Tuesday, August 30, 2016

ඉන්දියාවේ පාරාදීසයට


            ගොශාල් කඳුවැටියේ එක් බෑවුමක මධ්‍යයේ පිහිටි කීලෝංග් තුරු ලිය කෙත්බිම් මධ්‍යයේ පිහිටි සුන්දර කුඩා නගරයකි. නගරය කෙලවර නිම්නයේ භාගා ගඟ ගලා බසී. වසන්තයේ සැඳෑ අඳුර කීලෝංග් වෙත ගලනුයේ ප්‍රමදවය. නමුත් සීත සුළඟින් අඩුවක් නැත්තේය. අපගේ නවාතැන්පල ‘හිමදසුන’ හෝටලය නමට ගැලපෙන ලෙස හාත්පස මනස්කාන්ත දසුන් අප නෙත් මානයට කැඳවයි. රාත්‍රී අහර සඳහා භෝජනාගාරයේ සැකසෙන රසමසවුළු කුස පුරා සප්පායම් වන අතර සෝණු, අපගේ මාතලී පැමිණේ.
            “හෙට උදේ පහට අපි පිටත්වෙන්න ඕන. ඒ නිසා කලින්ම නින්දට යන්න.” මගේ කන් දෙපසින් රත්වීගෙන යන්නාසේ දැනිනි. මේ සීතලේ උදේ පහට නැඟිටන එක මරන්නා සේ නොවේ ද?
            රාත්‍රීයේම හෝටලයේ බිල ගෙවා එකලාසයක් කළෙමු. අවසානයේ අපි උදේ හයට පිටත් වුනෙමු. සෝණුගේ මුහුණ එතරම් හොඳ නැත. පැයක ප්‍රමාදය ඔහු කළමනාකරණය කරගත යුතුව ඇත.
            වළාකුළු රහිත අහසේ තාමත් තරු දිලිසේ. අප ක්‍රමයෙන් නගරයෙන් ඈත් වන්නෙමු. මඟ ක්‍රමයෙන් දුෂ්කරය. පරිසරය ශුෂ්කය. කේතුධර ෆයිනස් ගස් නිසරු බිමේ අතරින් පතර ඇත. ජනාවාස හිඟය. දෙපස කඳුමුදුන් හිමෙන් වැසී ඇත. තද සුළඟක් නිසරු පසත් නිසා ශාඛ වර්ධනය උගහටය. මේ කිසිත් නොදන්නා සේ භාගා ගඟ නිම්නය ඔස්සේ ගලා බසී.
            බිම් එළිය වැටෙද්දී අප භාගා ගඟබඩ ක්ෂේම භූමියක් වන ජෙමූර් ගම්මානය පසු කළෙමු. එය නිවාස පහළොවක විස්සක කුඩා ගම්මානයකි. සීමිත භූමි ප්‍රදේශයක කෙත් බිම් පැතිර ඇත.
            මඟ එක් පසක මහ කන්දය. එහි සිට නිරතුරුව ගල් පතිත වේ. අනෙක් පස අඩි දහස් ගනණක හෙළය. ඇතැම් තැනක පාර නාය ගොස් ය. එකවරම පාර හරහා ගලන මහ දිය කඳකි. නමුත් සෝණුට මේ මඟ  අතැඹුලක් සේ හුරු පුරුදුය. ඔහු වසරකට  දහ දොළොස් වතාවක් මෙම ඉනෝවා ජීප් රියේ මනාලී -ලෙහ් අතර සංචාරකයින් රැගෙන යයි.
            බොහෝ වේලාවකට පසු ගිස්පා Gispa කුඩා ගම්මානය පසු කළෙමු. නිවාස කීපයක් සංචාරක නවාතැන්පලවල් කීපයක් ඇත. ඒවා විශාල කූඩාරම් ය. මෙහි මෙට්ටයක්, බ්ලැන්කට් සහ කොට්ටයක් දිනකට රුපියල් එකසිය පනහක මුදලකට ලබාගත හැක. මෙම කූඩාරම් නවාතැන් පළවල් පාපැදි වලින් සහ යතුරුපැදි වලින් ගමන් ගන්නා සංචාරකයින් අතර ඉතා ජනප්‍රියය. අපත් උණුසුම් කිරි තේ එකකින් ගත උණුසුම් කරගතිමු. ලෝහෝල් නිම්නයේ සුන්දරත්වයෙන් සිත උණුසුම්ය. 
        









  මීලඟට ඩාර්චා Darcha ගම්මානය හමුවේ. එහි ඇති පොලිස් මුරපොලේ දී සියළු සංචාරකියින්ගේ ගමන් බලපත්‍ර පරීක්ෂා කෙරේ. ඒ සඳහා ගතවන විනාඩි කීපයේ දී අසල ඇති කුඩා තේ කඩයෙන් තවත් උණු කිරි එකක රස බැලුවාට වරදක් නැත.
            හිමාචල් ප්‍රාන්ථය පුරා පැතිර ඇති කඳුකර උස්බිම් විල් රාශියකි. කණ්ණාඩියක් සේ නිල් කැටේට නොසෙලෙන දිය කඳු වලල්ලක් මධ්‍යයේ එකතු වී කඳුකර විල් නිර්මාණය වේ. බොහෝ කඳුකර උස්බිම් විල් කුඩා නමුත් ඉතා ගැඹුරුය. විල වටා ඇති කඳුවල හිම දිය වී ගලනා ජලය විල පෝෂණය කරයි.

            අඩි 12300 ක උසින් පිහිටි දීපාක්තාල්, තාල් යනු ටිබෙට් බසින් විලය, පැට්සියෝ හිදී දැක බලාගත හැක. ගහකොළ නොමැත. ශුෂ්ක පරිසරය ශීතකාන්තාර භූගෝලීය ලක්ෂණ කදිමට කියාදෙයි. දීපාක් විල අසල සංචාරක නවාතැන්පලක්, ඉන්දු ටිබෙට් දේශ සීමා කපොල්ලක් සහ හමුදා කඳවුරක් පිහිටා ඇත.

            නිරන්තර හිමෙන් වැසුණ කඳු පංතිවලට මැදි වූ උස් තැනි බිමක අන්තර් හිමාල දේශය ඔස්සේ සෝණු වේගයෙන් රිය පදවයි. මීටර 4500ත් 6000ත් අතර උස් භූමිය අන්තර් හිමාල දේශයට අයත් ය. ඉදිරියෙන් ඇත්තේ බරාලාචා Baralacha  දුර්ගයයි. තාර නොමැති වුවත් මාර්ගයේ කඩතොළු අඩුය. පාර අද්දරම පිහිටි සුරාජ් විශාල් විල භාගා නදියට ජල පෝෂණය ලබා දේ. නෙතින් දැක රසවිඳිය යුතු වචනයෙන් විස්තර කළ නොහැකි පරිසරය ඡායාරූප ශිල්පියෙකුට රජ දහනකි. අපත් සිත්සේ පරිසරය රස විඳ කැමරා කාච වලද ලෝබ නැතුව සනිටුහන් කර ගත්තේ මතු දිනටත් රස විඳින්නට ඕන නිසාය

            කීලෝංග් සිට දැන් පැමිණ ඇති දුර කිලෝ මීටර් හැත්තෑ පහකි. අප දැන් බරාලාචා දුර්ගය තරණය කරන්නෙමු. මීටර් 4890ක් උසැති බරාලාචා දුර්ගය කිලෝ මීටර අටක් පුරාවට දිවේ. දුර්ගය මුදුනේ හතරමං හන්දියකි. සංස්කාර්, ලඩාක්, ලොහෝල් සහ ස්පීට් ප්‍රදේශ වලින් පැමිණෙන මාර්ග මෙහිදී මුණ ගැසේ. දුර්ගය මුදුනේ කුඩා ගල් කැබලි සීරුවට එකිනෙක මත තබා කොත් ආකාරයට දුර්ගය තරණය කරන්නන් සිහිවටන සාදා ඇත. ඒ වටා එල්ලා ඇති ලුංග්තා කොඩිවැල් සීත සුළඟට සටසට ගා නිමක් නොමැතිව ලෙළ දේ.
            මේ පසු කරමින් සිටිනුයේ ලෙහ් මනාලී මාර්ගයේ උසම ප්‍රදේශයයි. හිමාචල් ප්‍රාන්ත මායිම ආසන්නයේ ය. තීව්‍ර ශිඛර රෝග ලක්ෂණ අඩුවැඩි වශයෙන් අප කාටත් දැනේ. හිසේ තෝන්තු ගතිය නිසා මනස්කාන්ත පරිසරය රස වින්දා මදියැයි පසුව පසුතැවීමකි.
            ‘ඔබ මේ පසුකරනුයේ ලොව දෙවන උසම දුර්ග මාර්ගයයි, තැග්ලැංග් ලා උස අඩි 17582 මාර්ගය අසල සිහිවටන ඵලකයේ දැක්වේ. දරාගත නොහැකි සීතලත්, දැඩි සුළඟත් තීව්‍ර ශිඛර රෝගයත් මොහොතකට අමතක කරමින් කවුරු කවුරුත් තම රථ වලින් එළියට බැස ඵලකය අසල ඡායාරූප ගැනීමට පොරකති. අසල කුඩා පන්සලකි. ඒ වටා ලුංග්තා කොඩිවැල් සිය ගණනකි. ගල් කැට දාගැබ් නිසා තැග්ලැංග් ලා Tanglang la දුර්ගයේ උස තවත් වැඩි වී ඇතුවා  නොඅනුමානය.




            තැග්ලැංග් ලා කපොල්ල උස් තැනිතලාවකි. ඈතින් වඩා උස් නොවූ කඳුවැටිය. ඒවායේ කිසිදු ගහක් කොළක් නොමැත. විටෙක මෙම කඳුවැටි ලා කොළ පැහැතිය. විටෙක දම්පැහැයෙන් දිස්වේ. තවත් මොහොතකින් කහ පැහැගනී. මෙලෙස මැවෙන වර්ණ රටා නෙත කුල්මත් කරයි. හිමාල දේශයේ කඳුවැටි වල ඇති විශේෂ පාෂාණ වර්ග හිරු එළිය පතිත වන දිශාව හා ප්‍රමාණය මත මෙලෙස වර්ණ රටා මවයි. තැනිතලාවේ සරුවට වැඩෙන තෘණ එක යායට නිල්ල මවයි. මේ සියල්ල එකම දසුනක දකින කල සිත්තරකුගේ සිතුවමකි.





            මෙම පෙදෙසේ මාර්ගය කාපට් අතුරා හොඳින් සකසා ඇත. ඒ දීපාක් ව්‍යාපෘතිය යටතේය. සෝණු හැටට හැටේ ඉනොවා ජීප් රිය පදවන්නේ ප්‍රමාද වූ පැය නැවත ලබාගන්නට සේය. අප පාරාදීසයක සරන්නා සේය. “ඉන්දියාවේ පාරාදීසයට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු.” විශාල පුවරුව ඒ අතරතුර පසුවිණි.
            “අපි දැන් ඉන්නේ ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ” සෝණු පවසයි. සාචු Sachu හිමාචල් සහ ජම්මු යන කාශ්මීර ප්‍රාන්ත මායිමයි. මුහුදු මට්ටමේ සිට උස අඩි 13850 කි. කීලෝංග් සිට අප පැමිණ ඇති දුර කිලෝ මීටර් 107 කි. ලෙහ් දක්වා දුර කිලෝ මීටර් 251 ක් බව සැතපුම් කණුවේ සටහන්ය.
            සාචු හී නවාතැන් කූඩාරම්පලවල් ඇත. නමුත් මේවා ශිත සමයේ දී ක්‍රියාත්මක නොවේ. ශිත සෘතුවේ අර්ධ ආක්ටික් දේශගුණයකට උරුමකම් කියන මෙම ප්‍රදේශය මීටර් ගණනක් උසට හිමෙන් යටවේ.
            සාචු පසුකල විට ක්‍රමයෙන් පරිසරය වෙනස් වේ. සරුවට වැඩුණු තණ පිටි නිසරු වැලිතලාවේ. වටා ඇති නිර්වස්තර කඳුවැටි සුළඟට, වැල්ලට සහ ජලයට ඛාදනය වී විවිධ හැඩතල මවයි. ඇතැම් තැනක මිසරයේ ඉපැරණි නගරයක් සිහි ගන්වයි. තවත් විටෙක ග්‍රෑන්ඩ් කැනියන්  ඇස් මානයේ ය.



 කඳු වැටි දෙකක් යා කරමින් පටු නිම්නයන් හරහා ඇති කොපමණවත් යකඩ පාලම්ය. ඒ මතින් ගමන් කරන විට ගඩ ගඩ හා විශාල ඝෝෂාවක් නැඟේ. සාචු පසුකර ටික දුරක් යනවිට ඇති දිය පහරක් මතින් එතෙර වීමට ඇති පාලම අබලන්ව ඇති නිසා අළුත්වැඩියා කෙරෙමින් පවතී. දෙපසම වාහන පෝලිමය. තදියම වැඩිකම නිසා දියපහර හරහා එතෙරවන්නට ගොස් මැද එරී ඇති වාහන වල ඇත්තන් පණ නහගෙන කඹ දාගෙන ඒවා ගොඩට අදින්නට වලිකති. 




අප පාලම සාදා එගොඩත් මෙගොඩත් යාකරන තුරු පරිසරය රස වින්දෙමු. සැඳෑ අඳුර හිමාල දේශයට ගලන අතර අප ගයා Gaya ගම්මානයට සේන්දු වුනෙමු. ගම්මානයේ තැනිතලාවේ කළුගල් සහ මැටියෙන් බැඳි ගෙවල් වටා බාර්ලි කෙත්බිම් ය. තැන තැන තණ කන ගවයින් සහ අශ්වයින් ය. ඈත කඳු මුදුනේ ගමේ ගොම්පාව දිස්වේ.







            දුහුවිල්ලෙන් වැසුන ඉනෝවා රථය පාර අද්දරින් ගලනා දිය පහරකින් සෝණු සෝදා පිරිසිදු කරගන්නා අතර අප ලඩාක් යුවලක ගේ තේ කඩයකට ගොඩ වැදුනෙමු. කාන්තාව ඉක්මනින්ම තේ පිළියෙල කළාය. ‘තික්සි කි. මීටර් 31, ලෙහ් 49, කාර්ගිල් 271, ශ්‍රී නගර් 481’ ඉදිරියේ ඇති සැතපුම් පුවරුවේ සටහන්ව ඇත. තවත් පැයකින් පමණ අපට ගමනාන්තයට ලඟා විය හැක. ඒ අතරතුර ටාෆු, මීරා ආදී සරුසාර ගම්මාන පසු කළෙමු. අවසන ලෙහ්,පොප්ලර් සහ විලෝ නගරය.



Dr Asela Perera
MBBS MSc (Medical Admin)
Member of International Association for Ladakh Studies

2 comments: