිය අවට බහුතරයක් වාසය කරනුයේ මුස්ලිම්වරුය. අපගේ හිතට ඇල්ලූ මුස්ලිම් හෝටලයකට ගොඩවැදී උණුඋණු එළුමස් බුරියානි අනුභව කලෙමු. වීදියේ කරත්ත වෙළදුන්ගෙන් පලතුරු දීසියක් හා එළවළු දීසියක් බැගින් අනුභව කලෙමු. කපනලද අළුත් ගස්ලඹු, අඹ, කෙසෙල්, ඇපල් ආදිය පලතුරු දීසියට අයත්වණි. එවලෙ කපා දෙන බීට්, කැරට් පිපිඤ්ඤා ආදියෙන් එළවළු දීසිය පිරේ. පදමට ලුණුකුඩු හා පහේකුඩු යෙදූකල ප්‍රණීත ආහාරයකි. දීසියක මිල රුපියල් දහයකි. එවලේම සෝදා ලෙලිගසා දෙන නිසා පිරිසිදුකම ගැන සෑහීමකට පත්වියහැක. අවට රාජකාරි කරන බොහෝ ඉන්දියානුවන්ගේ දහවල් ආහාරය මෙම‍ එළවළු හා පලතුරු දීසියකි.
මහත්මා ගාන්ධී තුමන්ගේ භෂ්මාවශේෂ යමුනා නදියේ පාකරහැරි ස්ථානයේ ගොඩනගනලද ස්මාරකය පිහිටි රාජ්ගට් තොටමුණ රතු බලකොටුව ආසන්නයේම ඇත. පහන් සිතින් දැකබලා මදක් ඉසිඹුලා යන්නට එයට ගොඩවුනෙමු. ඉන්ධිරා‍ ගාන්ධී හා රාජීව් ගාන්ධීගේ භෂ්මාවශේෂයන්ද යමුනා නදියේ පාකර හැරියේ මෙම ස්ථානයෙන්මය.
කල්වේලාව ඇත්නම් රතු බලකොටුව ඉදිරිපස බස්නැවතුමෙන් මාර්‍ග අංක 729 බස්රථයකට ගොඩවී ඉන්දියා ගේට්, රාෂ්ට්‍රපති භවන හෝ කොනාට් පෙදෙසට යා හැක.




අද 2006 දෙසැම්බර් 30දා කොනට් පදෙසේ හැත්තෑපස්වන ජන්ම දිනයයි. ඒ වෙනුවෙන් රාත්‍රී මල්වෙඩි සංදර්ශනයක් හා ලේසර් ආලෝක සංදර්ශනයක් පැවැත්වේ. මනාව සැලසුම් කරනලද කොනාට් පදෙස රොබර්ට් ටො රසෙල් ගේ නිර්මානයකි. කේන්ද්‍රයේ සිට විහිදෙන අරීය මාර්‍ගද ඒවා සම්භන්ධ කරන වෟත්තාකාර මාර්‍ගද එම මාර්‍ගවලට මුහුණලා වෘත්තාකාරලෙස ගොඩනැගිලි සංකීරණද ඇත. එක් එක් වෘත්තයන් ඉන්දියන් චොක්, රාජිව් චොක්, කොනාට් සර්කල් ආදී විවිධ නම්වලින් හැදින්වේ. කොනාට් පදෙස කේන්ද්‍රයේ පොළව යට පිහිටි අති විශාල සාප්පු සංකීරණය පාලිකා බසාර්ය. ර‍ජීව් චෝක් භූගත මෙට්රෝ දුම්රියපොළ එහි පිහිටා ඇතිනිසා දිල්ලියේ සෑම පදෙසක් සමගම සම්භන්ධවේ. කොනාට් පදෙසේ මධ්‍යයේ ඇති උයන වතුර මල්, පොකුණු, විසිතුරු මල් ආදියෙන් අලංකාරකරඇත. විශිල ජනකායක් මෙම උයනේ රැස්ව සිටිනුයේ මෙම අසිරිමත් මොහොත දැකගැනීමටය. කුඩා දරැවෝ කෙළිදෙලිනි. යෞවන යෞවනියෝ ප්‍රේමාලිංගනයේය. වැඩිහිටියෝ නොයිවසිල්ලෙනි.රාත්‍රී හතට මල්වෙඩි සංදර්ශණය ඇරඹිනි. පැයකටත් වඩා වැඩි කාලයක් කොනාට් පදෙස ඉහළ අහස මල් වරුෂාවෙන් වැසියන්නට විය. ඊළගට ඇරඹියේ ලේසර් කිරණ සංදර්ශනයයි. දේදුනු පහැ ආලෝක කදම්භයෝ සතරදෙස විහිදමින් අදුර දුරලන්නටවිය. 
Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association for Ladakh Studies  

1 comment:

  1. කියෙව්වා. මේ විස්තරය සම්පූර්ණයෙන්ම කියෙව්වම අපිට තනියම වුනත් මේවයෙ යන්න පුළුවං තරං පැහැදිලියි. වැයවන ගනං මිනුං ලියා තැබීමත් විශේෂයෙන් අගේ කරන්න ඕනෑ.

    ReplyDelete