Tuesday, August 2, 2016

නූබ්රා නිම්නය







            සොනාම් ලේ සහ සෙරෙන්ජ් මෙනවිය සමග ඔවුන් දෙපළගේ මෝටර්රථ දෙකෙන් අප මේ යන්නේ ලඩාක් දේශයේ සුන්දරම නිම්නය සේ සැලකෙන නූබ්රා නිම්නය වෙතය. ලෙහ් වලට ඊශාන දෙසින් ලඩාක් කඳුපංතියට එපිටින් නූබ්රා නිම්නය පිහිටා ඇත. වසත් සමයේ නෙක වනමලින් විචිත්‍රවත් වූත් තෘණ භූමි, තුරුබිම් වලින් අලංකෘත වූත් නූබ්රා නිම්නය පිළිබඳ පොත්පත් සඟරාවල දැකතිබූ පින්තූරත් මා මිත්‍ර සොනාම්ගේ විස්තරත් නිසා නුබ්රා නිම්න චාරිකාව අපගේ සිහිනයක්ම විය.
            නූබ්රා නිම්නය සංචාරකයින් සඳහා විවෘත වූයේ 1994 දී ය. ලෙහ් සිට මාර්ග දෙකකින් නූබ්රා නිම්නයට ලඟා විය හැක. මීරට 5602ක් උස, ලොව උසම රථවාහන ගමන් කළ හැකි කාදොංග් ලා  Khardong-La  දුර්ගය හරහා පිහිටි මඟ එකකි. එමගින් යාමට සංචාරකයින්ට විශේෂිත අභ්‍යන්තර දේශ සීමා අවසර පතක් ලබාගත යුතුය. මේ නිසා අප තෝරා ගත්තේ වරිල්ලා දුර්ගය හරහා දිවෙන මාර්ගයයි.(අප මෙම සංචාරයේ යෙදුන 2014 වන විට ඉන්දීය රජය ලාංකීකයින් සදහා අභ්‍යන්තර දේශසීමා බලපත් නිකුත් නොකෙරිනි)
            කාදංග් වටරවුමේ පිහිටි ලොව උසම ඉන්ධන හලෙන් මෝටර් රථ වලට ඉන්ධන පුරවාගත් අප හිමිදිරියේ ම පිටත්වුයෙමු. ලෙහ් මනාලී මාර්ගයේ කරෑ Karu දක්වා පැමිණ උදෑසන පාතරාසය ගතිමු. කරූ කුඩා නගරයකි. දාබා ලෙස හැඳින්වෙන ආපනශාලා කීපයක් සහ වෙළඳ සැල් කීපයක් ඇත. කරූ වඩාත් වැදගත්වන්නේ එහි ස්ථානගත කර ඇති හමුදා කඳවුරු සහ පුහුණු පාසල් නිසාය. ඉන්දීය හමුදා‍වේ චීන හා පකිස්ථාන දේශසීමා ආරක්ෂක කඳවුරු වල ප්‍රධාන සැපයුම් ස්ථානයකි.
            “කරූ කියල දැන් භාවිතාවුනාට එහි නියම නම කාගෘ. ලඩාක් බසින් පංචවිහාර කියන අරුථ තියෙන්නෙ. නමුත් හමුදාව පැමිණීමත් සමඟ ක්‍රමයෙන් එය කරූ වුණා.” සෙරිංග් මෙනවිය ලංකාවට පැමිණ මා නිවසේ සාකච්ඡා කරමින් සිටින අතරතුර දිනක පැවසුවාය. කෙසේ නමුත් අප ගමනට අවශ්‍ය අඩුමකුඩුම කාගෘ හිදී එකතු කර ගත්තෙමු.
            මෙතැන් සිට පැංගොංග් විල දක්වා දිවෙන මාර්ගයේ ගමන් කළෙමු. පොප්ලර්, විලෝ සෙවනේ සරුසාර බාර්ලි, ග්‍රීන්පීස් ගොවිබිමින් හැඩ වූ ගම්මාන පසුකරමින් යන අතරතුර සක්ති  Sakti  ග්‍රාමයේදී මාර්ගය පැංගොංග් විලට සහ නූබ්රා නිම්නයට බෙදේ.
            නිම්නයේ සුන්දර ගම්මාන සහ ගොවිබිම් කඳුපාමුල තෙක් විහිදේ. නිම්නය මැදින් කෙත්බිම් සරු කරමින් දිය දහරක් ගලයි. පස කළු පැහැතිය.


            අප දැන් අහස තෙක් නැඟෙන කන්ද තරණය කරන්නෙමු. සශ්‍රීක ගොවිබිම් සහ ගම්මාන ක්‍රමයෙන් අවසන් වේ. “වරිල්ලා පාස් කි.මි.25” පුවරුවක සටහන්වේ. සොනාම් ලේ සිය මෝටර්රථය ඔෆ් රෝඩ් දමා කෙටි මඟකින් ගොස් සෙරිංග් මෙනවියගේ මෝටර් රථය ඉස්සර කරයි. ක්‍රමයෙන් අප කඳු මුදුනේය. පහළ බැලූ විට අවසන් ගම්මානය සහ හරිත නිම්නය විහඟ නෙතින් පෙනේ. ඈත පසුබිමේ සංස්කාර්  Zanskar  කඳු පංතියේ ග්‍ලැසියර් සුන්දර දසුන් මවයි.
මඟ කෙමෙන් දුෂ්කරය. පරිසරය සුන්දරය. දැන් දැන් කඳුබෑවුම් වසා පැතිරි හරිත තෘණ බිම් දක්නට නොමැත. නිර්වස්තර කඳුබෑවුම් වල ඉඳහිට තෘණ පඳුරක් දෙකක් ඇත. කඳු මුදුනට ඇදෙන දඟර ගැසුන මඟ තව තවත් දුෂ්කර වේ. මෝටර් රථයේ ඇංජිම බර අඳිමින් කන්ද නගින්නට වෙර දමයි. සොනාම් ගේ පුංචි සුරතල් පුතු මා උකුලේ දඟ  දමයි.
            සීත සුළඟට ගත කිලිපොලයි. නමුත් මොහොතින් මොහොත වෙනස් වන හාත්පස සුන්දර දසුනින් සිත උණුසුම්ය. “මේ මාර්ගය නූබ්රා වලට තියෙන දුෂ්කරම මාර්ගයයි. ගම්මානයෙන් මෙපිට මිනිසුන් ගැවසීම හරිම අඩුයි. ඒ හින්දා මේ ප්‍රදේශයේ ඇතැම් විට සොරුන් ගැවසෙනවා“ ආචාර්ය සොනාම්  පවසයි. ඛම්පා නැමති පල් සොරුන්ට හසුව උතුරුදිග ටිබෙට් සානුව ඔස්සේ ‍ඖෆ්නෛයිටර් සමග ලාසාවට පලායමින් සිටියදී සිය පණ බේරාගත් අයුරු හෙන්රිච් හැරියර් සිය ටිබෙට් රටේ සත් වසක් කෘතියේ කරනු ලබන විස්තරය මාගේ මතකයට නැගිනි.
            එකවරම හිමාලයන් මර්මර් ජෝඩුවක් දිවගොස් ගල්අතර ගුහාවේ සැඟවේ. මීමින්නකුට වඩා තරමක් විශාල දුඹුරු පැහැති දිගු වලිගයක් සහිත මර්මර් මෙම භූමිය හිමෙන් වැසුන පසුව ශිසිර තරණය සඳහා නිද්‍රාවට වැටේ. ඌ ආපසු නැගිටිනුයේ වසන්ත උදාවත් සමඟය. මෙසේ සය මසකට අවැසි ශක්තිය සිරුරේ එක්රැස් කරගැනීමට යුහුසුළුව ආහාර සොයා සරති.
     

    වරිල්ලා දුර්ගය පසුකල පසු දෙපස නැවත ක්‍රමයෙන් තෘණභූමි ඇරඹේ. තෘණ භූමිය පුරා කුඩා ගල් විසිරී  ඇත. ගල් අතර සුන්දර රතු, නිල්, කහ සහ දම් පැහැ වනමල් ය.



    


                                   

කඳු බෑවුමේ සිට මාර්ගට නිරන්තර පෙරළී ඇති ගල් සොනාම් ට දස වදයකි. පසෙක ගලන දිය දහර කණ්ණාඩියක් සේ පැහැදිලිය.
            අපට එක් පසෙකින් සංස්කාර් කඳු පංතියයි. අනෙක් පසින් පාකිස්ථාන මායිමේ ඇති කැරකොරාම් Karakoram  කඳු පංතියයි.
            දැන් අප ක්‍රමයෙන් නූබ්රා නිම්නයට පල්ලම් බසින්නෙමු. නිම්නය ජලධාරා වලින් පෝෂිතය. තෘණ භූමි සාරවත්ය.
            “සොනාම් ඉන්දියාවේ හරි කොමන් නමක්. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම පාවිච්චි කරනවා. ස්ත්‍රී ද පුරුෂ ද කියල වෙන්වෙන්නෙ දෙවන නමින්.” සොනාම්  විස්තර කරන අතර පෙම්කෙළෙමින් සිටි මර්මර් ජෝඩුවක් එකවරම ගල්පර අතර සැඟවේ. විටෙක ගල්තලාවක හිරු එළිය තපින එකෙකි. විහඟකු අපත් සමඟ පියඹා ගොස් සැනින් මඟ වෙනස් කරයි. ඈත අහසේ කඳු අතර ගිජු ලිහිණියන් රෑනක් ගොදුරකට ඉව අල්ලමින් සැරිසරයි. යැක් ගවරංචු තෘණ භූමිය පුරා සිත්සේ තණ බුදිති. සමහර නාම්බෝ සෙල්ලමට ඇනගනිති.
අප මදක් ඉසිඹුලන්නට සිතුවෙමු.                                                                     
           
සිරුර පුරා කළුපැහැ ලොම් පිරුණු, උදරයේ සිට දිගු ලොම් කඩා හැලෙන යැක් ගවයා එතරම් උස නොවේ.
            “ඔබ දන්නවද ? ලඩාක් දේශයේ සාම්ප්‍රදායික ජීවන රටාව විශාල පරිවර්තනයකට ලක්වෙමින් පවතිනව” යැක් ගව රංචුව දෙස බලමින් සොනාම් ලේ පවසයි. ඔහුගේ වතපුරා පැතිරෙන ශෝකී ඉරියව්ය. දෑසේ ගැඹුරු කල්පනාවකි.
            “ යැක් ගවයින් සමඟ එහි ඇති සම්බන්ධය කුමක් ද?” මගේ පැනයත් සමඟ ඔහු ගලක් මත හරිබැරිගැසී එරමිණිය ගොතාගත් බැවින් මා ද ඔහු අනුකරණය කළෙමි.
            “ඉස්සරනම් මේ ගවරංචුව සමඟ උන්ගේ හිමිකරුවන් උන් පසුපස යනව. නමුත් දැන් ඔවුන් බොහෝ විට ස්ථීර නිවාස වල පදිංචි නිසා සංචාරක ජීවිතය අතහැරල. මේ කාලය පුරාවටම ගවයින්ගෙන් කිරි දොවාගැනීමත් ගවබෙටි එකතු කිරීමත් සිදුවෙන්නෙ නෑ. කිරි අපේ ප්‍රධාන ආහාරයකි. චීස්, බටර් නිෂ්පාදනයට කිරි අවශ්‍යයි. ගවබෙටි ප්‍රධාන ඉන්ධනය” ඔහු පැහැදිලි කරයි.
            “ගැමි දරුවො කුඩා වයසේදී ම අධ්‍යාපනය සඳහා දුරබැහැර පාසල්වල නේවාසික වෙනවා. සාම්ප්‍රදායික දැනුම ඔවුන්ට ලබා ගන්න කාලයක් නෑ. අපේ ආවේනික දැනුම සහ උරුමයන් ඔවුන්ගෙන් ගිලිහෙනවා.” යැක් ගව රංචුව අපූරු පාඩමක් කියා දුනි.
            මට ජපානයේ වජීමා නගරයට ගිය අවස්ථාව සිහියට නැඟුනි. මෙම ප්‍රශ්ණය වජීමාවට ද ඒ ආකාරයෙන්ම තිබේ. තරුණයින් උසස් අධ්‍යාපනය සහ රැකියා සඳහා ප්‍රධාන නගර කරා සංක්‍රමණය වීම නිසා ප්‍රදේශයේ මූලික ජීවනෝපාය වන ධීවර කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය කඩා වැටෙමින් ඇත. කොටින්ම අපේ ගම් ප්‍රදේශ වලට ගියාමත් තත්වය මේකමය. කුඹුරක් බතක් කරන්න හිටිය කොල්ලො කුරුට්ටො ටික ටවුමේ ගාමන්ට් එකේ රස්සාවට ගොහිල්ල.
            “අපි යමු නේද?..”  සොනාම් ලේ මගේ දැහැන බිඳීය.
            පහළින් නිම්නය ඔස්සේ කළු, සුදු, දුඹුරු පැහැ සියගණනක බැටළු රෑනක් දක්කාගෙන යන එඪෙරුන් පිරිසක් විහඟ නෙතට පෙනේ. පොත් වල කියවා තිබූ පිනතූර වල දැක තිබූ මෙදසුන් දකින දෑස පින්කර නැතිද?

            නූබ්රා නිම්නයේ පොප්ලර් ශාඛ එතරම් බහුලව නැත. ශිබක්තෝර්න් Sea-buckthorn ලෙස ලඩාක් බසින් වහරන ටර්මරින් ශාඛ බහුලය.ටමරින් තුරු සෙවනේ අප මේ සරන්නේ නූබ්රා නිම්නයේ ය.
      
  
වෛද්‍ය අසේල පෙරේරා
  
ගමන් සගයෝ.........  



2 comments: