Friday, March 24, 2017

දෙයියන්ගෙ රටට

ලොහෝල්, හිමාචල් ප්‍රාන්ථයේ ලොහෝල් සහ ස්පීට් දිස්ත්‍රික්කයේ එක් පරිපාලන ප්‍රදේශයකි. හිමාල කඳු පංතියට සමාන්තරව ඉන්දියාව ටිබෙට් සානුවෙන් වෙන්කරමින් පැතිර ඇති ලොහෝල් හිමාලයේ ස්කොට්ලන්තය ලෙස බ්‍රිතාන්‍යන් හඳුන්වයි.
                ටිබෙට් බසින් ලොහ්-යූල් Lho –Yul යන දකුණු දේශය යන අරුත ඇති වදනින් ලොහෝල් බිඳී ආ බව එක් මතයකි. දෙයියන්ගෙ රට යන අරුත ඇති ලහ්හි-යූල් Lhahi-Yul යන වදන ලොහොල් වූ බව තව මතයකි. ලා La යන්න ටිබෙට් බසින් දුර්ගය යන අරුත ඇති බැවින් ලා හෝල් යන්න දුර්ග රැසක් ඇති දේශය යන අරුත් දෙන බවට ද මතයකි. ලොහෝල් සංචාරය කළපසු මගෙ හිත මට කීවේ මේ කොයි අරුතත් ඊට මනාව ඔබින බවයි.
                ජන ඝණත්වය වර්‍ග කිලෝ මීටරයකට දෙදෙනෙකි. එනිසා ලොහෝල් ලොව අවම ජන ඝණත්වයක් ඇති ප්‍රදේශ වලින් එකකි. ශීත කාන්තාර දේශගුණය ඊට ප්‍රධාන හේතුවකි.
                ලෝහෝල් මුහුදු මට්ටමේ සිට මීටර 3165 ක උසින් පිහිටා ඇත. මනාලී සිට ලොහෝල් පරිපාලන කේන්ද්‍රස්ථානය වන කීලෝංග් වෙත දුර කිලෝමීටර 122 කි.
                මනාලී සිට කීලෝංග් දක්වා මඟ වැටී ඇත්තේ බිආස්  ගං ඉවුර දිගේය. නිම්නයේ ගං දෑලෙත්, කඳු බෑවුම්වලත් ඇස පේන මානයේ පැතිර ඇති ඇපල් වතුය. රතට රතේ කොලට කොලේ කඩා හැලෙන ඇපල් වලු මුවට කේඨය කැඳවයි. බිආස් ගඟ නිම්නය අතරින් ගල් අතර හැපෙමින් සුදට සුදේ කඩිමුඩියේ දඟ දමමින් ගලා බසින අයුරු අපූරුය.



 මෙලෙස මනාලී සිට කිලෝ මීටර 13ක් පමණ ගියතැන බිආස් ගඟබඩ පිහිටි සුන්දර කෝති ගම්මානය හමුවේ. නිම්නය අතර මද බෑවුමේ ඇති කෝති, නිවාස 20-30 ක ගම්මානයකි. විහඟ වෙසින් තටු පළඳා අහසේ කඳු අතර සරන්නට- ග්ලයිඩීන් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධය.






                කෝති පසු කළ පසු දේවදාර සහ නිල් ෆයිනස් ගස් අතරින් දඟර දමමින් මනාලී කීලෝංග් මඟ කඳු මුදුනට දිවේ. දෙපස තණ බිම් කෙළවර හිමෙන් වැසුන මුදුන්වලින් යුත් කඳු පංතිය විටෙක ඝණ මීදුම අතරේ මුදුන සඟවා ගනී. බිආස් ගඟ පෝෂණය කරන කඳු මුදුනේ සිට කඩා හැලෙන දිය දහරා තැනක අඩි සියගණන්  උසැති දියඇළි නිර්මාණය කෙරේ. දඟර මගේ ගුලාබා ප්‍රවේශ දොරටුව පසු කරන විට අප සිටිනුයේ කඳු මුදුනේ ය. පුළුන් ගොඩක් ඇතිරූ සේ කඳුමත වූ හිම පතනයන් දැන් දැන් අත පෝවන මානයේ ය. දියවුණු හිම දෝරේ ගලමින් තැනෙන දිය මං පරිසරයේ චමත්කාරය වැඩි කරයි. බිආස් ගංඟාව සුදු නූල් පටක් සේ පහළ නිම්නයේ ගලනු විහඟ ඇසින්පෙනේ.




මාෂී Marshi අඩි නමදාහක් ඉහළින් මෙමඟේ පිහිටි කුඩා බෞද්ධ විහාරයකි. ඒ අසල සංචාරකයින්ගේ පිපාසය, කුසගිනි සනසාලන දාබා කීපයක් හා පොලිස් මුරපොළකි.
                තවත් ඉහළ අහස වෙත ලංවෙද්දී මාෂී සහ කෝති ගම්මාන එකම රේඛාවක උස්මට්ටම් දෙකක පෙනේ. ඒ අතර ගොදුරට මාන බලන ගිජු ලිහිණි රංචුවක් අහසේ සැරි සරති.




                වලාකුළු අතරින් අප රොතංග් ලා හෙවත් රොතංග් දුර්ගය වෙත ලඟා වූයෙමු. මනාලී සිට දැන් අප ගෙවා ඇති දුර කිලෝ මීටර් 51කි. මීටර 3970 ක් හෙවත් අඩි දොළොස් දහසක් පමණ උසක සිටින්නෙමු. ආශ්වාස ප්‍රශ්වාසයට තරමක් අපහසුතා ඇති කරයි. එය තීව්‍ර උච්ජ රෝගය නැතිනම් high altitude sickness හී ලක්ෂණයකි. වාතයේ ඔක්සිජන් ඝනත්වය අඩුවීම ඊට බලපාන ප්‍රධාන හේතුවයි.
                විටෙක මුළුමනින්ම මීදුමෙන් වැසෙන, නිමේෂයක දී විවරව හිරු එළිය වැටී දිලිසෙන හිමාල කඳුපංතියේ ගැලැසියර රොතංග් කපොල්ලේ නෙතට රසඳුනයි. සෝනාප්ති ග්ලැසියරය සහ නෙෆැංග් කඳු ශීඛර මෙහි සිට පැහැදිලිව දැකිය හැක.






                රොතංග් කපොල්ල ලොහොල් සහ ස්පීටි දේශයට පිවිසුම් දොරටුව ලෙස සැලකේ. රොතං සිට මද දුරක් පැමිණි කල ගැම්ෆූ Gamphu හිදී මනාලී සිට ආ මඟ දෙමඟ වී එක් මඟක් කීලෝංග් හරහා ලෙහ් දක්වා ද, අනෙක් මඟ කුන්සුම් ලා හරහා ස්පීටී හි ප්‍රධාන නගරය වන කාසා Kaza දක්වා ද දිවේ. අප කීලෝංග් මඟ ඔස්සේ ගමනේ යෙදෙන්නෙමු.
                රොතංග් සිට සිසු Sisu දෙසට නැවත සීඝ්‍ර බැස්මකි. දෙපස තෘණ භූමියේ තැන තැන තණ කන බැටළු රංචුය. චන්ද්‍රා Chandra ගංඟාව පෝෂණය කරන දිය දහරා ගල් මතින් දඟ කරමින් කඩා හැලේ. තැනතැන හිටිවනම හිමවූ දිය පහරකි. මෙලෙස පෝෂණය ලබන චන්ද්‍රා ගංඟාව නිම්නය අතර ප්‍රචන්ඩව ගලනු පෙනේ.
                නිම්නයේ ගඟ දෑල පටු තැනිතලාවල එළවළු සහ බාර්ලී වගා බිම්ය. සාරවත් කළුපසත්, චන්ද්‍රා ගඟේ ජල පෝෂණයත් සරු අස්වැන්නක සලකුණුය. කඳු බෑවුමේ තණබිමේ තැනින් තැන ඇති ෆයිනස් ගස් නෙතට ප්‍රිය උපදවයි.
                සිසු චන්ද්‍රා ගඟබඩ පිහිටි සරුසාර ගොවි ගම්මානයකි. වගාබිම් අතර පොප්ලර් සහ විලෝ තුරුගොමු සෙවනේ හිමාලයේ ඉහළ කඳුකර ප්‍රදේශයට ආවේනික ගැමිගෙවල් සුන්දර දසුනකි. බොහෝ නිවාස දෙමහල් හෝ තෙමහල්ය. බිම් මහල හරක බාන සඳහාය. ඉහළ මාලය නිවැසියන් උදෙසාය. නිවසට ආලෝකය හා වාතාශ්‍රය ලබා දෙන කුඩා කවුළු ද, ගල් පතුරු සෙවිලි කළ වහලද සීත සමයේ දැඩි සීතලටත් හිමපතනයටත් ඔරෝත්තු දීමට උපක්‍රමය.
                නූතන ගෘහ නිර්මාණ ශිල්පය සාම්ප්‍රදායික හිමාල කඳුකර ගෘහනිර්මාණ ශිල්පය ආක්‍රමණය කරමින් සිටී. ලී ගෙබිම වෙනුවට ටෙරාසෝ බිම ද, ගල් පතුරු සෙවිලි කල වහළ වෙනුවට තහඩු සෙවිළිකල වහලද ආදේශ වී ඇත. පාරිසරික විපර්යාස නිසා ඇතිවන ගෝලීය උණුසුම හිමාල අඩවියට ද දැනෙන්නට පටන්ගෙන ඇත.  මිටි වහල වෙනුවට උස්වහල බාධාවක් නොවන්නේ එනිසාය. ගෙඋදුන සහ චිමිනිය නූතන නිවාස වලට එක්කරනුයේ උණුසුම ලබා ගැනීමට වඩා පෞරාණික මෙවලමක් ලෙසය.
                මුහුදු මට්ටමේ සිට මිටර් 3100 ක උසින් පිහිටි සිසු ගම්මානයේ සිට කීලෝංග් දක්වා දුර කිලෝමීටර විසි අටකි. චන්ද්‍රා ගඟේ එගොඩ ඉවුරට එපිටින් කඳු බෑවුමේ කඩා හැලෙන දිය ඇල්ල ගමට මනාලියකි.
                කීලෝංග් වලට ඇත්තේ තවත් කිලෝමීටර 18කි. දහවල් අහර කිසීමට අපේ රථයේ මාතලීට හිතගිය තැන ගොන්ද්ලා හී කුඩා දාබාවකි. චන්ද්‍රා ගඟේ දකුණු ඉවුරේ තැනිතලාවක පිහිටි ගොන්ද්ලා සුන්දර ගොවි ගම්මානයකි.
                “ජූලි මාසේ ආවානම් ගොන්ද්ලා උත්සවය බලන්න තිබුණා.මාතලී කියයි.
                ලැංග් ධර්මා ටිබෙට් රජු බුදු දහමට සතුරුකම් කළේය. ඔහු පරාජයට පත් කිරීම සමරා එදා පටන් ගොන්ද්ලා උත්සවය පැවැත්වෙයි. දසතින්ම පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිස් එදිනට ගොන්ද්ලා ගොම්පාවට එක්රැස්වෙති. වෙස්මූණු බැඳි ලාමාවරුන්ගේ නැටුම් සංදර්ශණය උත්සවයේ වඩාත්ම සිත් ඇඳි අංගයයි.


දෑසින් දකින්න කාලයේ කඩතුරාව බාධාකලත් ගල් සහ දැව පමණක් භාවිතයෙන් තනා ඇති අෂ්ඨමහල් මාළිගය ගොන්ද්ලාවටම අද්විතීය නිර්මාණයකි. එය ප්‍රදේශයේ ඨාකූර් නිල නිවසයි. ගොන්ද්ලා බලකොටුව තුල පිහිටා ඇති මාළිගය වර්ෂ 1700දී නිර්මිතය.
                ලොහෝල් හී වැදගත් බෞද්ධ කේන්ද්‍රස්ථානයක් ලෙස ගොන්ද්ලා ගොම්පාව සැලකේ. එහි ඇති ඵෙතිහාසික වැදගත්කමත් සුන්දරත්වයත් බෞද්ධයන් පමණක් නොව බොහෝ සංචාරකයින් ද ආකර්ශණය කරගනී.
                ගොන්ද්ලා හී යකඩ පාලමෙන් චන්ද්‍රාව තරණය කර අප දැන් වම් ඉවුර ඔස්සේ ගමන් කරන්නෙමු. මීලඟ හමුවීම තාන්දී Tandi ග්‍රාමයයි. දෙපස කඳුබෑවුමේ නිසරු තෘණ භූමියත් ඉඳහිට ගඟදෑල හමුවන බාර්ලි වගා බිමුත් පසුකර තාන්දී ග්‍රාමයට පිවිසි විට චන්ද්‍රාභාගා සරණ මංගල්යට අපට ආරාධනා ලැබුණි.
                සඳුගේ දියණිය චන්ද්‍රාත්, හිරුගේ පුතණු භාගත් යොවුන්වියේ සිටම ආදරවන්තයින්ය. ඔවුන් ඉපද හැදී වැඩුනේ මීටර 4890 ක් උසැති බරාලාචා කපොල්ලේ ය. කිසිදා නොබිදෙන සරණ බන්ධනයක් පැතූ දෙපළ දෙඅතක ඇදී යන්නට තීරණය කළෝය.
                “කෙදිනක හෝ අප හමුවුවහොත් එය අපගේ සදාකාලික එකතුවයි.දෙදෙනාගේම ප්‍රාර්ථනාව විය.චන්ද්‍රා හුරුබුහුටි දක්ෂ කෙල්ලකි. ඇය දුෂ්කර මංපෙත් මඟ හරිමින් නිසංසලේ ගලා ආවාය. කිලෝමීටර් එකසිය පහළොවක දීර්ඝ ගමනකින් පසු ඇය තාන්දී වෙත පැමිණීමට සමත් වූවාය.
                භාගා කඩවසම් හැඩිදැඩි තරැණයෙකි. චන්ද්‍රා හමුවීමේ කඩිමුඩිය නිසා ඔහු කෙටිමඟ ප්‍රිය කළේය. එහෙයින් ගමන දුෂ්කර විය. පටු නිම්නයන් ඔස්සේ වේගයෙන් පැමිණි ගමන වෙහෙසකර වුවත් කිලෝමීටර් හැටපහක දී භාගා තාන්දී වෙත සේන්දු විය. දෙපළගේ ප්‍රාර්ථනා සඵල විය. අතිනත ගැනීමෙන් පසු දෙපළ චන්ද්‍රාභාගා ලෙස එකකුම විය. එදා පටන් අදටත් හෙටටත් චන්ද්‍රාභාගා සිය නොබිඳෙන සරණ බන්ධනය එලෙසම සුරකිනු ඇත.
                ඒ තාන්දී හී චන්ද්‍රා ගඟත් භාගා ගඟත් එකිනෙක වෙලී සෑදුණු සංගමයේ පුරා වෘත්තයයි. ඒ හැර තාන්දී හී සංචාරකයිනට තවත් වැදගත්කම් දෙකක් ඇත. කාදංග් ගොම්පාවට ප්‍රවේශ මාර්‍ගය ඇත්තේ තාන්දී සිටය. ලඩාක් Ladakh හී ලෙහ් Leh දක්වා දිවෙන මනාලී ලෙහ්  මාර්‍ගයේ කිලෝමීරට 350 කට මෙපිටින් හමුවන අවසාන ඉන්ධන හල තාන්දීය.

                තාන්දී සිට කීලෝංග් දක්වා දුර කිලෝමීටර අටකි. අප පළමුව කාදංග් ගොම්පාවට. දෙවනුව ඉන්ධන.

Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association of Ladakh Studies

No comments:

Post a Comment