Friday, April 7, 2017

හදිම්බා දෙවොල

මනාලී නගරයේ සිට කිලෝ මීටර දෙකක් පමණ පටු මාවත් ඔස්සේ කන්ද දෙසට රථාචාරී රථය මෙහෙයවයි. පාර දෙපසම ගේ දොරය. යමක් කමක් ඇත්තවුන්ගේ බව පෙනේ. පරිසරකාමින්ට සහ කාලය ඇත්තන්ට නගරයේ සිට කෙටි පියමඟක් ඔස්සේ පැමිණීමට ද අවකාශ ඇත. ඒ, අවට සිරි නරඹන ගමන්මය.
                රථය දැන් රථ ගාලයේ. මෙතැන් සිට සැරිය දෙපයින් ය. නිල් අහස් කුස සුදු පුළුන් වලා අතරින් පතිතවන උදා හිරු එළිය හිමාල දේශයට තවත් සුන්දර දවසක් කැන්දා එන සලකුණු ය. හිරු කිරණ හමුවේ පසුබා පලායන සීතල, සෞම්‍ය දිනයක ට අත වනයි. මේ සුන්දර දිනයේ අප පැමිණ සිටිනුයේ මනාලී හී වඩාත් ම සංචාරක ආකර්ශණය ලබා ඇති හදිම්බා දේවී දෙවොල නැරඹීමට ය.




                රථ ගාලේ සිට දෙවොල දක්වා රූස්ස ෆයිනස් සහ පොප්ලර් ගස් අතරින් වැටුණ පටුමඟ ඔස්සේ අප පිය නඟන්නෙමු. පරිසරය නිසලය. සිත දැහැන් ගන්වයි. භූමිය  පුරා පැතිරි නෙක පැහැ පියුම් නෙත පිනවයි.
                හදිම්බා දෙවඟන හින්දූන් අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍රවේ. දුර්ගා දෙවඟන ලෙසද ඇය හැඳින්වේ. හදිම්බා දෙවඟන හා බැඳුන හදිම්බා දෙවොල රසවත් පුරා වෘත්තාන්තයකි. මහා භාරතයේ ද හදිම්බා දෙවඟන පුරාවෘත්තාන්තය  සඳහන් වේ.
                හදිම්බා රාක්ෂ කුලයට අයත් ය. දෙමාපියන් නොමැති ඇය ජීවත්වූයේ සිය සොහොයුරු හදීම් සමඟය. හදීම් අතිදක්ෂ වික්‍රමාන්විත රණ ශූරයෙකි. සිය සොහොයුරා පරාජය කළ හැකි යම් අයෙක් වේද ඔහු හා සරණ බන්ධනයේ පැමිණෙන බව ඇය සිය අතපතා පැමිණියවුන්ට ප්‍රතිඥා දුනි.
                පාණ්ඩව දේශයෙන් පිටමං කළ රණශූර පාණ්ඩවයන් පස් දෙනෙක් මේ අතර මෙම ප්‍රදේශයට ලඟාවිය. ඔවුනතර සිටි කඩවසම්, රණශූරයෙකු වූ භිමා ට හදිම්බා ගැන සිත් පහළ විණි. ඔහු හදීම් සමඟ සටන් කළේය. සටනින් භිමා ජයගත් අතර හදීම් මරණයට පත්වුණි.
                පොරොන්දු ප්‍රකාරව හදිම්බා භිමා සමඟ සරණ බන්ධනයට පැමිණියාය.
                මිනිසාට, සතා සිව්පාවාට හා පරිසරයට අසීමිත ලෙස ආදරය සහ කරුණාව දැක්වූ හදිම්බා මිනිසුන් අතර දෙවඟනක් බවට පත්විය. ඇය භාවනානු යෝගීව කල්ගත කළ ගුහාව කේන්ද්‍ර කරගෙන හදිම්බා දෙවොල ඉදිවිණි. දෙවොලේ දන්නා ඉතිහාසය වසර 500කට එපිටට දිවේ. නමුත් සැබෑ ඉතිහාසය ඊට බොහෝ ඈතට දිවේ.
                ෆයිනස් සහ පොප්ලර් ගස් අතරින් වැටුන පියමඟ කෙළවර වන්නේ කළුගලින් කළ පියගැට පෙලකිනි. පියගැට පෙළ තරණය කළ විට තැනිතලා බිමෙහි පීඨිකාවක් මත සිව් මහල් පැගෝඩාකාර  නැතිනම් චෛත්‍යාකාර දෙවොල තනා ඇත. මෙය ප්‍රධාන වශයෙන් ම චීන හා ජපන් වාස්තු විද්‍යා ලක්ෂණ වලට නෑකම් කියයි. පළමු මහල් තුන දැව පතුරු සෙවිලි කළ චතුරස්‍රාකාර පියසි වලින් ආවරණය කර ඇත. ඉහළින්ම කොතක හැඩයෙන් යුත් තඹ පියස්සකි. සැකිල්ල දැව සහ මැටියෙන් නිමවා ඇත. මීටර් 24ක් උසැති මෙය හඳුන්වනුයේ ශිකාර් ලෙසය.
                දෙවොල ඉදිරිපස සියුම් කැටයමින් නිමි ලීකණු හතරකි. දෙපස ද එවැනිම ලී කණු හතර බැගින් ඇත. එමඟින් තුන්පසකින් යුත් බරාඳය  ප්‍රධාන කුටිය වටා ඇත.
                ප්‍රධාන කුටියට ප්‍රවේශ දොරටුව අඩි තුනකට වඩා උස නැත. එය වටා ඇති අඩි දෙකකට වඩා පළලින් යුත් ලී උළුවස්සේ මන බඳින මල්කම්, ලියකම් ය. දෙවඟනන්ගේ සහ සත්ත්ව රූප ද ඒ අතර වේ. උළුවස්සට ඉහළින් පිහිටි විශාල ලී බාල්කයේ නවග්‍රහයන් කැටයම් කර ඇත. ලලනාවන්ගේ රංගන ශෛලීන්, මහා භාරතයේ ක්‍රිෂ්ණගේ ජවනිකා එහි ඉතා සියුම්ව කැටයම් කර ඇත.





                ප්‍රවේශ දොරටුවෙන් ඇතුළු වන දෙවොලේ අභ්‍යන්තරය ස්වාභාවික ගල් ගුහාවයි. හදිම්භා දෙවඟන වෙනුවෙන් දැල්වෙන පහන් ආලෝකය අඳුර මදක් පළවා හරී. දෙවොලේ ප්‍රධානම පූජනීය වස්තුව වන සෙන්ටි මීටර 7.5ක් උසැති හදිම්බා දෙවඟනගේ ලෝකඩ ප්‍රතිමාව එහි තැන්පත් කර ඇත.
                හදිම්බා දෙවොල මුල් කරගෙන ප්‍රධාන උත්සව දෙකක් වාර්ෂිකව පැවැත්වේ. ඉන් එකක් හදිම්බා දේවියගේ උපන් දිනය මුල්කරගෙන මැයි මස  14වන දින පැවැත්වේ. දුන්ග්‍රී Dungri වනය ආශ්‍රිතව වෙසෙන කාන්තාවෝ බොහොමයක් ඒ සඳහා සහභාගී වන අතර නැටුමෙන් සහ ගැයුමෙන් උත්සවය අලංකාර වේ.

                අනෙක් උත්සවය පැවැත්වෙනුයේ මහරාජා බහදූර් සිං සිහි කිරීම පිණිසය. වර්තමාන විහාරය ඉදිකිරීමට පුරෝගාමී වූයේ ඔහුය.

Dr Asela Perera
MBBS, MSc (Medical Admin)
Member of International Association of Ladakh Studies

No comments:

Post a Comment